ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල උපදේශකවරයකු සහ සුපිරි ජීවිතයක් ගතකරන වී.වී.අයි.පී. පන්නයේ කාන්තාවක් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී එංගලන්තයේ ලන්ඩන් නුවරට ගොස් ආන්දෝලනාත්මක ව්‍යාපාරිකයකු වශයෙන් සැලකෙන ලයිකා මොබයිල් ආයතනයේ හිමිකරු අලිරාජා සුබාෂ්කරන් මහතා මුණගැසී රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බව අනාවරණ වේ.
දැනගන්නට ඇති ආකාරයට මෙම හමුවේදී සාකච්ඡා කොට ඇත්තේ ලංකා හොස්පිට්ල් ආයතනය විකිණීම සම්බන්ධයෙන් බව වාර්තා වේ.
ඒ අනුව අදාළ ගනුදෙනුව පිළිබඳ දෙපාර්ශ්වය අතර දීර්ඝව අදහස් හුවමාරු වී ඇති බවත්, එහි ඉදිරි කටයුතු සැලසුම් කරගැනීම සඳහා ඒ දිනවලම ලන්ඩනයට පැමිණ සිටි ආණ්ඩුවේ ඉහළ පෙළේ පුද්ගලයන් සමග තවත් සුපිරි හමුවක් සංවිධාන වී ඇති බවත් දැනගන්නට තිබේ.
මෙම සාකච්ඡා වටය සම්පූර්ණයෙන්ම සැලසුම් කර ඇත්තේ ආණ්ඩුවේ ඉහළ උපදේශක තනතුරක් දරන පුද්ගලයා සමග අති සමීප සම්බන්ධයක් පවත්වාගෙන යන මෙම සුපිරි කාන්තාව විසින් බව පැවසේ.
මොවුන් දෙදෙනා විවාහ වී නොසිටියද, එක නිවෙසක එකට (ලිවින් ටුගෙදර්) ජීවත් වන බව දැනගන්නට තිබේ. එමෙන්ම මෙම කාන්තාව බිලියන ගණනින් සිදුකෙරෙන ගනුදෙනුවල අතරමැදියකු වශයෙන් කටයුතු කරන්නියක වශයෙන්ද ප්‍රකටය.
ඒ අනුව ඔවුන් දෙදෙනා ලන්ඩනයේ ගතකළ කෙටි කාලය තුළ අතිසුඛෝපභෝගී හෝටල්වල නැවතී සිට ඇති අතර, ගමන් බිමන් ගොස් ඇත්තේ රෝල්ස් රොයිස් වර්ගයේ අති සුපිරි රථවල බව දැනගන්නට ඇත.
ඒ අනුව බොහෝ දුරට ඉදිරියේදී ලංකා හොස්පිට්ල් සමාගමේ කොටස් විකුණන අවස්ථාවේදී අලිරාජා සුබාෂ්කරන් එම කොටස් මිලදී ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
පසුගිය කාලයේදී ඊ.ඒ.පී. මාධ්‍ය ජාලය මිලදී ගැනීම මුල්කොට ගෙන අලිරාජා සුබාෂ්කරන් සම්බන්ධයෙන් විශාල විවේචනයක් රට ඇතුළේ මතුවූ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ගනුදෙනුව සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමටද පියවර ගෙන තිබිණි.