කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට “සියලු කොටස් මිල දර්ශකය” (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,000 සීමාව ඉක්මවා අද (21) දින සටහන් විය.
මීට පෙර අවස්ථා කිහිපයක දී ගනුදෙනු අතරවාරයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ “සියලු කොටස් මිල දර්ශකය” ඒකක 8,000 සීමාව ඉක්මවා වාර්තා කර තිබුණ ද, දිනයක ගනුදෙනු අවසානයේදී එය ඒකක 8,000 සීමාව ඉක්මවා සටහන් වූ පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වේ.
මෙහිදී පෙර දිනයට සාපේක්ෂව ඒකක 246.80 ක වර්ධනයක් සනිටුහන් කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,131.25 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව 3.13% ක වර්ධනයක් පෙන්නුම් කරයි.
අද දිනය තුළ රුපියල් බිලියන 14.20ක පිරිවැටුමක් වාර්තා වූ අතර එය මෙම වසරේ තනි දිනක් තුළ වාර්තා වූ වැඩිම දෛනික පිරිවැටුමද වේ.










