ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන රත්මලානේ රොහා ඝාතනය කිරීම සඳහා රුපියල් කෝටි 5ක ලන්සුවක් කුඩු අංජු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු තබා ඇති බව වාර්තා වේ.
කාලයක් එකට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු රොහා හා අංජු මේ වන විට පත්ව ඇත්තේ වෛරක්කරයන් බවටය. රොහා ඇප පිට මැගසින් බන්ධනාගාරයෙන් නිදහස් වී ඇත්තේ පසුගිය කොරෝනා සමයේ රට වසා දමා තිබූ සමයේය. ප්‍රංශයේ සිය අඹු දරුවන් සමඟ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන අංජු මීට පෙරත් අවස්ථා ගණනාවකදීම රොහාව ඝාතනය කිරීම සඳහා උත්සාහ දරා ඇතත් ඒ සියලු අවස්ථාවලින් බේරීම සඳහා රොහාට හැකිවිය. මීට පෙර බන්ධනාගාරගතව සිටින රොහාව ඝාතනය කිරීම සඳහා ඩුබාහි සිට අංජු ලක්ෂ 25ක පමණ මුදලක් වැය කර උත්සාහ දරා ඇත්තේ බන්ධනාගාර නිලධාරියෙක් හරහාය. ඒ සයනයිඞ් හා සිරින්ජර උපයෝගි කරගෙන රොහාව ඝාතනය කිරීම සඳහාය. එය ව්‍යර්ථ වන්නේ බුද්ධි අංශ නිලධාරීන්ට මේ තොරතුරු වාර්තා වීමත් සමඟය.
මේ සිදුවීම සම්බන්ධයෙන් පසුව මාධ්‍ය හරහා තොරතුරු වාර්තා වන්නේ මැගසින් බන්ධනාගාරයේ සිටින නිලධාරීන්ට සයනයිඞ් එන්නත් කර මරාදමා බන්ධනාගාර ආයුධ ගබඩාව කඩා ආයුධ රැගෙන වැලිකඩ බන්ධනාගාරයට පහරදී එහි සිටින වෝඞ්ප්ලේස් සියාම් යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා නිදහස් කරගැනීම සඳහා කළ එකක් බවය. මෙම සුරංගනා කතාව සත්‍ය කතාවක් බවට පත්කිරීම සඳහා එකල ඇතැම් මාධ්‍ය විශාල උත්සාහයක් දරා තිබිණි.
තමාගේ ආරක්ෂාව පිළිබදව ඉතාමත් සූක්ෂම ආකාරයෙන් කටයුතු කරන රොහා ඇප ලැබීමෙන් පසුව සිටින ස්ථානයක් මේ වන විට කිසිදු තොරතුරක් වාර්තා වන්නේ නැත. අංජු රොහාගේ ඝාතනය සම්බන්ධයෙන් කෝටි 5ක් වැනි අතිවිශාල මුදලක් ලන්සු තබන්නේ මේ හේතු කාරණා නිසාය. මෙම අතිවිශාල මුදල සඳහා ගිජුවී මේ වන විට විවිධ පාර්ශ්ව රොහා පසුපස හඹා යන බවට තොරතුරු අනාවරණය වී තිබේ. බුද්ධි අංශවලට තවදුරටත් අනාවරණ්‍ය වී ඇත්තේ රොහා පසුපස යන පුද්ගලයන් අතර ආරක්ෂක අංශවලට සමීප පුද්ගලයන්ද සිටින බවකි.
මීට පෙර අංජු සමඟ සමීපව කටයුතු කළ ගොනාකෝවිලේ රාජා නමැති පුද්ගලයා කැඩී ගිය පසු ඔහුගේ ඝාතනය සඳහා අංජු ලක්ෂ 50ක ලන්සුවක් තබා තිබිණි. එම ලන්සුවේ මුදල් බත්තරමුල්ල ප්‍රදේශයේ පුද්ගලයකු හරහා ලබාදීමටත්, එයට ගිනිඅවි අවශ්‍ය නම් ඒ සඳහා පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලයකු හරහා ලබාදීමටත් සැලැසුම් කර තිබිණි. අධිකරණය ඉදිරියේ කිසිදු සාක්ෂියක් නොමැති අංජු සඳහා සාක්ෂි ලබාදීමට මින්නේරිය ප්‍රදේශයේ සිටි රාජා නමැති මෙම පුද්ගලයා ඝාතනය වන්නේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවෙසකදීය. ඒ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කළ වෙඩි ප්‍රහාරයකින්ය.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවෙසක රාජා සැඟව සිටින බවට බුද්ධි අංශවලට ලැබුණු තොරතුරක් මත කළ වැටලීමකදී දෙපාර්ශ්වය අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී ගොනාකෝවිලේ රාජා ඝාතනය වූ බව එහිදී පොලිසිය වාර්තා කළේය. බොහෝදෙනා විශ්වාස කරන්නේ රොහාගේ ඉරණමද මේ ආකාරයට විසඳෙනු ඇති බවයි.










