ලන්සා රනිල් එක්ක ලොකු ගේමක!
ධම්මිකට බැසිල් පොඩ්ඩක් ඉන්න කියයි!
නිමල් නිසා ජපානයම අපිත් එක්ක තරහ වෙයිද?
ගෝල්ෆේස් ප්‍රහාරයෙන් ජාත්‍යන්තරයම ඇවිස්සෙයි!
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට තේරී පත්ව පැය 24ක් ඉක්ම යෑමටත් මත්තෙන් ගාලුමුවදොර පැවැති සාමකාමී ජන අරගලයට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් මේ වන විට රටේ පණ ඇද ඇද ඇති ආර්ථිකයට එල්ලවී ඇත්තේ මරු පහරක් බව අතිශයෝක්තියක් නොවේ. රටේ විදේශ සංචිත හිඳී යෑම හේතුවෙන් මතුව ඇති උග්‍ර ඩොලර් අර්බුදය නිසා ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කළේ මේ වසර ආරම්භයේදීය. මීට අමතරව ආණ්ඩුව චීනය, ඉන්දියාව වැනි රටවලින් ලබාගත් ණය පහසුකම් ඔස්සේ වසරේ මුල් මාස කිහිපය ඉතා අසීරුවෙන් ඇදගෙන ආ බව සියල්ලන්ම දන්නා කාරණයකි. ඒ නිසාම ලංකාවට මේ අර්බුදයෙන් ගොඩ ඒමට තිබූ එකම මාර්ගය වූයේ ජාත්‍යන්තරයේ සහාය ලබාගෙන මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කොට ඒ ණය පහසුකම් ලබාගැනීමය. නමුත් කිසිවකුත් නොසිතූ පරිදි අරගල භූමියට එල්ල වූ හමුදා ප්‍රහාරයත් සමග ඒ සියල්ල මේ වන විට උඩුයටිකුරු වී ගොස් තිබේ. කණපිට පෙරළී ගොස් තිබේ.
වැල නොකැඩී නිවේදන පිට නිවේදන!
ජාත්‍යන්තරයේ සහාය රටට අවශ්‍යව තිබූ මොහොතක පසුගිය සතියේ මේ ප්‍රහාරයත් සමග ජාත්‍යන්තර ප්‍රජාව වැල නොකැඩී නිවේදන නිකුත් කරමින් මේ ප්‍රහාරය දැඩිව හෙළාදැකීමට පියවර ගත්හ. ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, කැනඩාව, නවසීලන්තය, නෝර්වේ, යුරෝපා කොමිසමද, ජිනීවාහි මානව හිමිකම් කොමිසමද, එහි මධ්‍ය කණ්ඩායම Core Group වශයෙන් සැලකෙන ප්‍රධාන රටවල් 7ද එය හෙළාදකිමින් නිවේදන නිකුත් කළහ. යුරෝපා කොමිසම නිකුත් කළ නිවේදනයේ දැකගන්නට ලැබුණු බරපතළම කරුණ වූයේ මෙම ප්‍රහාරය හේතුවෙන් රටට හිමිව ඇති ජී.එස්.පී. ප්ලස් බදු සහනයද අහිමිව යෑමේ අවදානමක් පිළිබඳ සිහිපත් කොට තිබීමය.
ජුලී චන්ග් සටන අතට ගනී!
මෙහිදී ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් මහත්මිය විසින් ප්‍රහාරය හෙළාදකිමින් නිකුත් කළ නිවේදනය තරමක් ආන්දෝලනාත්මක එකක් වී තිබිණි. ඊට හේතුව වූයේ මෙම නිවේදනය නිකුත් වීමත් සමග රනිල් ඇමෙරිකානු තානාපතිනිය සමග කිසියම් වචන හුවමාරුවක පැටලීමය. නමුත් අපට නම් වැටහෙන්නේ ඇමෙරිකානු තානාපතිවරිය එවැනි නිවේදනයක් නිකුත් කළේ සිය පෞද්ගලික වුවමනාව මත නොව, වොෂින්ටනයෙන් ලැබුණු උපදෙස් සහ එහි අනුදැනුම මත බවය. අනෙක් අතට ලංකාවේ ආර්ථිකයේ අනාගතය මේ වන විට සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මතය. ආණ්ඩුවත් එය නොදන්නවා නොවේ. ඔවුන්ද නිතරම අයි.එම්.එෆ්., අයි.එම්.එෆ්. යනුවෙන් මතුරන්නේ ඒ නිසාය. පසුගිය මාස කිහිපය ඇතුළත අයි.එම්.එෆ්. නියෝජිතයන් ලංකාවට පැමිණ එහි පළමු අදියරේ සාකච්ඡා අවසන් කොට කාර්යාල මට්ටමේ ගිවිසුමට අස්සන් කිරීමට සියල්ල සූදානම් කොට තිබිණි. නමුත් දැන් අපට ඇති ආරංචිවලට අනුව ඇමෙරිකාව සිය වොෂින්ටන් නුවර පිහිටි අයි.එම්.එෆ්. ප්‍රධාන කාර්යාලයට දැනුම්දී ඇත්තේ මෙම සාකච්ඡාවන්හි ඉදිරි ගමන යම්කිසි ආකාරයකින් ප්‍රමාද කරන ලෙසටය. ඇමෙරිකාව පමණක් නොව ජීනීවාහි මානව හිමිකම් කොමිසම නියෝජනය කරන මධ්‍ය කණ්ඩායමේ ප්‍රධාන රටවල්ද, අනෙකුත් රටවල්ද එම බලපෑම අයි.එම්.එෆ්. වෙත කරමින් සිටින බව අපට ආරංචිය.
චන්ග්-රනිල් මුහුණට මුහුණ හමුවක්!
අනෙක් අතට වොෂින්ටනයේ අනුදැනුම මත චන්ග් විසින් නිකුත් කළ නිවේදනයේ තවත් විශේෂ කරුණක්ද අවධාරණය කොට තිබිණි. ඒ, අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය පිළිගත් ස්වාධීන පරීක්ෂණයක් සිදුකොට ඊට සම්බන්ධ වූ සියලු දෙනාටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසටය. නමුත් ඊට මුල් වටයේදී ආණ්ඩුව පාර්ශ්වයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. එවැනි පරීක්ෂණයක් පැවැත්වුවහොත් නීතිය සාමය ආරක්ෂා කිරීමට නොහැකි වනු ඇති බව ආණ්ඩුවේ ස්ථාවරය වී තිබිණි. ආණ්ඩුවේ මේ ස්ථාවරය ආණ්ඩුව හා ඇමෙරිකානු තානාපතිනි චන්ග් අතර යම් උණුසුම් තත්ත්වයකට මඟ පාදා තිබිණි. එවැනි මතගැටුමක් දිගින් දිගටම පවත්වාගෙන යෑමේ හැකියාවක් සහ ශක්තියක් අප සතුව පවතින්නේද යන්න බරපතළ ප්‍රශ්නයක් වුවත් මේ උණුසුම හේතුකොට ගෙනම පසුගිය සතියේ රනිල් හා චන්ග් අතර මුහුණට මුහුණ හමුවක් සිදුවිය. අපට ඇති ආරංචිවලට අනුව චන්ග් මෙහිදී හදිසි නීතිය පවත්වාගෙන යෑමට ආණ්ඩුව දරන උත්සාහය පිළිබඳ ප්‍රශ්න කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බවට දැනුම් දීමක්ද කොට තිබේ.
ජිනීවාවලටත් බලපෑම්! සැප්තැම්බරය තීරණාත්මකයි!
කෙසේ වෙතත් ප්‍රහාරයත් සමග ආණ්ඩුවට එරෙහිව ඊළඟ බරපතළ සංඥාව නිකුත් වූයේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයෙනි. මෑතකදී කිසිදු අයුරකින් දැකගන්නට නොලැබුණු පරිදි මානව හිමිකම් මණ්ඩලය පමණක් නොව එහි මධ්‍ය කණ්ඩායමද ලංකාවේ ප්‍රහාරය හෙළාදකිමින් නිවේදන නිකුත් කළහ. ඒ හරහා මානව හිමිකම් මණ්ඩලය විසින් නිකුත් කොට ඇති ඉඟිය පැහැදිලිය. ඒ, ලබන සැප්තැම්බරයේ ආරම්භ වන මානව හිමිකම් මණ්ඩල රැස්වීමේදී ලංකාවට බරපතළ අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවය. පසුගිය මාර්තුවේ පැවැති ජිනීවා රැස්වීමේදී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කිරීමට සැලසුම් කොට තිබුණත් අනූ නවයෙන් එම තත්ත්වය වළක්වා ගැනීමට ලංකාව සමත්ව තිබිණි. නමුත් ගාලුමුවදොර ප්‍රහාරයත් සමග අපට ඇති ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ ලංකාවට එරෙහිව යම් ප්‍රබල ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඇමෙරිකාව ප්‍රමුඛ ජිනීවාහි මධ්‍ය කණ්ඩායමට අයත් ප්‍රබල රටවල් මේ වන විටත් බලපෑම් එල්ල කිරීම ආරම්භ කොට ඇති බවය. ඒ අනුව ලබන සැප්තැම්බරයේ ජිනීවාහිදී ලංකාවට බරපතළ ගැටලුවකට මුහුණපාන්නට වීමේ පෙරනිමිති මේ වන විටත් පහළ කොට අවසානය.
වෙනදා එන සුබ පැතුම් කෝ!
මීට අමතරව ආණ්ඩුව ජාත්‍යන්තරය කළමනාකරණය කිරීමේ බරපතළ අර්බුදයකට මුහුණදී සිටින බවට තහවුරු වූ තවත් කාරණාවක් පසුගිය සතියේ දැකගන්නට ලැබිණි. ඒ, අලුත් ජනාධිපතිවරයකු පත්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර රටවලින් නිකුත් වන සුබපැතුම්ය. සාමාන්‍යයෙන් නව ජනාධිපතිවරයකු පත්වී පළමු පැය 24 ඇතුළත ලොව ප්‍රධාන රටවල ජනාධිපතිවරුන්ගෙන් සහ ආණ්ඩුවලින් දිගින් දිගටම සුබපැතුම් ගලා ඒම සාමාන්‍ය සිදුවීමක් වන අතර ඒ හරහා නව ජනාධිපතිවරයාට ජාත්‍යන්තරයේ ඇති පිළිගැනීම ප්‍රකට කෙරේ. නමුත් ලංකාවේ සිදුවූ බලපෙරළියත් සමග එවැන්නක් දැකගන්නට නොලැබීම විශේෂ සිදුවීමක් විය. රනිල් ජනාධිපති වී පළමු පැය 24දී කිසිදු රටක් රනිල්ට සුබ පතන්නට ඉදිරිපත් නොවූ අතර පළමු රට බවට පත්වෙමින් චීනය එසේ කළේ දින කිහිපයක් ගතවීමෙන් පසුවය. ඉන් අනතුරුව රුසියාව නිවේදනයක් නිකුත් කළේය. නමුත් මෙතෙක් පැවැති සම්ප්‍රදාය වූයේ ලංකාවේ නව ජනාධිපතිවරයකු පත්වූ වහා ප්‍රධාන අසල්වැසියා මෙන්ම කලාපයේද බලවතා වන ඉන්දියාව මුලින්ම සුබපැතීමය. නමුත් ඉන්දියාව එසේ සුබ නොපැතීම සම්බන්ධයෙන් පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කසුකුසුවක් මතුව තිබිණි. ඉන්දියාව රනිල්ට සුබපැතුවේ චීනය සහ රුසියාව රනිල්ට සුබ පතා තවත් දින කිහිපයක්ද ඉක්ම යෑමෙන් අනතුරුවය.
මෝඩිගේ සුබපැතුම වෙනස් වුණේ ඇයි?
නමුත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ එම සුබපැතුම හරහාද විශේෂ කාරණාවක් දැකගන්නට ලැබිණි. සාමාන්‍යයෙන් මෝදි රටකට සුබ පතද්දී එම රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව පිළිබඳ ප්‍රශ්න කිරීමක් කරන්නේ නැත. ඒ බව ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 වසරේදී ජනාධිපති ධුරයට පත්වූ වහා මෝදි නිකුත් කළ සුබපැතුම් පණිවුඩයෙන්ද පැහැදිලිවම දැකගන්නට ලැබිණි. එහි සඳහන්ව තිබුණේ ගෝඨාභයගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දියාව උණුසුම් සුබපැතුම් එක්කරන බවයි. නමුත් මෙවර මෝදි ප්‍රමාද වී නිකුත් කළ නිවේදනයේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව පිළිබඳ සඳහන් කර තිබීම හරහා ගෝල්ෆේස් ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාවද යම් අවුලක සිටීම බව පැහැදිලිය.
ලොකු රටවල් සුබ පතලම නෑ!
අනෙක් අතට ලොව ප්‍රබල රටවල් වන ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, යුරෝපා කොමිසම වැනි රටවලින් මෙතෙක් රනිල්ට සුබපැතුම් නිකුත් වී නොතිබීමද විශේෂ සිදුවීමක් ලෙස සැලකිය හැකිය. ‘රාජ්‍ය රහස්’ තීරයට ඇති ආරංචිවලට අනුව නම් ලංකාවේ නව ජනාධිපතිවරයාට සුබපැතීම සම්බන්ධයෙන් මෙම රටවල විදේශ කාර්යාල අතර යම් සාකච්ඡාවක් පැවැත්වී ඇති අතර එම සාකච්ඡාවලදී ලංකාවට සුබ පතනවාද, එසේ සුබ පතනවා නම් කරන්නේ කුමන ආකාරයටද, එහිදී ගත යුතු ස්ථාවරය කුමක්ද යන්න සම්බන්ධයෙන් දීර්ඝව අදහස් හුවමාරු වීමක් සිදුව තිබේ. ඒ අනුව යම් කිසි ආකාරයකට රනිල්ට සුබ පතන්නේ නම් ඒ හරහා ලංකාවට ප්‍රබල පණිවුඩයක් නිකුත් කිරීමට මෙම සාකච්ඡාවේදී එම රටවල් තීරණය කොට ඇති බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
IMF එකත් වෙන පොටකට!
කෙසේ වෙතත් ගාලුමුවදොර ප්‍රහාරයත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආ බලපෑමේ තරම පසුගිය සතියේ එම ආයතනය මගින් සිදුකළ ප්‍රකාශයකින් පැහැදිලිවම දැකගන්නට ලැබිණ. එම ප්‍රකාශයෙන් කියැවුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය සහන බලාපොරොත්තු වන්නේ නම් පළමුව ලංකාව සිය රටේ ප්‍රධාන ණය හිමියා වන චීනය සමග සාකච්ඡා කොට එම ණය මුදල් ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගත යුතු යැයි කියාය.
චීනය කවදාවත් එහෙම කරලා නෑ!
සාමාන්‍යයෙන් චීනය මෙතෙක් සිය ඉතිහාසයේ ණය ලබාදී ඇති කිසිදු රටක් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියකට ගමන් කොට නැත. එය චීන රජයේ මූල්‍ය ප්‍රතිපත්තියකි. එවැනි තත්ත්වයක් යටතේ මූල්‍ය අරමුදල චීන ණය ප්‍රතිව්‍යුහගත කරගන්නා ලෙසට ලංකාවට දැනම් දීමක් කළේම නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුයි, තව ටිකකුයි අවශ්‍ය බවට වූ න්‍යායේ සිටදැයි යන්න පිළිබඳ මතුවන්නේ විශාල සැකයකි. බොහෝ පාර්ශ්ව පෙන්වා දෙන්නේ ණය ලබාදීම කල්දැමීම සඳහා මූල්‍ය අරමුදල රාජ්‍යතාන්ත්‍රික උපායමාර්ගයක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් කොට ඇති බවකි. එම කරුණ සත්‍යයක් නම් මේ වසර අවසානය වන විට ලංකාව මුහුණ දීමට නියමිත අර්බුදයේ තරම කිසිවකුටත් සිතාගත නොහැකි වනු ඇත.
මහින්දත් රනිල් එක්ක කණ්ඩායම් රැස්වීමට!
මේ වටපිටාව යටතේ ජනාධිපතිවරයා වශයෙන් තේරීපත් වීමෙන් පසු රනිල් විසින් පවත්වන ලද ආණ්ඩු පක්ෂයේ පළමු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පසුගිය අඟහරුවාදා මුදල් අමාත්‍යාංශය පිටුපස ඇති අලුතින් ඉදිකරන ලද ගොඩනැගිල්ලේ ශ්‍රවණාගාරයේ පැවැත්වීමට පියවර ගෙන තිබිණි. තවමත් ජනාධිපතිවරයා වශයෙන් රනිල් ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජකාරි ආරම්භ කොට නොමැති බැවින් සිය නිල රාජකාරි කරගෙන යන්නේ මෙම ගොඩනැගිල්ලේ ඉහළ මහලේ සිටය. පළමු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම හේතුවෙන් ඊට මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ සහභාගි වී සිටි අතර පොහොට්ටුවේ මැති ඇමැතිවරුන්ද 80ත් 90ත් අතර සංඛ්‍යාවක් ඊට එක්ව සිටිනු දැකගත හැකි විය.
අමුත්තන් දෙන්නෙක් ඇවිත්!
කෙසේ වෙතත් මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අරගලයට එල්ල වූ හමුදා ප්‍රහාරය පිළිබඳ රනිල්ගෙන් ප්‍රශ්න කිරීමට මැති ඇමැතිවරු කිහිප දෙනකුම දතකට මැදගෙන පැමිණියත් ඒ මුහුණුවර සම්පූර්ණයෙන්ම වෙනස් වූයේ රනිල් විසින් මෙම රැස්වීමට විශේෂ පුද්ගලයන් දෙදෙනකු කැඳවාගෙන විත් තිබීම හේතුකොට ගෙනය. එම විශේෂ පුද්ගලයන් දෙදෙනා වූයේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නත්, ඔත්තු සේවා ප්‍රධානියාත්ය. ඒ අනුව කෙටි අදහස් දැක්වීමකින් පසු ගාලුමුවදොර සිද්ධිය පිළිබඳ පැහැදිලි කරන ලෙස රනිල් ආරක්ෂක ලේකම්වරයාටත්, ඔත්තු සේවා ප්‍රධානියාටත් දැනුම් දී සිටියේය. එහිදී ආරක්ෂක ලේකම්වරයා මහත් උද්දාමයකින් යුතුව එම මෙහෙයම පිළිබඳ තොරතුරු ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම හමුවේ තබනු දැකගත හැකි විය. එහිදී අවස්ථා කිහිපයකදීම විශාල මෙහෙයුමකදී හමුදාව භාවිත කරන වචන පවා යොදාගැනීමට ආරක්ෂක ලේකම්වරයා පියවර ගත්තේය. ‘ගේමක් දුන්නා…’ ‘වැඩේ දුන්නා…’ වැනි වචන එහිදී ආරක්ෂක ලේකම්වරයා පාවිච්චි කළ ආකාරයක්ද දැකගත හැකි විය.
ඔත්තු සේවා ප්‍රධානියාගෙන් බරපතළ හෙළිදරව්වක්!
ඉන් අනතුරුව අදහස් දැක්වීම ආරම්භ කළේ ඔත්තු සේවා ප්‍රධානියාය. මතුව ඇති තත්ත්වය පිළිබඳ දීර්ඝ විග්‍රහයක් සිදුකළ ඔත්තු සේවා ප්‍රධානියා මාස 4ක් පුරා 09 වැනිදා මුල්කොට ගනිමින් දියත් කළ අරගලයන්ද, එළැඹෙන අගෝස්තු 09 වැනිදා සිදුකිරීමට නියමිත යැයි ඔත්තු සේවාවලින් වාර්තා කොට ඇති සිදුවීම්ද එකින් එක මන්ත්‍රීවරුන් හමුවේ තැබීමට පියවර ගත්තේය. එහිදී අරගලකරුවන්ගේ සැලසුම් කිහිපයක්ම අනාවරණ කළ ඔත්තු සේවා ප්‍රධානියා ඒවා අසාර්ථක වුවහොත් ඔවුන් විසින් ගැනීමට නියමිත ඊළඟ පියවරයන් පිළිබඳවද තොරතුරු මන්ත්‍රී කණ්ඩායම හමුවේ තැබීය. එහිදී ඔහු විසින් අනාවරණ කළ ඇතැම් කරුණු ඉතා බරපතළය. එහිදී ඇතැම් සිදුවීම් ආණ්ඩුව පිට පැටවීමට සැලසුම් කර ඇති ආකාරයත්, හමුදාවේ පිරිස් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔත්තු සේවා ප්‍රධානියා පෙන්වා දුන්නේ අරගල භූමියේ පෙනෙන්නට සිටින පුද්ගලයන්ට එහා ගොස් කිසියම් අදෘශ්‍යමාන හස්තයක් විසින් මේවා මෙහෙයවීමට පටන්ගෙන ඇති බවකි. ඔවුන් කිහිප දෙනකුගේ නම්ගම් හෙළිදරව් කිරීමටද ඔත්තු සේවා ප්‍රධානියා එහිදී පියවර ගත්තේය.
මධුර දැම්මේ නෝන්ඩියක්ද?
මැති ඇමැතිවරුන් කතා කරන්නට පටන්ගත්තේ ඔත්තු සේවා ප්‍රධානියාගේ මෙම කතාවෙන් අනතුරුවය. ඒ අනුව පළමුවෙන්ම කතා කළ මධුර විතානගේ, ආරක්ෂක ලේකම්වරයා විසින් මතු කළ ඇතැම් කරුණු පැහැදිලි කිරීම් තරමක් හාස්‍යයට ලක්කරන ආකාරයක් දැකගත හැකි විය.
‘හිටපු ජනාධිපතිවරයා රාජකාරි කරද්දිත් ඔබතුමාම නේද ආරක්ෂක ලේකම්වරයා විදියට කටයුතු කළේ? ඔය දැන් දාලා තියෙන හදිසි නීතියම නේද ඒ කාලෙත් දාලා තිබ්බේ? හැබැයි ඒ කාලෙදී අරගලය මර්දනය කරන්න බැරි වෙන්නත්, දැන් පුළුවන් වෙන්නත් හේතුව ඔබතුමා පැහැදිලි කරනවද?’ යනුවෙන් මධුර විමසද්දී අරක්ෂක ලේකම්වරයා කියා සිටියේ එම රෙගුලාසිවලට වඩා නව රෙගුලාසි යටතේ ආරක්ෂක හමුදාවට වැඩි බලතල හිමිව ඇති බවකි. එම නිසා රාජකාරි සිදුකිරීමේදී ඉක්මනින් ක්‍රියාත්මක විය හැකි බව ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර සිටියේය.
මොහානුත් ඒකම අහයි!
ඉන් අනතුරුව කතා කළේ මොහාන් සිල්වාය. මොහාන් කියා සිටියේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තබන අවස්ථාවේදීත් ආරක්ෂක ලේකම්වරයා ලෙස කමල් ගුණරත්න මහතා කටයුතු කළ බවත්, ඒ අවස්ථාවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කුමක් කළේද යන්නය. එහිදී ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ තමන් ඒ මොහොතේ ඊට එරෙහිව දැඩි නිවේදනයක් නිකුත් කළ බවත්, කඩාකප්පල්කාරීන්ට වෙඩි තබන ලෙස ලෙසට පවා තමන් නියෝග නිකුත් කළ බවත්ය. නමුත් ඊට මොහාන් සිල්වා දුන්නේ අපූරු පිළිතුරකි.
‘ඔව් අපිටත් මතකයි ඔබතුමා එහෙම කිව්වා. හැබැයි එදාම රෑ තමයි මගේ ගේත් ගිනිතිබ්බේ…’ යන්න මොහාන් සිල්වා ලබාදුන් පිළිතුර විය.
ජවිපෙ-පෙරටුගාමීන් එකතුව ගැන රනිල් කතා කරයි!
මෙහිදී එක් අවස්ථාවක මන්ත්‍රීවරුන් කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් ඒකාබද්ධව මෙම කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරමින් සිටින බවකි. නමුත් ඊට රනිල් දුන්නේ වෙනස් පිළිතුරකි.
‘ඒ දෙගොල්ලෝ කීයටවත් එකතු වෙන්නේ නෑ. ඒ අය වෙන වෙන ස්ථාවරවල ඉන්නේ. ඒ නිසා ඒ ගැන බයවෙන්න එපා..,’ යන්න රනිල්ගේ පිළිතුර විය.
තිස්ස කුට්ටිට වාහන ප්‍රශ්නයක්!
ඉන් අනතුරුව කතා කළේ තිස්ස කුට්ටිආරච්චිය. තිස්සගේ ප්‍රශ්නය වී තිබුණේ වාහන ප්‍රශ්නයකි.
‘අපේ ආරක්ෂාවට දැන් පොලිස් නිලධාරීන් හය දෙනෙක් දීලා තියෙනවා. කොළඹ එද්දී මගෙත් එක්ක තුන්දෙනෙක් එනවා. හැබැයි මේ අය යුනිෆෝම් ඇඳලයි එන්නේ. ඉතින් මඟදී තේ එකක් බොන්න නවත්තන්නත් බයයි ගුටිකන්න වෙයි කියලා. ඒ හින්දා මේකට මොකක් හරි කරන්න. අනෙක අපට මේ අයව ගෙනියන්න තව වාහනයක් ඕනෙ වෙනවා. ඒ නිසා අපට ඩබල් කැබ් එකක් හරි අඩුම ගානේ දෙන්න…’ යනුවෙන් තිස්ස කුට්ටි කියා සිටියෙත් රනිල්ගෙන් ඊට නිසි පිළිතුරක් ලැබුණේ නැත.
රෝහිත රනිල්ට ගුග්ලියක් දමයි! රනිල්ගෙන් ආරක්ෂාකාරී පහරක්!
කෙසේ වෙතත් සාකච්ඡාව අවසාන භාගයේදී කතා කළේ රෝහිත අබේගුණවර්ධනය. රෝහිත රනිල්ට පෙන්වා දුන්නේ ජනාධිපති සටනේදී ලබාගත් ඡන්ද 134 තවදුරටත් ඉදිරියට පත්වාගෙන යෑම පිළිබඳවය.
‘දැන් අපි පසුගිය ජනාධිපති ඡන්දයෙදි ඡන්ද 134ක් ගත්තා. අපි මේක දිගටම තියාගෙන යන්න ඕනෙ. දැන් මේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එන්න කියලා ආරාධනා කර්දදී අපේ පෙළක් අය කියලා තියෙනවා එන්නෙ නෑ කියලා. ඒ අය ස්වාධීන කණ්ඩායමක් කියලා. තවත් අය අලුතෙන් ස්වාධීන වෙන්න ඉන්නවලු. එහෙම වෙන්න දෙන්න බෑ. ඔබතුමාට දීපු ඡන්ද 134 ආරක්ෂා කරගන්න ඕනෙ. ඒ නිසා ඔබතුමා මේකට මූලිකත්වය අරන් කටයුතු කරන්න…’ යනුවෙන් රෝහිත රනිල්ගෙන් ඉල්ලද්දී රනිල් ඉන් ඇඟ බේරාගැනීම සඳහා ලබාදුන්නේ අපූරු පිළිතුරකි.
‘ඒක මට කරන්න බෑ. මම තනි පක්ෂයක තනි පුද්ගලයෙක්. පොහොට්ටුව කියන්නේ වෙන පක්ෂයක්. ඒකේ නායකයො ඉන්නවා. මට වෙන පක්ෂයකට නියෝග දෙන්න බෑ. ඒක කරන්න ඕනෙ ඒ පක්ෂයේ නායකයෝ…’ යනුවෙන් කියමින් රනිල් තමන්ගේ ඇඟ බේරාගන්නට පියවර ගත්තේය.
මෛත්‍රී-විමල් ආණ්ඩුවට එක්වෙයි!
මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන මාතෘකාවක් වී ඇත්තේ සර්වපාක්ෂික ආණ්ඩුය. නැත්නම් ජාතික ආණ්ඩුය. එහෙමත් නැත්නම් අන්තර්වාර ආණ්ඩුය. ඒ සඳහා විවිධ තැන්වල විවිධ සාකච්ඡාය. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදීද ශ්‍රීලනිපයේ මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායමක් රනිල් මුණගැසුණේ සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා සාකච්ඡා පැවැත්වීමටය. විමල්ද කලකට පසු රනිල්ට ලිපියක් යොමුකරමින් සර්වපාක්ෂික ආණ්ඩුවකට සහාය දෙන ආකාරයේ ඉඟියක් බ්‍රහස්පතින්දා දිනයේදීම දී තිබිණි.
බැසිල් මොකද කරන්නේ?
මෙවැනි තත්ත්වයක් යටතේ රනිල් ජනාධිපතිවරයා බවට පත්කොට නැවතත් ආණ්ඩුව පවත්වාගෙන යන ප්‍රධාන පක්ෂය වූ පොහොට්ටුව කරන්න යන්නේ කුමක්ද? පොහොට්ටුවේ මහ මොළකරුවා වශයෙන් සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා කරන්නට යන්නේ කුමක්ද? බැසිල් කෝ? බැසිල් කිසිම සද්දයක් බද්දයක් නැතිව නිහඬව ඉන්නේ ඇයි? මේ අද දේශපාලනය පිළිබඳ උනන්දු වන බොහෝ දෙනාට ඇති ප්‍රශ්නයය. ඇත්තටම ‘රාජ්‍ය රහස්’ තීරයද බැසිල්ගේ මේ නිහඬ බව සම්බන්ධයෙන් පසුගිය සතියේදී විශේෂ සොයාබැලීමක නිරත විය. එහිදී අපට නම් දැනගන්නට ලැබුණේ බැසිල් නිහඬව සිටිනවා නොව ඊළඟ පිම්ම සඳහා පක්ෂය සූදානම් කරමින් සිටින බවය.
පාර්ලිමේන්තුව ඇතුළේ හයිය ගනී!
ඒ අනුව බැසිල් මේ වන විට තිරය පිටුපස සිටිමින් පොහොට්ටුව ප්‍රතිසංවිධාන කොට ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ දියත් කරමින් සිටී. මන්ද යත් ලබන මාර්තුවට පෙරාතුව නියත වශයෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු අතර ඒ සමග පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කෙරෙහිද ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ. ඒ අනුව බැසිල් පසුගිය සතියේ මුලින්ම පාර්ලිමේන්තුව ඇතුළේ පොහොට්ටුව යළි ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළට අතගැසුවේය. ඒ, ආණ්ඩුවේ සහකාර සංවිධායක ධුර සඳහා උග්‍ර පොහොට්ටුවාදීන් ලෙස සැලකෙන තිස්ස කුට්ටිආරච්චි, ජයන්ත කැටගොඩ, මධුර විතානගේ සහ කෝකිලා හර්ෂණී ගුණවර්ධන පත්කරමිනි. ඊට අමතරව බැසිල් පාර්ලිමේන්තුවෙන් පිටත මැතිවරණ ඉල්ක කර පොහොට්ටුව ශක්තිමත් කිරීම සඳහා ලබන අගෝස්තුවේ හෝ සැප්තැම්බරයේ දැවැන්ත පක්ෂ සම්මේලනයක් පැවැත්වීමටද මේ වන විට සැලසුම් සකස් කර අවසානය.
ධම්මිකට පොඩ්ඩක් ඉන්න කියයි!
මීට අමතරව බැසිල් නිහඬව නොසිටින බවට දැකගන්නට ලැබුණු තවත් ඉඟියක් වූයේ ධම්මික පෙරේරා මහතාගේ ඉල්ලා අස්වීමේ සිදුවීමය. ධම්මික සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පොහොට්ටුව වෙත භාරදුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටව යෑමත් සමගය. නමුත් අපට ඇති ආරංචිවලින් කියැවෙන්නේ බැසිල් ධම්මිකගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගෙන නැති බවත්, එම ලිපිය ඒ ආකාරයෙන් තියෙද්දෙන් යනුවෙන් ධම්මිකට දැනුම්දී ඇති බවත්ය. ඒ හරහා බැසිල් පොහොට්ටුවේ සාමාජිකයන්ට ලබාදී ඇති ඉඟිය වන්නේ සිය පක්ෂය මේ ආකාරයට පාර්ලිමේන්තුව ඇතුළේ නිහඬව සිටින්නේ තවත් සතියක් දෙකක් පමණක් බවය. එසේ නිහඬව සිටින්නේද ප්‍රධාන පක්ෂ එකතු කරගෙන සර්වපාක්ෂික ආණ්ඩුවක් සකස් කිරීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමක් වශයෙන්ය. එසේ නොවන්නේ නම් පාර්ලිමේන්තුව තුළ පවතින පොහොට්ටු බහුතරය උපයෝගී කරගෙන යළිත් වතාවක් පොහොට්ටුවේ ආණ්ඩුවක් නිර්මාණය කිරීම බැසිල්ගේ සැලැස්ම වී තිබේ. එහිදී සියලු මැති ඇමැති ධුර පොහොට්ටුවේ සාමාජිකයන් වෙත ලබාගැනීමත්, රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍ය ධුරද පොහොට්ටුව වෙත ලබාගැනීමත් බැසිල්ගේ සැලසුමය.
ලන්සා රනිල්ට හයිය දෙන්න පොහොට්ටුවෙන් කට්ටිය ගෙනෙයි!
අනෙක් පැත්තෙන් මේ වන විට ජනාධිපති රනිල්ගේ විශේෂ නියෝජිතයෙක් පාර්ලිමේන්තුව තුළ රනිල්ට වෙනම බලයක් සකස් කර දී රනිල්ව ශක්තිමත් කිරීමේ මෙහෙයුමක්ද දියත් කොට තිබේ. ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර න්නේ වෙන කවුරුවත් නොව පොහොට්ටුවේම ප්‍රබලයකු ලෙස සැලකෙන නිමල් ලන්සාය. ලන්සා මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධව සිටින්නේ සියලු මන්ත්‍රීවරුන් සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යන, දේශපාලන ඩීල් දැමිය හැකි දක්ෂයකු ලෙසටය. ඒ අනුව ලන්සා පසුගිය සති කිහිපය පුරා පොහොට්ටුවෙන් කැඩී ගිය මන්ත්‍රීවරුන් සමගත්, දැනට ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන් සමගත්, පොහොට්ටුව සමග කලකිරී සිටින මන්ත්‍රීවරුන් සමගත්, රාජපක්ෂලා සම්බන්ධයෙන් කෝපයට පත්ව සිටින මන්ත්‍රීවරුන් සමගත්, විමල් වීරවංශගේ, අනුර යාපාගේ මන්ත්‍රී කණ්ඩායම සමගත් සාච්ඡා වට ගණනාවක් පවත්වා තිබේ. ලන්සාගේ ඉලක්කය කුමක්ද යන්න මෙතෙක් පැහැදිලිව නැතත් මෙවැනි සාකච්ජා හරහා 56ක පමණ මන්ත්‍රී කණ්ඩායමක් ලන්සා විසින් එකතු කරගෙන ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
බැසිලුත් ලන්සා ගැන ඇහැගහගෙන!
කෙසේ වෙතත් ලන්සාගේ මෙම මෙහෙයුම පිළිබඳ බැසිල්ද නොදන්නවා නොවේ. පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයේ සිට බැසිල් මේ පිළිබඳ සුපරික්ෂාකාරීව සිටින බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත. බැසිල්ද ඊට මුහුණ දීම සඳහා වෙනම සැලැස්මක් මේ වන විට සකස් කරමින් සිටින බවද වාර්තා වේ. එම පසුබිම යටතේ පොහොට්ටු ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ කටයුත්ත බැසිල් විසින් ඉක්මන් කොට ඇති බවක්ද දැනගන්නට ඇත.
විමල්ගේ වෙච්ච වෙනස!
එමෙන්ම මෙතෙක් ඩලස් පාර්ශ්වය සමග සිටි විමල් හිටිහැටියේම වෙනස්ව ආණ්ඩුව විසින් ගෙන ආ හදිසි නීතියට ඡන්දය ලබාදුන්නේත්, ආණ්ඩුවට සහාය දැක්වීමට යෝජනා ඉදිරිපත් කරමින් රනිල්ට කරුණු 12කින් සමන්විත ලිපියක් යැව්වේත් ලන්සාගේ මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. විමල්ගේ මෙම අනපේක්ෂිත වෙනස් වීමත් සමග ඩලස්ගේ පාර්ශ්වයද දැඩි විමතියට පත්ව සිටින බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
ජපානය ආයෙත් තරහ වෙයිද?
ජපානය අතීයේ සිටම ලංකාවට උදව් කළ සැබෑ කල්‍යාණ මිත්‍රයෙක් ලෙස ප්‍රකටය. මෙසේ උදව් කිරීමේදී ජපානය ලංකාවෙන් පෙරළා කිසිවක් බලාපොරොත්තු වූයේ නැත. ජපානයට වෙනත් යටි අරමුණු, සැඟවුණු න්‍යායපත්‍ර පැවැතියේද නැත. එදා සිටම අද වනතුරා ජපානය ලංකාවට ඉතා වාසිසහගත වන ආකාරයට ආයෝජන, සංවර්ධන ව්‍යාපෘති සියල්ල සිදුකළේය. එසේ කිරීමේදී ජපානය කිසිවකුටත් කොමිස් මුදල් දෙන්නට හෝ කිසිවකුත් සමග අත යට ගනුදෙනු සිදුකරන්නට ගියේද නැත.
ගෝඨාගේ ආණ්ඩුව කරපු කෙණෙහිලිකම්!
කෙසේ වෙතත් ජපානය සමග පැවැති මේ කල්‍යාණ මිත්‍රත්වයට හානි සිදුවන සිදුවීම් කිහිපයක්ම ගෝඨාභය රාජපක්ෂ පාලනය බිහිවීමත් සමග සිදුවිය. ඉන් ප්‍රධානම එක වූයේ යහපාලන ආණ්ඩු සමයේ අස්සන් කළ මාලබේ සිට කොටුව දක්වා කණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියය. එම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කර තිබියදී හදිසියේම කිසිදු හේතුවක් නොදන්වා ගෝඨාභය පාලනය එම ව්‍යාපෘතිය නතර කිරීමට ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් කෝටි ගණනක වන්දියක් ජපානයට ගෙවීමට පවා ආණ්ඩුවට සිදුවිය.
ඉන් අනතුරුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ කටයුතු ඉන්දියාවට හා ජපානයට ලබාදීමට ඉකුත් රජය සැලසුම් කර තිබුණද ගෝඨාභය පාලනය පැමිණි පසු එම ව්‍යාපෘතිය අත්හිටුවීමට පියවර ගත්තේය. ඒ අනුව නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය ඉන්දියාව වෙත ලබාදුන් අතර ජපානය එම ව්‍යාපෘතියෙන් සම්පූර්ණයෙන් ඉවත් විය.
තායිසෙයි ප්‍රශ්නය!
ඒ අනුව ජපානය ලංකාව තුළ මෙතෙක් සිදුකළ එකම විශාල ව්‍යාපෘතිය බවට පත්ව තිබුණේ කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය පමණි. නමුත් ගෝඨාභයගේ පාලන සමයේ අවසන් දින කිහිපය තුළ ඊටද බරපතළ ප්‍රශ්නයක් පැනනැඟුණේ එවක ගුවන් සේවා අමාත්‍යවරයා වූ නිමල් සිරිපාල ද සිල්වා එහි ව්‍යාපෘතිය භාර සමාගම වූ ‘තායිසෙයි’ සමාගමට බලපෑම් කළ බවට පැමිණිල්ලක් ලැබී තිබීම මතය. මේ බව මීට සති තුනකට ඉහතදී අප අඅඅගප්අර්ඒබැඅිගකන වෙබ් අඩවිය ඔස්සේ පළමු වරට රටට හෙළි කළ අතර අපගේ හෙළිදරව්වෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටීමට පියවර ගත්තේය.
පැමිණිල්ල තානාපතිගෙන්!
එමෙන්ම අපට ඇති නිල තොරතුරුවලට අනුව මෙම බලපෑම පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමග අදාළ සමාගම විසින් එය ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිවරයාට පැමිණිලි කොට ඇති අතර ජපාන තානාපතිවරයා ජනාධිපතිවරයා සමග දිවා ආහාරය ගනිමින් පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳ පැමිණිලි කිරීමට පියවර ගෙන තිබේ. එමෙන්ම ජපන් තානාපතිවරයා විපක්ෂ නායකවරයා වෙතද මේ පිළිබඳ පැමිණිලි කොට ඇති බවද දැනගන්නට තිබේ.
රනිල්ගෙන් කමිටුවක්!
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ගෝඨාභය, නිමල් සිරිපාලව ඇමැති ධුරයෙන් තාවකාලිකව ඉවත් කොට පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට පියවර ගෙන තිබිණි. ගෝඨාභයට තනතුර හැරදා ලංකාවෙන් පිටය යෑමට සිදුවූයේ මෙම විමර්ශන සිදුකෙරෙන අතරවාරයේය. ඒ අනුව රනිල් ජනාධිපති ධුරයේ වැඩ භාරගත් පසු අදාළ පරීක්ෂණය සිදුකිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර ඊට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ සහ පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන එස්.එම්.ජී. පෙරේරා පත්කෙරිණි. ඒ වන විටත් නිමල් සිරිපාල සිටියේ රනිල් පස්සේ වැටී ආණ්ඩුවට එක්වන සූදානමකය.
ජපානය අයින් වෙයි!
ඒ සියල්ල අතරවාරයේ පසුගිය බ්‍රහස්පතින්දා ලංකා වාණිජ මණ්ඩලයේ උපසභාපති දුමින්ද හුලංගමුව මහතා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේ ණය නොගෙවීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ සිදුකළ සියලු ව්‍යාපෘති අත්හිටුවීමට ජපන් රජය විශේෂ දැනුම්දීමක් කොට ඇති බව බවය. එමෙන්ම තමන් ජපාන, ඇමෙරිකා හා ඉන්දියා නියෝජිතයන් මුණගැසුණු බවත්, එහිදී ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය ආයතනය සමග ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කරන තුරු සැලකිය යුතු ආධාරයක් ලංකාවට කළ නොහැකි බවත් තමන්ට දැනුම් දුන් බවද හුලංගමුව මහතා සඳහන් කර සිටියේය. මීට අමතරව තායිසෙයි සමාගමද මේ වන විට දැනුම්දී ඇත්තේ කටුනායක ගුවන් තොටුපළේ පුළුල් කිරීමේ කටයුතුවලින් ඉවත් වීමට තම සමාගම තීරණය කොට ඇති බවකි.
රනිල් යාලුවට කියපු කතාව!
කෙසේ වෙතත් රනිල් විසින් නිමල් සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කිරීමත් සමග එහි බැරෑරුම්කම දත් රනිල්ගේ හිතවතකු ඒ පිළිබඳ රනිල්ගෙන් විමසා සිටීමට කටයුතු කොට තිබේ. එහිදී රනිල් සඳහන් කොට ඇත්තේ නිමල් සිරිපාල තමන්ට උදව් උපකාර කළ බවත්, ඔහුගේ නිවැරැදි බව අනාවරණ කිරීමට අවස්ථාවක් ලබාදිය යුතු බවත්ය. ඒ අනුව නිමල්ට අවස්ථාවක් ලබාදීමට ගොස් ආණ්ඩුව නැතිකරගන්නට යන්නේ කිසිදු උදව් උපකාරයක් බලාපොරොත්තු නොවී ලංකාවට උදව් උපකාර කරන ජපානය වැනි කල්‍යාණ මිත්‍රයෙක්ය. එහි විපාක විඳින්නට සිදුවන්නේ මාරුවෙන් මාරුවට රට පාලනය කරන අවස්ථාවාදී දේශපාලකයන්ට නොව, ලක්ෂ 220ක් වන මේ රටේ මහජනතාවටය.
සජබය ගණන් හදයි!
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම මෙවර පැවැත්වුණේ විපක්ෂ නායක කාර්යාලයේ ය. කෘත්‍යාධිකාරි’ මණ්ඩලයේ විශාල පිරිසක් ඊට එක්ව සිටි අතර ඉදිරි කටයුතු පිළිබඳ තීරණාත්මක තීන්දු රැසක්ද එහිදී ගනු ලැබීය.
‘පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා තෝරන ඡන්දෙදි මොකද්ද ඇත්තටම වුණේ?’ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයෙක් ඇසුවේය.
‘අපි හැම තීන්දු තීරණයක්ම ගත්තේ බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව හැමෝගෙම අදහස්වලට ඉඩ දීලා. අපි එළියෙ ඉඳලා තීන්දු අරගෙන ඇතුළට ඇවිත් වෙන තීන්දු ක්‍රියාත්මක කළේ නෑ. අපි තීන්දු ගත්තේ මේක ඇතුළෙදී සාකච්ඡා කරලා. ඒ අනුව තමයි අපි තීරණය කළේ ඩලස්ට සහයෝගය දෙන්න.’ සජිත් කීවේය.
‘අපේ පක්ෂයේ සමහරු ඩලස්ට විරුද්ධව රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දෙ දුන්නා කියලා සමහර මාධ්‍යවල යනවා…’ අශෝක් අබේසිංහ කීවේය.
‘හරියට අංක ගණිතයවත් දන්නැති සමහරු ඔය වගේ බේගල් ඇදබානවා. මට හොඳටම විශ්වාසයි අපේ පක්ෂයේ කිසි කෙනෙක් එහෙම කළේ නෑ කියලා…’ සජිත් අවධාරණය කළේය.
‘ඔබතුමාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයව හම්බවුණාද?’ නලින් බණ්ඩාර ඇසුවේය.
‘ඔව්, පක්ෂ නායක රැස්වීමේදී එතුමා හම්බුණා.’
‘මොනවද ඔබතුමාට කීවේ?’ මුජිබර් රහුමාන් සිනාසෙමින් ඇසුවේය.
‘ඒ වෙච්ච හැම දේම කියන්න තමයි මේ ලෑස්ති. එතුමා කිව්වා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කල්පනා කරනවා කියලා. ඒ වගේම එතුමා කිව්වා හැමෝම එකට එකතු කරගන්න ඕනෙ කියලා. එකම විපක්ෂය හැටියට අපි කරන ‘හුස්ම’ වැඩසටහන අගය කළා. ඒ වගේම මාත් එක්ක කතාකරන්න ඕන කියලත් එතුමා කිව්වා’
ජනාධිපති රනිල්වත් මුණගැසීමෙන් පසු සිදුවූ සියල්ල සජිත් කෘත්‍යාධිකාරී මණ්ඩලයට හෙළි කළේය.
ඉන් අනතුරුව නැඟී සිටියේ චමින්ද විජේසිරිය.
‘ගරු නායකතුමනි, මේ තියෙන්නෙ ආණ්ඩුවක් නෙවේ. මේක පොහොට්ටුවේම දිගුවක්. ඒ විතරක් නෙවේ, මේක රාජපක්ෂලා ආරක්ෂා කරන ආණ්ඩුවක්. මේ ආණ්ඩුව එක්ක ගමනක් නෑ. මේක ඇතුළේ සර්වපාක්ෂික ආණ්ඩු නෑ. මේක විහිළුවක්. බොරුවක්. ඒ නිසා අපි විරුද්ධ පක්ෂයේ කාර්යභාරය කරමු…’ යැයි චමින්ද කීවේය.
‘ඔව්, මේ ආණ්ඩුව ආපු දවසෙ ඉඳලා මර්දනය ආරම්භ කරලා. ජනාධිපතිවරයා දිවුරුම් දීලා පැය දොළහක් යන්න කලින් ගෝල්ෆේස් අරගලයට ගැහුවා. ඒක මිලේච්ඡ ප්‍රහාරයක්. එහෙව් අය එක්ක අපිට පුළුවන්ද සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න…’ රාජිත සේනාරත්නද කීවේය.
‘අපි මුළු විපක්ෂයම එකතු කරමු. ශක්තිමත් බලවේගයක් ගොඩනගමු. මට ඒකට තමුන්නාන්සේලාගේ අවසරය දෙන්න….’ සජිත් කීවේ විපක්ෂයේ බලමුළු එකතු කිරීමේ වැදගත්කමද අවධාරණය කරමිනි.
තීන්දු 3ක් ගනී!
අවසානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දු කිහිපයකට එළැඹුණි. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, විරෝධතා පැවැත්වීමේ අයිතිය සහ මහජනතාවගේ එදිනෙදා මුහුණදෙන ගැටලුවලට විරෝධය දැක්වීමේ අයිතිය මර්දනය කිරීමේ අරමුණින් ගෙන එනු ලබන හදිසි නීතියට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට ඒකමතිකව තීරණය කරනු ලැබීය.
ජනතාවගේ ප්‍රශ්නවලට සැබෑ විසඳුම් ලබා නොදෙමින් ඍජු හා වක්‍ර ලෙස රාජ්‍ය ත්‍රස්තවාදය මර්දනකාරී ලෙස මුදාහරිමින් කටයුතු කරන ජන පීඩක ආණ්ඩුව සමග සම්බන්ධ නොවීමට තීරණය කරනු ලැබීය.
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ ජනතාවගේ දැවෙන ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රමයක් ස්ථාපිත වන්නේ නම්, ඒ සඳහා සහයෝගය දීමට තීරණය කරනු ලැබීය.
මේ අතර පාර්ලිමේන්තුවේ හදිසි නීති විවාදය දා විපක්ෂ නායක සජිත් විශේෂ ප්‍රකාශයක් කළේය.
සුබවාදී රටක් ගොඩනැඟීම වෙනුවෙන් එකට එක්වී වැඩ කිරීම උදෙසා තිබූ බලාපොරොත්තුව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින්ම නැති කරගත් බවත් එහෙත්, අවස්ථාවාදී දේශපාලනය තමන් ළඟ නැති බවත්, ආණ්ඩුවට එක් නොවී, රට ගොඩනැඟීම වෙනුවෙන් විපක්ෂයේ සිට දිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බවත්’ සජිත් පැවැසීය.
‘මේ මොහොතේ හදිසිය ගැන කතා කරනවා.’ ඖෂධ නැති හදිසියක් තියෙනවා. ශල්‍යකර්ම කල් දැමීම ගැන හදිස්සියක් තියෙනවා. ලෙඩ්ඩුන්ට බෙහෙත් ලබාදීම ප්‍රමාද වීමේ හදිසියක් තියෙනවා. ගොවියාට පොහොර නැති හදිසියක් තියෙනවා. ගොවියාට වන්දි නොලැබුණු හදිසියක් තියනවා. ගෑස් පුපුරපු, සිලින්ඩර පුපුරපු අයට වන්දි නොලැබුණු හදිසියක් තියෙනවා. ධීවර ජනතාවට තෙල් ටික නැතුව රස්සාව කරගන්න බැරි හදිසියක් තියෙනවා. දිනපතා පුංචි ආදායමක් ලබන ඒ මනුස්සයගේ ආදායම නැතිවීමේ හදිසියක් තියෙනවා. ස්වයං රැකියා කරන මේ රටේ අසරණ අයට හදිසියක් තියෙනවා. කාන්තා මූලික පවුල්වලට හදිසියක් තියෙනවා. ආබාධිත ජන ප්‍රජාවට හදිසියක් තියෙනවා. කුලියට වැඩකරන මනුස්සයට හදිසියක් තියෙනවා. රාජ්‍ය සේවකයා අද තමන් ගත්ත ලෝන් එකට මුළු වැටුපම කැපෙන කොට එතන හදිසියක් තියෙනවා. අම්මලාගේ දරුවන්ගේ මන්දපෝෂණය එන්න එන්නම ඇස් ඉදිරිපිටම’ වැඩිවෙනකොට හදිසියක් තියෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩාවැටෙන කොට බිඳවැටෙන කොට විනාශ වෙනකොට හතළිස් පන් ලක්ෂයකට ජීවනෝපාය අහිමි වෙනකොට හදිසියක් තියෙනවා. සංචාරක ක්ෂේත්‍රය එන්න එන්නම ක්ෂය වෙනකොට එතන හදිසියක් තියෙනවා. ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම විනාශ මුඛය කරා යනකොට එතන හදිසියක් තියෙනවා. රැකියා අහිමි වෙනකොට ලොකු හදිසියක් තියෙනවා.’ මේ රටේ ශක්ති ශක්තිසම්පන්න බුද්ධිමතුන් පිටරට යනකොට රට අතහැරලා බුද්ධි ගලනය සිදුවෙනකොට එතන හදිසියක් තියෙනවා. වේල් තුන පිරිමහගන්නට බැරිව ජනතාව හූල්ල හූල්ල ඉන්නකොට එතන හදිසියක් තියෙනවා. අහිංසක පවුල් ඒ දුවාදරුවන් ගමේ ඉන්න වැවට බැහැල වැවේ අල ටිකක් හාරගෙන කන්න හදනකොට ඒ පුංචි මනුස්සයගේ අඳෝනාවෙ හදිසිය තියෙනවා. හිඟමනේ ගිහිල්ලා මුදල් ටිකක් හොයාගන්න මනුස්සයට ඒ ටිකවත් ලබාගන්නට බැරිව ඉන්නකොට’ලොකු හදිසියක් තියෙනවා. ත්‍රිරෝද රථ රියැදුරාට තමන්ගේ ජීවනෝපාය කරගෙන යන්නට බැරි වෙනකොට එතන හදිසියක් තියෙනවා. ලීසිං වාරික ගෙවාගන්න බැරිකොට ඒ මනුස්සයන්ට ඒ පොදු ජනතාවට ලොකු හදිසියක් තියෙනවා. අලුතින් කොවිඩ් හිස ඔසවනවා කියලා ආරංචියක් තියෙනවා. මන්කි පොක්ස් කියලා වෛරසයක් උ්‍යධ එක අවදානමට ලක්කරපු ඒ වෛරසය එතනත් හදිසියක් තියෙනවා. මෙන්න මිත්‍රවරුනි, මිනිස්සු ජීවත් කරන හදිසිය. මේක තමයි මේ මහ පොළොවෙ හදිසිය. මේක තමයි සත්‍යවාදී හදිසිය. මේක තමයි යථාර්ථවාදී හදිසිය. නමුත්”විවාද කරන හදිසිය තමයි තර්ජනය, ගර්ජනය, මිලේච්ඡත්වය, රාජ්‍ය ත්‍රස්තවාදය ව්‍යාප්ත කරන හදිසිය. ඒකයි මේ හදිසිය….’ සජිත් කීවේය.
සජිත්ගෙන් අරගලකරුවන්ට නීතීඥ සහාය නොමිලේ!
මේ අතර රට පුරා අරගලකරුවන් දඩයම් කිරීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයට එරෙහිවද සජිත් මැදිහත් විය. විශේෂයෙන්ම ගෝල්ෆේස් පුරවැසි අරගලයට දායක වූ පිරිස් ආණ්ඩු විසින් අත්අඩංගුවට ගන්නා බව සැලවීමත් සමගම සජිත් සිය නීතිඥ මණ්ඩලය කැඳවීය.
‘අද ජනාධිපතිට අමතකයි එයා ජනාධිපති වුණේ කවුරු හින්දද කියලා. අද එයාලා රාජපක්ෂවරුන්ට වෙච්ච ඇබැද්දිය හින්දා කම්පාවෙන් ඉන්නේ. ඒ නිසා මේ විදිහට අරගලකාරයන්ගෙන් පළිගන්නවා. ඒ නිසා මේ සියලු දෙනා වෙනුවෙන් නීති සහාය උපරිමයෙන්ම ලබාදෙන්න….’ සජිත් සිය නීතිඥවරුන්ට කීය.
ප්‍රජාතන්ත්‍රවාදී අරගලකරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක ආණ්ඩුව යෙදී සිටින බවත්, ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙනුවෙන් අරගල කළ’ අරගලකරුවන් පසුපස ලුහුබැඳීම වහාම නවතන ලෙසත් සජිත්’ආණ්ඩුවට අවධාරණය කළේය.
‘මේ දඩයම හරහා ජාත්‍යන්තරයට යන පණිවුඩය අතිශයින් කනගාටුදායකයි. මේ අපකීර්තිය නිසා පීඩාවට පත්වන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නෙවේ. මේ කබලෙන් ලිපට වැටිල ඉන්න ජනතාව පීඩාවට පත්වන ඒකයි අපිට කනගාටුව….’ ඔහු කීවේය.