රජය ජනතාව මත විශාල බදු මුදල් පැනවුවත් සිගරට් සමාගම් මත පනවා ඇත්තේ ඉතා සුළු බදු ප්‍රමාණයක් බවත් මේ හේතුවෙන් අයවැය තුළින් සිගරට් බදුවලින් ලබා ගැනීමට අපේක්ෂිත බදු ප්‍රමාණවත්ව නොලැබී යන අවස්ථාවක රජය ඒ සම්බන්ධ විශේෂ ප්‍රකාශ කරමින් ජනතාව රවට්ටමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊ (24) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පෙරේදා පාර්ලිමේන්තුවේ දී සිගරට් සමාගම් සම්බන්ධයෙන් තමා සිදු කළ ප්‍රකාශයක් වැරදියට අර්ථකථනය කරමින් රජය විසින් සිදු කරනු ලැබූ විශේෂ ප්‍රකාශයකට අදාළව පිළිතුරු ලබා දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ය.
එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ ශ්‍රී ලංකා දුම්කොළ සමාගම සතුව මෙරට සිගරට් විකිණීමේ ඒකාධිකාරියක් ඇති බවත් ඔවුන්ට ඕනෑම අවස්ථාවක මිල තීරණය කළ හැකි බවත් ය. එසේම ශ්‍රී ලංකා රජය 1989 අංක 13 දරණ විශේෂ පනතේ 3 වැනි කොටස යටතේ මෙහි බදු ගැන තීරණය කළත් මේ වන විට සැබෑ ලෙස අයවිය යුතු බද්ද අය නොවන බවත් පැවසීය.
තවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිර්දේශ කර ඇත්තේ සිගරට්වලට උද්ධමනය අභිබවා ගිය බද්දක් හෙවත් එක් සිගරටුවක් සඳහා බද්ද සියයට 75ක් විය යුතු වුවත් දැනට සිගරට් එකකට ගහන්නේ සියයට 69ක බද්ධක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මේ හේතුවෙන් 2023 අයවැය ඇස්තමේන්තුවෙන් සිගරට් බදු අය කිරීමෙන් රජය අපේක්ෂා කරන රුපියල් බිලියන 137ක මුදල ලබා ගත නොහැකි බවත් පවතින බදු ප්‍රතිශතය අනුව ලබා ගත හැක්කේ රුපියල් බිලියන 92ක බදු ආදායමක් බවත් විපක්ෂ නායකවරයා සදහන් කළේය.
එබැවින් මෙම බිලියන 137ක ආදායම ලබා ගන්න නම් මෙම බද්ද සියයට 147කින් වැඩි විය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙහි දී සිදු වන්නේ 2021 සිදු කළ සියයට 50ක බදු අඩු කිරීම පමණක් නිවැරදි වීම බව යි.
මෙවැනි තත්ත්වයක් තිබිය දී රජය විශේෂ ප්‍රකාශයක් කර ජනතාව රවට්ටන බවත් පූර්ණ උද්ධමනය සහ ආහාර උද්ධමනය වැඩි වී ඇති අවස්ථාවක සිගරට් මත නිවැරදි බදු අය නොකිරීම නිසා රුපියල් බිලියන 45ක් පමණ අහිමි වී ඇති බවත් මෙම සිගරට් බදු නිවැරදිව ගැසුවහොත් උපයන විට සිදු කරන බදු අඩු කිරීමේ හැකියාවක් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එබැවින් රජය මේ සිදු කරන්නේ දුම්කොළ සමාගම්වලට ලාභයක් ලබා දීම බවත් මේ ආකාරයෙන් සිගරට් බදු ආදායම අඩු කිරිමට අදාළ හේතු සහ ඒ සදහා වගකිව යුතු පාර්ශ්වයන් කවරේද යන්න ප්‍රකාශ කරන ලෙස රජයට කියා සිටින බවත් මෙහි වගකීම රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත පැවරීමට සූදානම් ද කියා අසන බවත් විපක්ෂ නායකවරයා එහි දී පැවසීය.
තව ද පාර්ලිමේන්තුවට බොරු සංඛ්‍යාලේඛන එවා පාර්ලිමේන්තුව නොමග යැවීමට රජය කටයුතු කළත් තමා ඉදිරිපත් කරන සියලු දත්ත සහ තොරතුරුවලට විපක්ෂ නායකවරයා ලෙස තමා වගකියන බව ද පැවසීය.