ගම්පොළ නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවකට කඩාවැදී එහි ආරක්ෂක නිලධාරියා පුටුවක තබා ගැට ගසා රුපියල් ලක්ෂ 76කට අධික මුදලක් සමඟ මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රය (සී.ඩී.එම්) කොල්ලකෑ කල්ලියේ දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් සමත්ව ඇත. ඒ අතර මෙම කොල්ලයේ මහමොළකරුද සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
යුද හමුදාවේ විශේෂ බළකායේ වසර 22ක් පමණ සේවය කර ඇති අයකු වන මෙම සැකකරුත් අනෙත් සැකකරුත් අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නල ප්‍රදේශයේ කළ මෙහෙයුමකින් අනතුරුව බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.
පසුගිය 25 වැනිදා අලුයම් කාලයේදී කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයකින් පැමිණි සිව් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම කොල්ලය සිදු කර තිබුණේ මෙරට ඉතිහාසයේ පළමු වරට මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රයක් පැහැර ගැනීමක් සනිටුහන් කරමිනි. මෙම කොල්ලයෙන් පැය 04කට පමණ පසු වෑන් රථය පේරාදෙණිය ගලහා හන්දියේ දමාගොස් තිබියදී පොලිසියට හමුවී තිබිණි. එහි රියැදුරුද දෑත් බැඳ වෑන් රථය අසල දමා ගොස් තිබිණි. එම රියැදුරු අරණායක පදිංචිකරුවෙකි. ගුවන් හමුදාවේ සේවය කළ විශ්‍රාමික සෙබළකු වන ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබුණේ කුලී ගමනක් යන මුවාවෙන් වෑන් රථය පේරාදෙණියට ගෙන්වාගෙන තමාගේ දෑත් සහ දෑස් ගැටගසා වෑන් රථය පැහැරගෙන ගොස් නැවත වෑන් රථය සමඟ තමාව අතහැර ගිය බවය. රියැදුරුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ඇතිවුණු පරස්පර සහ සැකයන් මත ඔහුව දින කිහිපයක්ම පොලිස් භාරයේ තබාගෙන විමර්ශන පවත්වන ලදි. ඒ අතරතුර අවස්ථා දෙකකදී ඔහුට අයත් බැංකු ගිණුමකට වෑන් රථයේ කුලිය බව කියමින් ලක්ෂයක මුදලක් කොල්ලකරුවන් විසින් බැර කර තිබිණි. මෙම වෑන් රථය කුලී ගමන සඳහා පේරාදෙණියට ගෙන්වා ගත්තේ යැයි කියැවුණේද වට්ස්ඇප් ඇමතුමක් ඔස්සේය. එම ඇමතුම ලබාදුන් දුරකතන අංකය සහ බැංකුවට මුදල් තැන්පත් කළ බැංකු ශාඛාව ඔස්සේ කළ විද්‍යාත්මක විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත.
ගම්පොළ බැංකුවෙන් කොල්ලකෑ මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රය කේ.ඩී.එච්. වෑන් රථයේ දමාගෙන ගියද එය අතරමඟදී වෙනත් වාහනයක පටවාගෙන වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇති බවට පොලිසිය සැක කරයි. බොහෝ විට මෙම යන්ත්‍රය පන්නලට රැගෙන ගොස් එය කඩා මුදල් රැගෙන ඇති බව පොලිසිය විශ්වාස කරයි. අද හෙටම එම යන්ත්‍රය සමඟ සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය විශ්වාස කරයි.
බැංකුවේ යන්ත්‍රය ගලවාගෙන රැගෙන යාමට කොල්ලකරුවන්ට හැකියාව ලැබී ඇත්තේ එම යන්ත්‍රය බිමට සවි වන්නට අල්ලා ඇති ඇණ හතරකින් දෙකක් පමණක් සවිකර තිබීමත් එම සවිකර ඇති ඇණද සවිමත් ලෙස තිබී නැති නිසා බවත් පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. එසේ එම යන්ත්‍රය අනාරක්ෂිත ලෙස සවි කර ඇති බව මෙම කොල්ලකරුවන්ට යම් පුද්ගලයකුගෙන් තොරතුරු ලැබී ඇති බවට සැකයක්ද ඇති වී තිබේ. ඒ ගැනද පුළුල් විමර්ශනයක් මේ වන විට ක්‍රියාත්මක බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. වෑන් රථ රියැදුරුව පෙරේදා (30) ගම්පොළ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
ගයාන් කුමාර වීරසිංහ