දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බළකායක් පත් කර ඇත.
දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකාය ලෙස එය නම් කර තිබේ.
එම කාර්ය සාධක බළකායට කැබිනට් අමාත්‍යවරු 05 දෙනෙක්, ආණ්ඩුකාරවරියක්, රාජ්‍ය අමාත්‍යවරු 14 දෙනෙක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ඇතුළු සාමාජිකයන් 46 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇතුළත්ය.
රටින් පිටට ගලා යන විදේශ විනිමය රට තුළ ඉතිරි කර ගැනීම, නැගී එන ගෝලීය ආර්ථික රටාව තුළ එහි ඉහළ වාසිදායක තත්ත්වයක් රටට හිමිකර ගැනීම, පරිසර හිතකාමී සමාජ ආර්ථික රටාවකට ජනතාව පෙළගැස්වීම ඇතුළු පරිසර හිතකාමී කාරණා රැසක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් මෙම ජනාධිපති කාර්ය සාධක බළකාය පත් කර තිබේ.
පරිසරය සුරැකීම වෙනුවෙන් ගොනු කළ තවත් කරුණු 24 ක් කෙරෙහි විශේෂ අවධානයෙන් ක්‍රියා කිරීම කාර්ය සාධක බළකායට පැවරී ඇති වගකීමකි.
කෘෂිකර්මාන්තය සඳහා රසායනික පොහොර, කෘමිනාශක හා වල් නාශක වෙනුවට කාබනික පොහොර නිෂ්පාදන භාවිතා කරමින් පූර්ණ වශයෙන් රසායනික ගොවිතැනින් ස්වභාවික ගොවිතැනට පරිවර්තනය වීම සඳහා මාර්ග සිතියමක් පිළියෙළ කිරීමද කාර්ය සාධක බළකායට පැවරෙන තවත් ප්‍රධාන වගකීමකි.










