කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් වශයෙන් ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමට සෞඛ්‍ය බලධාරින් විසින් තීරණය කිරීම හේතුවෙන් අගතියට පත්වන පාර්ශ්වයන්ට සාධාරණය ඉටු කිරීම සඳහා රජය මඟින් එළවළු හා මාළු මිලදී ගැනීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඊයේ (11) එළවළු කිලෝග්‍රෑම් 750,000ක් පමණ දඹුල්ල සහ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානවලදී රජය විසින් මිලදී ගෙන තිබේ.
ඒ අනුව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට එළවළු සපයන ගොවීන්ගෙන් එළවළු කිලෝග්‍රෑම් තුන් ලක්ෂ පනස් දහසක් පමණ මිලදී ගෙන ඇති අතර එම එළවළු, ලොරි රථ 35ක් මඟින් කොළඹ මහනගරය, කොටිකාවත්ත-මුල්ලේරියාව නගර සභාව, කඩුවෙල, මොරටුව, කැස්බෑව, බොරලැස්ගමුව, බියගම, කළුතර, වළල්ලාවිට, දොඩංගොඩ, මාතර, රඹෑව, පයාගල, ගම්පොල, අකුරැස්ස, මාලිම්බොඩ, අනුරාධපුර, මධ්‍යම නුවරගම් පළාත, නැගෙනහිර නුවරගම් පළාත, මැදවච්චිය, කහටගස්දිගිලිය ආදී ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වලට බෙදා හැරීමට මේ වන විට පියවර ගෙන ඇත.
එසේම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු සපයන ගොවීන්ගෙන් එළවළු කිලෝග්‍රෑම් ලක්ෂ හතරක් රජය විසින් මිලදී ගෙන ඇත.
එම එළවළු ලොරි රථ 50 ක් මගින් ලග්ගල, නාඋල පල්ලේගම, ගලේවෙල ආදී ප්‍රදේශවලට බෙදා හැරීමට ද පියවර ගෙන ඇත.
දඹුල්ල හා කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථාන වලට එළවළු සපයන ගොවීන් ගෙන් එළවළු මිලදී ගැනීම අද (12) දිනයේ ද ස්ථාන කිහිපයක දී සිදුකරමින් පවතින බව අත්‍යවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය දැනුම් දී ඇත.










