කොළඹ මහා නගර සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ලබන නාගරික මන්ත්‍රීවරුන්ගේ විශේෂ හමුවක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( ජුනි 01 ) දින පෙරවරුවේදී සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැතිි අතර මේ සදහා නගරසභා මැතිවරණයට අලියා ලකුණින් තරග කර තේරී පත්වූ මන්ත්‍රීවරුන් 60 දෙනාගෙන් 58 දෙනකුම සහභාගී වී සිටියහ .
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සදහා කොළඹ මහනගරසභාවේ එක්සත් ජාතික පක්ෂයේ සියලුම නාගරික මන්ත්‍රීවරුන් උපරිම කැපවීමෙන් යුතුව ක්‍රියාකළ යුතු බවටත්, සමගි ජන බලවේගය හෝ වෙනත් කිසිදු දේශපාලන කණ්ඩායමකට වක්‍රව හෝ ඍජුව සිය සහයෝගය ලබනොදිය යුතු බවටත් වූ යෝජනාවක් මෙහිදී කණ්ඩායම් සංවිධායක ටයිටස් පෙරේරා විසින් ඉදිරිපත් කළ අතර නියෝජ්‍ය නගරාධිපති මොහමඩ් ඉක්බාල් විසින් එම යෝජනාව ස්ථිර කරනු ලැබීය.

ඒ අනුව සහභාගී වූ සියලුම නාගරික මන්ත්‍රීවරුන් සිය අත් ඔසවා යෝජනාවට සහාය පළ කළ අතර යෝජනාව ඒකමතිකව සභා සම්මතවිය .
නාගරික මන්ත්‍රීවරුන් සියලු දෙනා ඒකමතිකව එක්සත් ජාතික පක්ෂය දිනවීමට කැපවී ක්‍රියාකිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය ස්තුතිය නාගරික මන්ත්‍රීවරුන් වෙත පුදකළ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතීතයේ සිට සැමදාම තමන් සැමවිටම ක්‍රියාකළේ පක්ෂය ආරක්ෂා කිරීමට බව ප්‍රකාශ කළේය.
සජිත් ඇතුළු කණ්ඩායමට කිසිදු අවස්ථාවක තවත් දේශපාලන පක්ෂයක් සෑදීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතියක් ලබානොදුන් බවත් සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් පුළුල්ව කෘත්‍යාධිකාරියෙදී සාකච්ජා කළ බවත් ප්‍රකාශ කළ වික්‍රමසිංහ මහතා විනය ආරක්ෂා කිරීම ඕනෑම දේශපාලන පක්ෂයක පැවැත්මට අත්‍යාවශ්‍යම කාරණයක් බව අවධාරණය කළේය.
පක්ෂ විනය කඩකරමින් වෙනත් දේශපාලන පක්ෂයක නාමයෝජනා අත්සන්කළ පිරිස් වෙත දැනටමත් නිදහසට කරුණු විමසා ලිපි යවා ඇති බවත් ඔවුන් නිදහසට ඉදිරිපත් කරනු ලබන කරුණු කාරණා සලකා බලා ඔවුන් පක්ෂයෙන් නෙරපීම සම්බන්ධ ඉදිරි පියවර ගන්නා බවත් වික්‍රමසිංහ මහතා කීය.
දිගින් දිගටම පක්ෂයේ කටයුතු සදහා සහභාගී නොවන සහ සහයෝගය ලබා නොදෙන නාගරික සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කරුණු සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සහ නීති අංශය සමග සාකච්චා කොට එම පිරිස වෙත අදාළ නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන ලෙස කොළඹ දිස්ත්‍රික්ක කළමණාකරු / ලේකම් ලසන්ත ගුණවර්ධන මහතාට මෙහිදී උපදෙස් ලබාදෙන ලදී .
හිටපු අමාත්‍යවරුන් වන රවී කරුණානායක, දයා ගමගේ, බොරැල්ල සංවිධායක ඒ .එස් . පී ලියනගේ ඇතුළු ක්‍රියාකාරීන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.










