හිසෙහි ඇති වූ පිළිකා රෝගී තත්වයකින් මිය ගිය 15 හැවිරිදි පාසල් දියණියකගේ දේහය තබා ගැනීමට ස්ථානයක් නොමැති වීම හේතුවෙන් දැඩිගමුව මානුංගමුව විහාරස්ථානයේ ධර්ම ශාලාවේ දේහය තැන්පත් කර අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව ලබා දීමට එම විහාරස්ථානය කටයුතු කළ පුවතක් දැඩිගමුව ප්‍රදේශයෙන් වාර්තා වේ.
මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මිය ගිය පාසල් දැරිය ඇයගේ මව්පියන් සහ සහෝදරියන් දෙදෙනා සමග දැඩිගමුව ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට ඇති අතර පියා ත්‍රී රෝද රථ රියදුරකු ලෙසත් මව පෞද්ගලික අංශයේ ආයතනයක කම්කරු රැකියාවක නිරතව ඇත.
නවගමුව දැඩිගමුව දේවමිත්ත මහා විද්‍යාලයේ දහය ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ නිපුනි නිසංසලා නමැති දියණිය මාස කිහිපයක් තුලදී හදිසියේ අසනීප තත්වයට පත්වී පිළිකා රෝගී තත්වයක් නිසාවෙන් මෙලෙස මිය ගියේය.
ඇය පදිංචිව සිටි කුලී නිවසේ හිමිකරුවන් දේහය අදාල නිවසේ තැන්පත් නොකරන ලෙස දැනුම්දීම නිසාවෙන් දැඩි අසරණ භාවයට පත්ව සිටි අවස්ථාවේදී මානුංගමුව විහාරස්ථානයේ විහාරාධිකාරී කළුබෝවිටියන සිරිරතන හිමියන් මැදිහත්ව දේහය විහාරස්ථානයේ ධර්ම ශාලාවේ තැන්පත් කර අවසන් ගෞරවය දැක්වීමට අවස්ථාව සලසා දී ඇත.
ඇයගේ දේහය පිළිබදව ආගමික කටයුතු සියල්ල අද (28) දින විහාරස්ථානයේ දී සිදු කර අවසන් කටයුතු දැඩිගමුව සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත බවත් ඇයගේ හත් දවසේ දානමය පිංකම ද මානුංගමුව විහාරස්ථානයේ සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇති බවත් එම විහාරස්ථානයේ විහාරාධිකාරී කළුබෝවිටියන සිරිරතන හිමියන් පැවසූහ.