පාන්දර දෙකට උපන් පුංචි බිලිඳෙක් පසුදා වෙනකොට අතුරුදන් වෙනවා. ඒ මොහොත අපට හිතාගන්න බැහැ. විශ්වාස කරන්න බැහැ බබාට මොකද වුණේ? කවුද බබාව අරන් ගියේ? Sri Lanka Latest News
අවුරුදු 18කට පසු සතුටු කඳුළු අතරින් නැවත ලියවෙන ගවීෂ් රෙහාන් ප්‍රනාන්දු දරුවාගේ ජීවිත කතාවයි මේ.
හරියටම 2007 දෙසැම්බර් 18 කළුබෝවිල ශික්ෂණ රෝහලේ 21 වැනි වාට්ටුවේ පාන්දර දෙකට මෙලොව එළිය දුටු දරුවෙක් මවගේ උණුසුම අවශ්‍යම මොහොතේ පසුදා දහවල් දෙක වෙද්දි අතුරුදන් වෙනවා. ඒ දවස්වල මේ කතාව මහා ආන්දෝලනයකට තුඩුදුන්නා. රටක් මේ දරුවා හෙව්වා. මේ සිදුවීම රෝහලේ සිදුවූ සිදුවීමක් විතරක් නෙවෙයි, එය මවකගේ හදවත පසාරු කරගෙන ගිය මොහොතක්. පියෙකුගේ ජීවිතය නවතින්න ගිය මොහොතක්. සහෝදරියකට නොදැනෙන ජීවිතයක හිස්කමක්. ඒ පුංචි ජීවිතය තමයි ගවීෂ් රෙහාන් ප්‍රනාන්දු කියන්නේ.
මේ දරුවාගේ අම්මා කියන්නේ ‘මම ආපහු එනකොට බබා නැහැ. මොකද බබාට වුණේ’ කියලා. මේ වෙනකොට අවුරුදු 18ක් වන තරුණ පුතෙක් ළඟ තබාගෙන ඒ මොහොත මේ මව සිහිපත් කරද්දී තවමත් දෑස් කඳුළින් තෙත් වෙනවා.
‘බබා ඉපදුණේ පාන්දර 2ට. උදේ 7ට මාව වෝඩ් එකට දැම්මා. දවල් වෙද්දි ටොයිලට් එකට යන්න ඕනේ වුණා. මගේ ඇඳට එහා පැත්තේ හිටපු ගෑනු කෙනාට බබා පොඩ්ඩක් බලාගන්න කියලා ගියේ. ඒ වෙලාවේ බබා නිදාගෙන හිටියේ. මම ආපහු එනකොට බබා නැහැ. මම මුළු වාට්ටුවම සොයා බැලුවා. නර්ස්ලට කිව්වා. පහළ සිකුරිටිලට කිව්වා. නමුත් බබාව හොයාගන්න බැරිවුණා…’ යනුවෙන් පවසා සිටියා.
අපේ හදවතට දැනෙන්නේ ඒ මොහොතේ මේ මවගේ ජීවිතය නැතිවුණා වගේ දැනෙන්නට ඇති කියලායි.
එදා මුළු රටක්ම මේ බබා ගැන හෙව්වා. කළුබෝවිල පොලිසියට පැමිණිලි කළා. රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා. මාධ්‍ය මගින් ප්‍රවෘත්ති රට පුරා ප්‍රචාරය කළා. මෙයට මූලික වුණු නාලිකාවක් වුණේ සිරස මාධ්‍ය ජාලය සහ නිවුස් ෆස්ට්. ඔවුන් දින ගණනාවක් පුරා මේ දරුවා සොයාගන්න විශාල සහයෝගයක් දුන්නා. ඒ වෙනුවෙන් කෘතගුණ දැක්වීමට තමයි මේ පවුල සිරස ප්‍රවෘත්ති මැදිරියට අවුරුදු 18කට පසුව ඇවිත් තිබුණේ.
රට පුරා ජනතාවගේ හදවත්වල තිබුණේ එකම ප්‍රශ්නයක්. මේ පුංචි බබා කොහේද? දින 06ක අඳුරු කාලපරිච්ඡේදයක් වුණාට මේ මවුපියන්ට අවුරුදු ගණනාවක් වගේ දැනෙන්නට ඇති. හරියටම 2007 දෙසැම්බර් 24 වැනිදා මේ ජීවිතවලට නැවුම් බලාපොරොත්තුවක් ලැබුණා. ඒ තලවතුගොඩ ප්‍රදේශයෙන් ලැබුණු තොරතුරක් නිසයි. පොලිසිය සහ මාධ්‍ය ඒ වෙනුවෙන් සහයෝගය ලබාදුන්නේ තමන්ගේ දරුවෙකු සොයන්නට වෙහෙසෙනවා වගෙයි.
කෙසේ වෙතත් පුංචි ගවීෂ්ට නැවත මවගේ උණුසුම ලැබුණා. ඒ ඩී.එන්.ඒ. පරීක්ෂණයකින් අනතුරුවයි.
මේ දරුවාගේ පියා වන වසන්තද ඒ සිදුවීම සිහිගැන්වූයේ කඳුළු වගුරුවමිනි.
‘මගේ බිරිඳගේ පියා පොලිසියේ වැඩකළේ. එයා කෝල් කරලා අප්පච්චිට කිව්වා මෙහෙම දරුවා අතුරුදන් වුණා කියලා. ඊට පස්සේ අප්පච්චි ආවා මමත් ගියා. ඇත්තෙන්ම මම වැඩකරපු එක ආයතනයක කළමනාකාර අධ්‍යක්ෂතුමා මීඩියාවල කට්ටිය අඳුනනවා. එයාලා තමයි සිරස සම්බන්ධ කරලා දුන්නේ. ඒ ප්‍රවෘත්තිය සමග අනෙක් නාලිකාවලත් මේ සිදුවීම ප්‍රචාරය කළා. එක අවස්ථාවක අපිට නිවුස් එකක් ලැබුණා තලවතුගොඩ පැත්තේ දරුවා ඉන්නවා කියලා. අපි ඒක පොලිසියට කිව්වා. එතකොට පොලිසියයි මාධ්‍යයි ඒ ස්ථානයට එකපාරම ගියා. මගේ දරුවා කොහෙද ඉන්නේ කියලා හිතාගන්න බැරිවුණා. සමහර විට පාරේ ඉන්න පුළුවන්. සමහර විට වෙන රටක ඉන්න පුළුවන්. දරුවා හම්බවුණාම ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කරලා ගත්තේ. මට මේ දරුවාව හමුවුණේ නැත්නම් හැම අවස්ථාවකම මගේ දරුවා මතක් වෙනවා. මගේ දරුවාත් මේ වගේනේ කියලා. අපි ඔස්ටේ්‍රලියාවට ගියේ ඒ අවස්ථාවේ. මගේ අයියා හිටියේ ඔස්ටේලියාවේ. මම විතරක් ගිහින් එන්න ගියේ. ඒ රට හොඳ නිසා වයිෆ්ව ස්ටුඩන්ට් වීසාවලින් අරන් ගිහින් තමයි ජීවිතය පටන්ගත්තේ. අමතර ජොබ් කරලා තමයි ජීවත්වුණේ. ගවීෂ් ක්‍රිකට් ගහන්න දක්ෂයි. අපි කිහිප අවස්ථාවක ලංකාවට ආවා. නමුත් ගවීෂ් ලොකු වුණාම ගෙනත් පෙන්නන්න හිතුවේ ලොකු වුණාම මේක තමයි ලංකාව කියලා. මේ රටේ සුන්දර මිනිස්සු නිසා තමයි අපිට අපේ දරුවාව හොයාගන්න පුළුවන් වුණේ. කවදාවත් ලංකාව අමතක කරන්න එපා පුතේ…’ කියලා අවසානයට ඒ හැඟීම පවසා සිටියා. මම ඒ යුතුකම් ඉෂ්ට කළා යනුවෙන් සතුටු කඳුළු වැගිරුවා. මේ පවුල පසුව ඔස්ටේ්‍රලියාවට ගිහින් අලුත් ජීවිතයක් ආරම්භ කළා. ‘අපි ඇඳුම් බෑගයක් විතරයි අරන් ගියේ. අමතර රැකියා කරලා ජීවිතය ගොඩනගා ගත්තේ.’ යනුවෙන් මව පැවසුවේ සතුටු කඳුළු සමගයි. අද ඔවුන්ට සතුටක් දැනෙනවා. එදා අහිමි වීමට ආසන්න වූ ජීවිතය අද ඔවුන්ට ගෞරවයක් ලැබී තිබේ.
අද ගවීෂ් ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ තරුණයෙක්. ඉංජිනේරු විද්‍යාව හදාරන්න ඔස්ටේලියාවේ විශ්වවිද්‍යාලයකට තේරී පත්වී සිටින ඔහු අනාගත සිහින දකින දරුවෙක් වෙලා. ඔහුට වැඩිමහල් සහෝදරිය නෙත්මි අද නීති උපාධිය හදාරන ශිෂ්‍යාවක්. ‘මට කිසිම දෙයක් මතක නැහැ. ඒත් මල්ලිට මම ආදරෙයි…’ ඇය සිනාසෙමින් පවසා සිටියා.
ඇත්තටම මේ කතාව අපිට මතක් කරලා දෙන ලොකු පාඩමක් තියෙනවා. මිනිස් ජීවිතයක වටිනාකම ජීවිතයක් තත්පර කිහිපයකින් වෙනස් වෙන්න පුළුවන් දෛවෝපගත ගමනක්. ඒත් ඒ ගමන හරි තැනකට වැටෙන්න මිනිස්සුන්ගේ කරුණාව වගකීම සහ අධිෂ්ඨානය ජීවිතයකට අවශ්‍යයි. එදා ගවීෂ්ව සොයාගන්න මාධ්‍ය ආයතන, පොලිසිය සහ සාමාන්‍ය ජනතාව එකට එකතු වෙලා ක්‍රියා නොකළා නම් අද මේ ලස්සන කතාව අහන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ පියාගේ කතාව හරහා පියෙකුගේ ආදරය කැපවීම නිසා අද ගවීෂ් සහ නෙත්මිට හොඳ අනාගතයකට පාර කැපුණා. එහෙම තමයි හොඳ තාත්තලා. එදා ඒ ජීවිතය පහළට වැටුණු මොහොතේ ගවීෂ් ගැන හිතින් අතහැරියා නම් අද මෙහෙම පුතෙක් අපට දකින්න ලැබෙන්නේ නැහැ. මේ කතාව හුඟාක් දුකෙන් පටන්ගත්ත ජීවිත කතාවක්. ජීවිතවලට අභියෝග දෙන්නේ ජීවිත හොඳ තැනකට ගෙනියන්න. ඒ විශ්වාසය විතරයි අපට තියෙන්න ඕනේ.
ගවීෂ් කොහේ හිටියත් ඔහුගේ ජීවිතය හොඳට ගොඩනගාගෙන රටටත් ලෝකයටත් සේවය කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා. අවුරුදු 18කට පෙර අඳුරට පත්වූ මවු හදවත අද සතුටු කඳුළින් පිරී ඇත. ඒකයි ජීවිතය කියන්නේ. ජීවිතවලට අභියෝග එනවා. නමුත් විශ්වාසයෙන් සිටිනතාක් එහෙම හදවතක් තියෙන තැනකට නැවත ආලෝකය ළඟාකර ගන්න පුළුවන්.

නිලන්ති රේණුකා










