ආණ්ඩුවේ මූල්‍ය කළමනාකාරීත්වයේ වරදින් එක් ඉන්ධන නැවකට කෝටි 345ක පාාඩුවක් විදීමට සිදුව ඇති බව පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
“පසුගිය මාර්තු මාසෙ 4 වෙනි දින කිහිපයකට කලින් ඉන්දියාවට ගෙවිය යුතු මුදලක් තිබුණා. ඩොලර් මිලියන 500 ක්. එය ගෙවන්න තිබුණේ ජනවාරි 4 වෙනිදා. ඒක මාර්තු 4 ට කල් දැම්මා. ඒ වගේම මාර්තු 4 වෙනකොට තවත් එකතු වෙලා ඩොලර් මිලියන 900 ක් වුණා. ඒ ඩොලර් මිලියන 900 ගෙවන්න මහ බැංකුවට හැකියාවක් තිබුණේ නැහැ. ඒ ඩොලර් මිලියන 900 ගෙව්වා නම් ශ්‍රී ලංකාව නිශ්චිත වශයෙන්ම මාර්තු 4 වෙනිදා බංකොලොත් වෙනවා.
ඉන්දියාව උදව් කරලා තවත් මාස 2 කින් මේක කල් දාලා තියෙනවා. ඒ කියන්නේ බංකොලොත්භාවය ඇරියස් කරලා තියෙනවා. ඒකයි රටේ ඇත්ත අර්බුදය. කුමන්ත්‍රණය ඒකයි.” චම්පික මන්ත්‍රීවරයා සඳහන් කළේය.
තවදුරටත් අදහස් දැක්වූ චම්පික මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.
“යුක්‍රේනයට රුසියානු හමුදා ගිය වෙලාවේ තෙල් මිල ඉහළ ගියා. නමුත් ඊයේ ඉඳන් තෙල් මිල 12% කින් පහළට වැටුණා. අපගේ බොරතෙල් වටිනාකම, ඩොලර් 137 සිට 112 දක්වා ඇද වැටුණා. නමුත් අද මේ වරායේ තියෙන ඩීසල් මෙට්‍රික් ටොන් 37000 ඇත්ත ගාන ඩොලර් මිලියන 35 යි. ගෙවන්න වෙලා තියෙනවා ඩොලර් මිලියන 52 ක්.
ආණ්ඩුවේ මූල්‍ය කළමනාකාරිත්වයේ වරද නිසා රුපියල් 60 කට වඩා වැඩි මුදලක් ඩීසල් ලීටරයකට ගෙවන්න වෙනවා. ඒ නිසා මේ මූල්‍ය කළමනාකාරීත්වයේ ප්‍රශ්න විසඳාගන්නේ නැතුව මේක කරන්න බෑ. මේ එක නැවකට විතරක් ඇතිවෙලා තියෙන පාඩුව මෙට්‍රික් ටොන් 37000 ට රුපියල් කෝටි 345 ක්. ඒ නිසා මේ සෙල්ලම මේ විදිහට ගෙනියන්න බෑ. එක වලක් වහලා තව වලක් කපාගන්න එක තමයි තියෙන්නේ.”









