කොළඹ මහනගර සභා සීමාව කොවිඩ් අධිඅවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙසේද කීය.
“අපි මේ මොහොත වන විට යම්කිසි මට්ටමකට පාලනය කර තිබුණත් කොළඹ මහනගර සභා සීමාව, එතනින් ඔබ්බට ගිහින් බස්නාහිර පළාතත් යම්කිසි විදියකින් තවතමත් අධික අවදානම් තත්ත්වයක පවතිනවා. සමාජය තුළින් රෝගීන් වාර්තා වෙනවා වගේම, විවිධ ආයතන තුළින් රෝගීන් වාර්තා වීම යම්කිසි ආකාරයකින් මේ පාලනය සඳහා වැඩි අවදානයක් යොමුකිරීමට සිදුවන ස්ථාන වෙනවා.” යනුවෙන් සදහන් කර සිටියේය.
ඊයේ දිනයේදී හඳුනාගත් කොවිඩ් රෝගීන් අතරින් වැඩිම ආසාදිතයන් වාර්තාවී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 231 කි.
කොටහේන ප්‍රදේශයෙන් 48 ක්, බොරැල්ලෙන් 46ක්, ග්‍රෑන්ඩ්පාස් 42ක්, දෙමටගොඩින් 31ක්, පිටකොටුවෙන් 21ක්, කොම්පඤ්ඤවීදියෙන් 19 ක් ඒ අතරට අයත් වේ.
එමෙන්ම බ්ලූමැන්ඩල් , මෝදරින් , වැල්ලම්පිටිය , බොරලැස්ගව, කුරුඳුවත්ත, ගොතටුව, ගල්කිස්ස, පිලියන්දල, වැලිකඩ, සහ වෙරළබඩ යන ප්‍රදේශවලින් ද ඊයේ දිනයේදී ආසාදිතයන් හඳුනාගෙන තිබේ.











