• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව නූලෙන් ‌‌බේරුණු පරිපූරක ‌බෝම්බය (රාජ්‍ය රහස්)

February 22, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 13 mins read
A A
ආණ්ඩුව නූලෙන් ‌‌බේරුණු පරිපූරක ‌බෝම්බය (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්ව මේ වන විට දින 100ක් ඉක්මවා ගොස් අවසානය. එම දින 100 තුළ ගෝඨා රට යම් ‘සිස්ටම්’ එකකට හැඩගැස්වීම සඳහා මූලික අඩිතාලමක් දැමීමට උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට තිබෙන දෙයකි. පසුගිය සතියේ පැවැති එක්තරා රැස්වීමකදීද ජනාධිපතිවරයා නිලධාරීන් කැඳවා රටට ආයෝජන රැගෙන ඒමේදී ඊට අනුබද්ධ ආයතන නිසි ක්‍රමවේදයකට අනුව කටයුතු කළ යුතු බව දැඩිව කියා සිටීමට පියවර ගත්තේ ඒ අනුවය. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති පරිසරය සහ සම්බන්ධ සියලු ආයතනවල නිලධාරීන් කැඳවා පැවැත්වූ රැස්වීමකදීය. මෙහිදී රටට පැමිණෙන ආයෝජකයන් රස්තියාදු කිරීම සම්බන්ධයෙන් ගෝඨා දැඩි ස්ථාවරයක සිටිමින් අදහස් දක්වන ආකාරයක් දැකගන්නට ලැබිණ.

ගෝඨාට ‌කේන්ති ගිහින්

“මට තොරතුරු ඇවිල්ල තියෙනවා රටට ආයෝජන අරන් එන පුද්ගලයන්ව රස්තියාදු කරන්න සමහර නිලධාරීන් කටයුතු කරනවා කියලා. ඒ අයට ආයෝජන ව්‍යාපෘතියක් කරද්දි අවසර ගන්න රට වටේම යන්න ඕනෙ තත්ත්වයක් ඇතිවෙලා. ඒ හින්ද මේ සියලු ආයතනවල නිලධාරීන් අඩුම තරමෙ සතියකට එක පාරක්වත් එක තැනකට ඇවිල්ලා මේ බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිද්ධ කරන්න. මේ ළඟදි මාව හම්බුවෙන්න ආපු කට්ටියක් කිව්ව උතුරු පළාතේ ජලජීවී උද්‍යානයක් හදන්න කෝටි ගාණක ප්‍රොජෙක්ට් ඇවිල්ල අවුරුදු පහක් ගිහිල්ලත් හදන්න අවසර ලැබිල නැහැ කියල. මම යුද්දෙ කාලෙ යාපනේ කැලෑවල හිටියා. ඒව දැන් විනාශ වෙලා. ඒ හින්ද යාපනේ මිනිස්සුන්ට ජලජීවී උද්‍යානයක් හම්බුවෙනව නම් ඒ අයටත් ඒක වටිනවා. ඕගොල්ලො ඒව ගැන නෙමෙයි බලන්න ඕනෙ. දැන් බලන්න රටේ ඉන්න මුවෝ, අලි, හරක්, එළුවො ප්ලාස්ටික්, පොලිතින් කාල කොච්චර මැරෙනවද කියල. ඕගොල්ලන් ඒවට මොනවත් කරනවද. ඉස්සෙල්ලාම ඒ සත්තු ටික ආරක්ෂා කරගන්නත් මොනව හරි ක්‍රමයක් හදන්න. අනෙක ඕගොල්ලො හොඳට හිතේ තියාගන්න මිනිස්සු ගිය ආණ්ඩුව පරද්දල මාව පත්කළේ ඒ ආණ්ඩුව වැඩ නොකරපු හින්ද. ඔයගොල්ලො හදන්නෙත් වැඩ නොකර ඉඳල මාවත් පරද්දන්නද. ඒක හින්ද වැඩක් කරන්න ආපුවහම නෑ, බෑ කියන්න ලෑස්ති වෙන්න එපා. අනෙක වැඬේ කරන්න බය වෙන්නත් එපා…” යනුවෙන් ගෝඨාභය තරමක් දැඩි ස්වරයෙන් යුතුව නිලධාරීන්ට උපදෙස් දෙන ආකාරයක්ද දැකගත හැකි විය.

එජාප ජාතික ලයිස්තුවට ‌පොල්ලක්

ලකුණ සම්බන්ධයෙන් මේ දිනවල අර්බුදයකට පත්ව සිටින එජාපයේ පසුපෙළ මන්ත්‍රිවරුන් පිරිසක් මේ දිනවල තවත් විශේෂ මෙහෙයුමකට අත තැබීමට සූදානමින් සිටින බව ආරංචිය. ඒ ඊළඟ මහ මැතිවරණයේ එජාප ජාතික ලැයිස්තුව පිළිබඳවය. එහිදී මෙම මන්ත්‍රිවරුන් පක්ෂයට යෝජනාවක් ගෙන ඒමට සූදානමින් සිටින්නේ මෙවර ජාතික ලැයිස්තුවෙන් පත්කළ මන්ත්‍රිවරුන් සියලු දෙනාටම ඊළඟ මහ මැතිවරණයේදී තරග වැදී පාර්ලිමේන්තුවට ඒමට අවස්ථාව ලබාදීම සඳහා නාමයෝජනා ලබාදෙන ලෙස ඉල්ලීමක් කිරීමටය. මීට අමතරව පරාජයට පත්වුණු කිසිදු මන්ත්‍රිවරයකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නොගන්නා ලෙසට ඉල්ලා සිටීමටද මෙම පසුපෙළ මන්ත්‍රිවරුන් සැලැසුම් කර ඇති බව දැනගන්නට ඇත. යම් හෙයකින් පක්ෂය මෙම යෝජනා ඉදිරි මහ මැතිවරණයේදී ක්‍රියාත්මක නොකළහොත් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමටද මෙම පිරිස සූදානමින් සිටින බව වාර්තා වේ. විශේෂයෙන්ම මලික් සමරවික්‍රම, ඩී.එම්. ස්වාමිනාදන්, තිලක් මාරපන, ආශු මාරසිංහ, එම්.එච්.එම්. නවාවි, අනෝමා ගමගේ, සිරිනාල්ද මෙල් යන සියලු දෙනාටම මෙවර නාමයෝජනා දිය යුතු බවද ඔවුන්ගේ මතය වී තිබේ.

මෛත්‍රී ගහපු ‌ගේම හරි ගියාද

පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ ලොකුම මාතෘකාව වූයේ ශ්‍රීලනිපයත්, පොහොට්ටුවත් අතර නිර්මාණය වූ නව දේශපාලන සන්ධානයය. එම නව සන්ධානයේ සභාපතිකම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හිමිවීම ඊට එක් හේතුවක් වී තිබිණ. 2014 සිට 2018 ඔක්තෝබර් 26 දක්වාම මහින්ද ඇතුළු සියලුම රාජපක්ෂවරුන්ට පන්න පන්නා පහර දුන් මෛත්‍රි වැන්නකු මහින්දලා යළිත් ඇතුළට ගෙන අලුත් සන්ධානයක සභාපති ධුරය පවා ලබාදීමට කටයුතු කිරීම මුළු රටම කතාබහට ලක්කළ මාතෘකාවක් විය.
කෙසේ වෙතත් මෛත්‍රි මේ ආකාරයට ජනාධිපතිවරණයෙන් පසුව මහින්දලාට යළිත් කිට්ටු වීම සඳහා විවිධ උපක්‍රම පාවිච්චි කළේය. අපි එය අවස්ථා ගණනාවකදීම උදාහරණ සහිතව මෙම රාජ්‍ය රහස් තීරය ඔස්සේ පාඨකයන්ට රැගෙන ඒමට පියවර ගත්තෙමු. පළමුව මෛත්‍රි දයාසිරිලා, අමරවීරලා ලවා ප්‍රකාශ නිකුත් කරමින් කියා සිටියේ රාජපක්ෂවරුන් ජනාධිපතිවරයාගේ කකුලෙන් ඇදීමට කටයුතු කරන බවත්, ඒ හේතුවෙන් ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට ශ්‍රීලනිපය සූදානම් බවත්ය. මේ හරහා මෛත්‍රිට උවමනා වී තිබුණේ රාජපක්ෂ සහෝදරවරුන් අතර ගැටුමක් ඇතිකොට ගෝඨාභයට ළංවන්නටය. ඒ අවස්ථාවේ අප එය රාජ්‍ය රහස් තීරයේ පෙන්වා දුන්නේය.
ඉන් අනතුරුව මෛත්‍රි සිය සහෝදරයා වූ ඩඞ්ලි ලවා ගෝඨාභයට ළංවීමට උත්සාහ කළේය. ඉන් අනතුරුව අමරවීර සහ ලසන්ත ගෝඨාභය හමුවට යවා ශ්‍රීලනිප සභාපති ධුරය ගෝඨාභයට දීමට යෝජනා කළේය. ඒද කළේ රාජපක්ෂවරුන් අතර ගැටුමක් ඇතිකොට ගෝඨාව ශ්‍රීලනිපය කෙරෙහි නම්මා ගන්නටය. නමුත් ඒ සියල්ල අසාර්ථක වීමෙන් පසු මෛත්‍රිට වැටහුණු කාරණාව වූයේ නව සන්ධානයට ළංවීමට නම් ගෝඨාභයට කතාකොට පලක් නොමැති බවත්, ඊට මහින්දට සහ බැසිල්ටම කතා කළ යුතු බවත්ය. ඒ අනුව මීට සතියකට ඉහතදී මෛත්‍රි ශ්‍රීලනිප මහලේකම්වරයා වූ දයාසිරි ලවා මහින්දට ලිපියක් යැව්වේය. ඒ හරහා මෛත්‍රි ඉල්ලා සිටියේ සාකච්ඡාවක් සඳහා අවස්ථාව ලබාදෙන ලෙසත්, එම සාකච්ඡාවට කෙසේ හෝ බැසිල්වද කැඳවාගෙන එන ලෙසත්ය. එම ලිපියට අමතරව පණිවුඩ කිහිපයක්ම මහින්දට තැබූ මෛත්‍රි කෙසේ හෝ මෙම සාකච්ඡාව පැවැත්වීමට කටයුතු කරන ලෙසට ඉල්ලා සිටීමටද පියවර ගත්තේය.

දයාසිරි යවපු ලියුමට රාජපක්ෂවරුන් සාකච්ජාවක

මෛත්‍රිගේ මේ ආයාචනාත්මක ලිපිය ලැබීමෙන් අනතුරුව ඉකුත් සති අන්තයේදී ජනාධිපති ගෝඨාභයත්, අගමැති මහින්දත්, බැසිලුත් මුණගැසී ඊට ලබාදිය යුතු පිළිතුර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්හ. එහිදී බැසිලුත්, මහින්දත් දිගින් දිගටම පෙන්වා දුන්නේ මෛත්‍රිව සන්ධානයට එකතු කර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේත්, පාක්ෂිකයන් අතරත් දැවැන්ත විරෝධයක් ගොඩනැඟී ඇති බවය. විශේෂයෙන්ම පොළොන්නරුවේ මෙම තත්ත්වය ඉතා දරුණු බවද, ඒ හැරුණු විට හම්බන්තොට, කුරුණෑගල, අනුරාධපුරය තත්ත්වය එසේම බවද බැසිල් එහිදී පෙන්වා දුන්නේය.
ඉන් අනතුරුව තිදෙනා අතර සාකච්ඡා වූයේ මහ මැතිවරණයට ඉදිරිපත් වන සන්ධානය පිළිබදවත්, එහි ලකුණ පිළිබඳවත්ය. එහිදී බැසිල් කියා සිටියේ පොහොට්ටුව ලකුණ යටතේම නව සන්ධානය ගොඩනැඟිය යුතු බවකි.
“අපි මේ වෙලාව අලුත් ලකුණුවලට යන එකේ තේරුමක් නෑ. අපි දැන් මුළු රටේම ගොඩනැඟිච්ච පක්ෂයක්. පොහොට්ටුව කිව්වහම දැන් මුළු රටම දන්නවා. අනෙක පළාත් පාලන ආයතනවල බලය තියෙන්නෙත් අපේ අතේ. ජනාධිපතිවරයා බිහිවුණෙත් පොහොට්ටුව ලකුණින්. ඒ නිසා ලකුණ වෙනස් කිරීමක් ගැන හිතන්නවත් බෑ..” යනුවෙන් බැසිල් කියද්දී ගෝඨාභයද ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන්නට පියවර ගත්තේය.
“මොනව වුණත් ශ්‍රීලනිපය ජනාධිපතිවරණයේදී අපිට සහාය දුන්නා. මෛත්‍රිපාල එතැන හිටපු නැති එක වෙනම කතාවක්. එයා වේදිකාවට නගින්නෙ නැතිව සජිත්ට යටින් සපෝට් කරපු එකත් වෙනම කතාවක්. ඒක නිසා අපි එස්.එල්.එෆ්.පී. එක එකතු කරගත්තෙ නැත්නම් මිනිස්සු හිතයි අපි මේ අයගෙන් ප්‍රයෝජන අරගෙන පැත්තකට කළා කියලා. ඒ හින්ද මේ අයව ඇතුළට ගන්න විදිහක් බලන්න…” යනුවෙන් ගෝඨා කියද්දී මහින්දත්, බැසිලුත් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැතැයි කියාය.

සන්ධානයක් ආවත් ලකුණ ‌‌පොහොට්ටුව

ඒ අනුව එහිදී තීන්දු වූයේ නව සන්ධානයක් ගොඩනැඟුවද පොහොට්ටුව ලකුණ යටතේ මහ මහ මැතිවරණයට තරග කිරීමටය. එනම් නව සන්ධානය කිසිදු ලකුණකින් තොරව මැතිවරණ ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කිරීමටය. මීට අමතරව පොළොන්නරුව, අනුරාධපුර, හම්බන්තොට, කුරුණෑගල යන දිස්ත්‍රික්ක හතරේ ශ්‍රීලනිපය වෙනම තරග කිරීමට යෝජනා කිරීමටද මෙහිදී තීන්දු විය. මෙම තීන්දු ගැනීමෙන් පසුව මෛත්‍රිට අඟහරුවාදා (18දා) දින සාකච්ඡාවක් ලබාදීමට තීන්දු වූ නමුත්, ඊට පොහොට්ටුව පමණක් නොව සන්ධානය නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ටද ආරාධනා කිරීමට තීන්දු විය.
ඒ අනුව ඉකුත් අඟහරුවාදි දිනයේදී අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවට මහින්ද, බැසිල්ට අමතරව සන්ධානය නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ද ඊට සහභාගිව සිටි ආකාරයක් දැකගන්නට ලැබුණු අතර, ශ්‍රීලනිපය වෙනුවෙන් මෛත්‍රිත්, දයාසිරිත් සහභාගි වී සිටි ආකාරයක් දැකගත හැකි විය. එහිදී නව සන්ධානයකින් තරග වැදීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි නමුදු සලකුණ සම්බන්ධයෙන් හෝ නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් මෛත්‍රිත්, දයාසිරිත් වැඩිදුර කතා කිරීමට නොයෑම විශේෂ සිදුවීමක් විය. කලින් ශ්‍රීලනිපය ඔවුන්ට 30%ක නාමයෝජනා අවශ්‍ය බව සඳහන් කර තිබුණද මෙහිදී ඒ සම්බන්ධයෙන් වචනයක් හෝ කතා නොකළ අතර අවසානයේදී සියලු පක්ෂ සමන්විත වන පරිදි නාමයෝජනා කමිටුවක් පත් කිරීමට තීන්දු විය. කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ අදාළ සන්ධානයේ සභාපති ධුරය මෛත්‍රිපාලට පිරිනැමීමට තීන්දු වීමය. නමුත් මෛත්‍රීට ඉහළින් සිටින ලෙස සන්ධානයේ නායකත්වය මහින්දටත්, මහලේකම් ධුරය බැසිල්ටත් ලබා දීමට කටයුතු කර තිබිණ.

සන්තෝෂෙට අමරවීරගෙ ‌ගෙදර පාටියක්

මේ තත්ත්වය යටතේ මෛත්‍රිට සභාපති ධුරය හිමිවීම ශ්‍රීලනිපය පාර්ශ්වයෙන් විශාල ජයග්‍රහණයක් ලැබුවා හා සමාන තත්ත්වයකට පත්වී ඇති බවක් පෙනෙන්නට තිබුණේ අඟහරුවාදා රාත්‍රියේදීම එය සැමරීම සඳහා මහින්ද අමරවීරගේ කොළඹ නිවෙසේ විශාල සාදයක් පැවැත්වීමට සූදානම් කර තිබීම හරහාය. විවිධ රසමසවුළුවලින් මෙන්ම විදෙස් මත්පැන් වර්ගවලින්ද සමන්විතව තිබූ මෙම ප්‍රියසාදයේදී මෛත්‍රිද තමන්ට නව සන්ධානයේ සභාපති ධුරය හිමිවීම සම්බන්ධයෙන් මහත් ප්‍රීතියකින් සිටි ආකාරයත්, ඒ සම්බන්ධයෙන් මහත් උජාරුවෙන් යුතුව කතා කරමින් සිටින ආකාරයත් දැකගන්නට ලැබිණ. මෙසේ නව සන්ධානයේ සභාපති ධූරය හිමිවීම සම්බන්ධයෙන් මෛත්‍රීපාල මහින්ද අමරවීර මහතාගේ නිවසේ උත්සව තබා සමරද්දී සිරිසේන මහතාගේ උපන්ගම වූ ‌පොලොන්නරුවේ ‌පොහොට්ටු පක්ෂයේ ප්‍රධානියා වන රාජ්‍ය අමාත්‍ය ‌‌රොෂාන් රණසිංහ මහතා එදිනම රාත්‍රියේදී රටටම ‌පෙනෙන්නට ‌පෞද්ගලික නාලිකාවකදී සජීවීව සිරිසේන මහතාව දැඩි ‌ලෙස විවේචනය කිරීම විශේෂ සිදුවීමක් විය. එහිදී ‌රොෂාන් රණසිංහ මහතා කියා සිටියේ පක්ෂයේ ප්‍රධානීන් ගන්නා තීන්දුවලට තමන් එකග නමුත් සිරිසේන යනු සන්ධානවලට ගන්නවා තබා ‌දේශපාලනයට ගාවාගත යුතුවත් නැති පුද්ගලයකු බවය. ‌මෙවැන්නකු සමග එක ‌දේශපාලන ‌වේදිකාවක සිටිනවා තබා තමා නම් එවැන්නකු සමග එක පිට්ටනියකවත් රැදී ‌නොසිටින බවද සදහන් කර සිටියේය.

රොෂාන් ‌දොඹෙන් යන්න ‌දෙයි

2014 ‌නොවැම්බර් මස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග එකට රාත්‍රීයේදී ආප්ප කා ඊළග දවසේ එක්සත් ජාතික පක්ෂයට ගිය පුද්ගලයකු කිසිසේත්ම විශ්වාස කළ ‌නොහැකි බව කී ‌රොෂාන් රණසිංහ මහතා ඒ දවස්වල එතුමා ‌වේදිකාවේදී රාජපක්ෂවරුන්ට බැනවැදුණු ආකාර‌යේ වීඩියෝ ‌මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවල සැරිසරන බවත්, ඒවා දකින විට තමන්ට වමනය යෑමට එන බවත් ප්‍රකාශ කර සිටියේය.
එමෙන්ම මිනීමරුවන්ට ජනාධිපති සමාව දුන්, පාස්කු ප්‍රහාරයට ‌වගකිවයුතු පුද්ගලයන් සන්ධානයට එක් කරගැනීමට තමන් විරුද්ධ බවත්, නාමිකව ‌හෝ සභාපති ධූරය සිරිසේන මහතාට ලබා දුන්නද ඔහුට එරෙහිව තමන් ‌පොලොන්නරුවේ ජන්ද සටන දියත් කරන බවත් රණසිංහ අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.
මෛත්‍රීපාල ඇතුළු ශ්‍රීලනිපයේ ‌බොහෝ දෙනාට බලයේ සිටීමේ ‌පෙරේතකමක් ඇති බව කී එහිදී කී රණසිංහ මහතා අවස්ථාවාදීව ඇමැති කටුවලට ‌පෙරේතකමින් ‌එහෙට ‌මෙහෙට පනින ‌මේ ‌දේශපාලන ‌ගෙම්බන්ව ‌ගෙදර තැබීමට ‌මෙවර මහමැතිවරණයේදී ජනතාව කටයුතු කළ යුතු බව ද ‌පෙන්වා දුන්නේය. එමෙන්ම ඉකුත් ජනාධිපතිවරණයේදී සිරිසේන මහතා එජාප අපේක්ෂකයා වූ සජිත්ට සහාය දුන් බව ‌මේ වනවිට ඔප්පු වී ඇති බවත්, එවැනි කුමන්ත්‍රණකාරයන් නැවත ආණ්ඩුවට ළං‌වෙමින් සිටින්නේ අවස්ථාවක් ලැබුණු සැණින් නැවත කුමන්ත්‍රණ කිරීමට බවත් රණසිංහ අමාත්‍යවරයා ‌පෙන්වා දුන්නේය.

මෛත්‍රීව පඹයෙක් කරලා

කෙසේ වෙතත් අපිද මෛත්‍රිට ලබාදුන් මේ සභාපති ධුරයේ බලතල සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කළෙමු. එහිදී අපට දැනගන්නට ලැබුණේ පිහිටුවා ඇති මේ නව සන්ධානයේ සියලු බලතල රාජපක්ෂවරුන් අතේ තබාගෙන මෛත්‍රිට සන්ධානයේ නාමික සභාපති ධුරය පමණක් ලබාදීමට පියවර ගෙන ඇති බවය. එසේත් නොමැති නම් මෙම සන්ධානය වූ ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය’ මැතිවරණ කොමිසමේ සලකුණක් හෝ නොමැතිව නාමිකව ලියාපදිංචි කිරීමට කටයුතු කර ඇති බවය. උදාහරණයක් ලෙස 2001 ‘එක්සත් ජාතික පෙරමුණ’ නව සන්ධානයක් ලෙස නාමිකව ලියාපදිංචි කළද එහි ප්‍රධාන පක්ෂය එක්සත් ජාතික පක්ෂය වූ අතර, එහි ලකුණ අලියා විය. ඒ අනුව එක්සත් ජාතික පෙරමුණට කිසිදු බලයක් හිමි නොවීය. සියලු බලතල එජාපය සතු විය. එමෙන්ම උතුරේ දෙමළ ජාතික සන්ධානය නාමිකව සලකුණක් හෝ නොමැතිව ලියාපදිංචි කොට තිබුණද එහි ප්‍රධාන පක්ෂය තමිල් අරසු කච්චිය. එහි ලකුණ නිවෙසය. ඒ අනුව එහි සියලු බලතල ඇත්තේ දෙමළ ජාතික සන්ධානයට නොව තමිල් අරසු කච්චි පක්ෂයටය. ඒ ආකාරයට මෙම නාමික සන්ධානයේද කිසිදු ලකුණක් නොමැති අතර, එහි ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණය. එහි ලකුණ පොහොට්ටුවය. ඒ අනුව සන්ධානයේ සියලු බලතල ඇත්තේ පොහොට්ටුව සතුවය.
ඒ කෙසේ වෙතත් තවමත් මෙම සන්ධානය දිස්ත්‍රික්කවලින් තරග වදින ආකාරය පිළිබඳව අවසන් තීන්දුවක් ගෙන නොමැති අතර, රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ඇති තොරතුරුවලට අනුව ශ්‍රීලනිපයේ 20කට ආසන්න ප්‍රමාණයකට පමණක් නාමයෝජනා ලබාදීමට පොහොට්ටුව තීන්දුවක් ගෙන ඇති බව ආරංචිය. එමෙන්ම දිස්ත්‍රික්ක හතරක පමණ ශ්‍රීලනිපයට වෙනම තරග කිරීමට යෝජනා වී ඇති අතර, මහ මැතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩුවක් බිහිකොට 19 වැනි සංශෝධනයට අනුව අමාත්‍ය ධුර වැඩිකර ගැනීම සඳහා එම යෝජනාව ඉදිරිපත් වී ඇති බවක්ද දැනගන්නට ඇත.

රනිල්ට ඉන්දියාවේ එන්න කිව්වේ ‌මෝඩිද රාම්ද

එක්සත් ජාතික පක්ෂය ඇතුළේ මතුව ඇති අර්බුදය අස්සේ පසුගිය සතියේ ගිය කටකතාවකින් කියැවුණේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඉන්දීය රජයෙන් නිල ආරාධනාවක් ලැබී ඇති බවත්, එම ආරාධනාව අනුව මෙම සතිඅන්තයේ ඉන්දියාව බලා පිටත්ව යන රනිල්, එරට අගමැති නරේන්ද්‍ර මෝඩිවද මුණගැසී සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටින බවත්ය. සාමාන්‍යයෙන් ඉන්දියාව සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා කවුරුන්ද, ආණ්ඩුව කුමක්ද යන්න තීරණය කරන ප්‍රධානම රටක් ලෙසටය. 2005 මහින්දව බලයට පත්කළේත්, 2015 මහින්දව පරාජයට පත්කොට මෛත්‍රිව ජනාධිපති කෙරෙව්වේත් ඉන්දියාව බව දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසකි. මේ නිසාම සාමාන්‍යයෙන් අලුතෙන් බිහිවන ජනාධිපතිවරුත්, අලුතින් පත්වන ආණ්ඩුවල අගමැතිවරුන් සිය පළමු නිල සංචාරය ලෙස තෝරාගන්නේ ඉන්දියාවය. ඒ අනුව මෛත්‍රි ජනාධිපති වීමෙන් පසුව පළමුව ගියේත් ඉන්දියාවටය. ගෝඨාභය ජනාධිපති වීමෙන් පසුව පළමු සංචාරය ලෙස ගියේත් ඉන්දියාවටය. එපමණක් නොව මහින්දද අගමැති වීමෙන් පසු සිය පළමු සංචාරය ලෙස තෝරාගත්තේ ඉන්දියාවය. මෙසේ ඉන්දියාවට ගිය මහින්දට මෝඩි රාජ්‍ය නායකයකුට ලබාදෙන ඉහළම ගෞරවය ලබාදුන් ආකාරයද ඉකුත් සතියක අපි රාජ්‍ය රහස් තීරය ඔස්සේ රටට අනාවරණය කිරීමට පියවර ගත්තෙමු.
මේ නිසා ගෝඨාභයගේත්, මහින්දගේත් ඉන්දීය සංචාරයට පසුව හිටිහැටියේම රනිල්ට ඉන්දියාවෙන් ආරාධනා ලැබීම සම්බන්ධයෙන් බොහෝ දෙනා කලබලයට පත්ව සිටි බවක් දැකගන්නට ලැබුණු අතර එජාපය ඇතුළේ ගිය ලොකු හාහූවකින් කියැවුණේ රනිල් – සජිත් අර්බුදය මැද රනිල්ව ඉන්දියාවට කැඳවා ඔහුව ශක්තිමත් කිරීමට ඉන්දියාව කටයුතු කරමින් සිටිනවා යැයි කියාය. ඒ අනුව රනිල් පාර්ශ්වය මේ සම්බන්ධයෙන් විශාල තෘප්තියකින් සිටි ආකාරයක් දැකගත හැකි වූ අතර, සජිත් පාර්ශ්වයේ ඇතැමුන් කඩා වැටී සිටි ආකාරයක්ද ඒ හරහා දැකගන්නට ලැබිණ.

තත්ත්වය එසේ වූ හෙයින් අපද රනිල්ගේ මේ හදිසි ඉන්දීය ගමනේ ඇතුළු කතාව පිළිබඳව සොයා බැලීමට කටයුතු කළෙමු. ඒ අනුව අපට දැනගන්නට ලැබුණේ රනිල් මෙම සෙනසුරාදා, ඉරිදා (22-23) යන දෙදින තුළ ඉන්දියාවේ සංචාරය කරන්නේ එරට රජයෙන් ලැබුණු නිල ආරාධනාවකට අනුව නොවන බවය. එපමණක් නොව රනිල් මේ යන්නේ දේශපාලන සංචාරයක්ද නොවන බවය. රනිල් මේ යන්නේ බැංගලෝරයේ පැවැත්වීමට නියමිත ‘හින්දු එකමුතුවේ’ රැස්වීමකට සහභාගි වීමටය. මෙම ‘හින්දු එකමුතුව’ වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නේ ඉන්දියාවේ ප්‍රධාන පුවත්පතක් වන ‘ද හින්දු’ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘවරයා වන එන්. රාම් මහතා විසින්ය. රාම්ට ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද දේශපාලන සබඳකම් බොහෝය. ඉන්දියාවේ නම් රාම් සමීපව සිටින්නේ පාලක පාලක භාරතීය ජනතා පක්ෂයට වඩා විපක්ෂයේ සිටින ගාන්ධි පවුලේ කොංග්‍රස් පක්ෂය සමඟය.
පසුගිය අවුරුද්දේද මෙම සමුළුව සඳහා රාම් පළමුව ආරධනා කළේ රනිල්ටය. එවකදී රනිල් රටේ අගමැති නිසා මෙම සමුළුව ගැන එතරම් තැකීමක් කළ ආකාරයක් පෙනෙන්නට නොතිබිණු අතර තමන්ට ඊට සහභාගී විය නොහැකි බව රාම්ට දැනුම් දී සිටියේය. මේ නිසා රාම් ඉන් අනතුරුව ආරාධනා කළේ එවකට විපක්ෂනායකව සිටි මහින්දටය. ඉකුත් වසරේ මහින්ද මෙම සමුළුවට සහභාගි වූයේ එම ආරාධනාවට අනුවය. එසේ සහභාගි වූ මහින්දට විශාල පිළිගැනීමක්ද ඉන්දියාවේදී හිමිවිය.
කෙසේ වෙතත් රාම් මෙවර සමුළුවට නැවැතත් රනිල්ට ආරාධනා කිරීමට පියවර ගත්තේය. ඉකුත් වර එය ප්‍රතික්ෂේප කළ රනිල් මෙවර එය පිළිගැනීමට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැතත් බොහෝ දෙනා කියා සිටින්නේ එජාපයේ අර්බුද මැද රනිල් ප්‍රතිවාදී පිලේ මානසිකත්වය කඩාබිඳ දැමීම සඳහා මෙම ඉන්දීය ආරාධනාව පිළිගත්තා යැයි කියාය.

කිසිම ‌දේශපාලන හමුවක් නෑ

කෙසේවෙතත් මෙවර මෙම සමුළුවේ විශේෂ ආරාධිතයා ලෙස රාම් විසින් තෝරාගෙන ඇත්තේ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතාත්, ඉන්දීය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ අනිල් කුම්බ්ලේත්ය. සාමාන්‍යයෙන් ඉන්දීය ජනාධිපතිවරයා සැලකෙන්නේ කිසිදු දේශපාලන සම්බන්ධයක් නැති ඉතාම මැදිහත් පුද්ගලයකු ලෙසටය. සාමාන්‍යයෙන් ඉන්දීය ජනාධිපතිවරයා එවැනි දේශපාලන රැස්වීම්වලට පවා සහභාගි වන්නකු නොවේ. මේ නිසා මෙවර ඉන්දීය සංචාරයේදී රනිල්ට ඉතා සුළු වේලාවකට ඉන්දීය ජනාධිපතිවරයා පමණක් හමුවීමේ අවස්ථාව උදාවුවද එයද හුදු සාමාන්‍ය හමුවක් විනා කිසිසේත්ම දේශපාලන හමුවක් නොවනු ඇත. රනිල්ගේ මෙම ඉන්දීය සංචාරයේ ඇත්ත කතාව ඒකය.

අමෙරිකාව පත්තු කරපු කාල ‌බෝම්බය

මේ සියලු දේශපාලන හැලහැප්පීම් මැද පසුගිය සතියේ ඇමෙරිකාව ලංකාව ඉලක්ක කරගෙන එක්තරා ආකාරයක කාලබෝම්බයක් පත්තු කිරීමට පියවර ගත්තේය. ඒ, ශ්‍රී ලංකා යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට හා ඔහුගේ පවුලේ ඥාතීන්ට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කිරීම හරහාය. ආරම්භයේදීම අප මෙය කාලබෝම්බයක් ලෙස හඳුන්වා දුන්නේ හරියට කල්යල් බලා ඇමෙරිකාව විසින් පත්තු කළ බෝම්බයක් ලෙස මේ සිද්ධිය පසුපස ඇති සිදුවීම් විමර්ශනය කර බලන විටදීය. එහි ප්‍රධාන හේතුව බවට අපට පෙනී යන්නේ මේ මස අවසානයේදී ආරම්භ වීමට නියමිත ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ වාර්ෂික සැසිවාරයය. මෙම ජිනීවා සැසිවාරය කටමුල තියා ඇමෙරිකානු ජනාධිපතිවරයාට පසුව ඉන්න රටේ ප්‍රබලතම බලධාරියා වන රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා විසින් ශවේන්ද්‍රට මෙවැනි තහනමක් පනවන බවට නිවේදනය කිරීමට හේතු වූයේ කුමක්ද?
එක පැත්තකින් මීට සති දෙකකට පමණ ඉහතදී ඇමෙරිකානු රජයේ මධ්‍යම හා ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම්වරිය වන ඇලිස් බී. වෙල්ස් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී පැවැත්වූ සාකච්ඡා හා මෙම සිදුවීම අතර සම්බන්ධයක් ඇද්ද යන්න පිළිබඳ මේ වන විට ඇත්තේ බරපතළ සැකයකි. මාධ්‍ය වාර්තා කළේ එම සාකච්ඡාවේදී එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වූ බවකි.

ක්ෂෙනුකාට එන්න කියයි

කෙසේ වෙතත් මෙම තහනම පැනවීම කරළියට ඒමට දින කිහිපයක් තියා ජිනීවාහි පිහිටි ආරක්ෂක මණ්ඩලයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය වූ ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මියට කැඳවීමක් ලැබිණ. එහිදී ඇගෙන් විමසීමක් කර තිබුණේ මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාව පිළිබඳව ලංකාවේ ස්ථාවරය කුමක්දැයි කියාය. 2016 වසරේදී පැවැති යහපාලන ආණ්ඩුව ඇමෙරිකාව විසින් ගෙනා මානව හිමිකම් කොමිසමේ යෝජනාවට සම අනුග්‍රහය ලබාදී තිබීම ඊට හේතුවය. නමුත් වත්මන් රජයේ පළමු මානව හිමිකම් සැසිවාරය මෙය වීම නිසා ඒ සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ නිල ස්ථාවරය කල්තියා දැනගැනීම මෙම විමසීමේ අරමුණ වී තිබිණ. ඒ අනුව ක්ෂෙනුකා කළේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කොට ආණ්ඩුව ලබාදුන් උපදෙස් පරිදි මෙම සමඅනුග්‍රාහකත්වය දැක්වීම නොපිළිගන්නා බවට ආරක්ෂක මණ්ඩලයට දැනුම්දීමය. ඊට සමගාමීව ආණ්ඩුව වෙනත් පියවරයන් ගැනීමට සූදානමින් සිටින බවද එහිදී ක්ෂෙනුකා ඔවුන්ට දැනුම්දී සිටියේය. ඒ අනුව බොහෝ දෙනා දැන් සැක පලකරමින් සිටින්නේ ඇමෙරිකාව ශවේන්ද්‍රව ඉලක්ක කළේ ආණ්ඩුව ලබාදුන් මෙම පිළිතුර නිසාද යන්නය.
කෙසේ වෙතත් ශවේන්ද්‍ර පමණක් නොව මේ වන විට යුද ජයග්‍රහණයට සම්බන්ධ වූ බොහෝ හමුදා නිලධාරීන්ට ඇමෙරිකාව සිය දොර වසා ඇති බව බොහෝ දෙනකුට අමතක වී ඇති කාරණයකි. ඒ අතර යුද ජයග්‍රහණයට අණ දුන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඇතුළු ජෙනරාල්වරු සහ බි්‍රගේඩියවර්වරු පනස් ගණනක් සිටින බව දැනගන්නට ඇත. මීට අමතරව ෆොන්සේකා සතුව තිබූ ඇමෙරිකානු ග්‍රීන්කාඞ් හිමිකමද ඇමෙරිකාව විසින් අත්හිටුවා ඇත. ෆොන්සේකා යහපාලන ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව පැවැති පළමු එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල රැස්වීමට ජනාධිපතිවරයා සමඟ ඇමෙරිකාව බලා පිටත්ව යෑමට නියමිතව සිටි දූත කණ්ඩායමට ඇතුළත්ව සිටියද අවසන් මොහොතේ ඇමෙරිකාව වීසා ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුට එම සංචාරයට එක්වීමට පවා නොහැකි විය. අනෙක් අතට ජිනීවා මානව හිමිකම් රැස්වීම ආරම්භ වීමට ඔන්න මෙන්න තියා ඇමෙරිකාව එල්ල කළ මෙම ප්‍රහාරය ආණ්ඩුවට නිකුත් කළ රතු එළියක් බවද ඇතැමුන්ගේ මතය වී තිබේ.

ජිනීවා ටීම් එකක් ලංකාවට

මේ අතර පසුගිය සතියේදී ජිනීවාහි ඉහළ පෙළේ දූත කණ්ඩායමක්ද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. සාමාන්‍යයෙන් මානව හිමිකම් චෝදනාවලට ලක්ව සිටින රටවල්වල ප්‍රගතිය සොයා බැලීම සඳහා මෙසේ ජිනීවා දූත පිරිස් එම රටවල්හි සංචාරය කිරීමට කටයුතු කරන අතර, ආණ්ඩුව ජිනීවා සම අනුග්‍රාහක යෝජනාවෙන් ඉවත් වන බව ප්‍රකාශ කළේද මෙම දූත පිරිස සිදු කළ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුවය.
කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව ජිනීවා යෝජනාවට සම අනුග්‍රාහකත්වය ලබාදීම සම්බන්ධයෙන් ආරම්භයේ සිටම විරෝධය පළකිරීමට කටයුතු කර තිබිණි. ඔවුන් කියා සිටියේ තම ආණ්ඩුවක් පිහිටවූ සැණින් මෙම සම අනුග්‍රාහකත්ව යෝජනාවෙන් ඉවත් වීමට කටයුතු කරනවා යැයි කියාය. නමුත් ආණ්ඩුව යම් උපක්‍රමයක් භාවිතා කරමින් මේ සිදුකර ඇත්තේ බරපතළ ගැටලුසහගත තත්ත්වයෙන් මිදීම සඳහා කිසියම් කාලයක් ලබාගැනීමය. විපක්ෂයේ සිටියදී සම්පූර්ණයෙන්ම සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වන බව කීවද ආණ්ඩුව මේ වන විට කර ඇත්තේ 30-1 වගන්තියට පමණක් දක්වන සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමට තීන්දු කිරීමය.

ආණ්ඩුව උපක්‍රමයක් ‌යොදයි

යහපාලන ආණ්ඩුව අදාළ යෝජනාවට සමඅනුග්‍රාහකත්වය ලබාදී එම යෝජනාවේ අඩංගු කරුණු ඉටුකිරීම සඳහා ලබාගත් කාලය අවසන් වීමට තවත් වසරක කාලයක් ඉතිරිව තිබේ. එම වසරක කාලය ගෙවෙන තෙක් ජිනීවා කොමිසමට එම කරුණු ඉටු නොකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාවක් නැත. ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත ඉහළ පෙළේ දූත කණ්ඩායමක් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජිනීවා බලා පිටත්ව යෑමට නියමිතය. මෙවර ලංකාව මුල්කරගෙන ඡන්ද විමසීමක් නොපැවැත්වෙන නිසාත්, අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීමට තවත් වසරක කාලයක් ඇති නිසාත් ආණ්ඩුවට මෙවර ජිනීවාවලදී කිසියම් සහනයක් හිමිව ඇති ආකාරයක් දැකගන්නට ඇත. ඒ අනුව ආණ්ඩුව එම සහනය උපයෝගි කරගනිමින් මේ වන විට උපක්‍රමශීලීව එම කාලය ඇතුළත ආණ්ඩුව මුහුණදී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුදවලින් ගොඩ ඒමට සැලසුම් කරමින් සිටින බවක් දැකගන්නට තිබේ.

සුමන්තිරන් කැනඩා හවුස් එකේ

මේ ආකාරයට මෙවර ජිනීවා සමුළුව තුළදී ආණ්ඩුව කිසියම් සහනදායක තත්ත්වයක් නිර්මාණය වී ඇති ආකාරයක් පෙනෙන්නට තිබුණද එක්තරා විශේෂ පුද්ගලයකුගේ ක්‍රියාකලාපයක් හේතුවෙන් ආණ්ඩුවට මෙවර ජිනීවාවලදී ගැටලුවලට මුහුණදීමට ඉඩ නැතුවාම නොවේ. ඒ පුද්ගලයා වෙන කවුරුවත් නොව දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨයකු වූ එම්.ඒ. සුමන්තිරන්ය. සුමන්තිරන් පසුගිය සති කිහිපය පුරාම සිටියේ ලන්ඩන්වල පිහිටි ‘කැනඩා හවුස්’ නමින් හඳුන්වන කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලයේය. එහි සිටින කාලය අතරතුරදී සුමන්තිරන් එරට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල නියෝජිතයන් සහ දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් රැසක් හමුවීමට පියවර ගත්තේය. සුමන්තිරන් එසේ කළේ ජිනීවා මානව හිමිකම් කොමිසම් සැසිවාරයේදී ආණ්ඩුවට එරෙහිව බාල්දියක් පෙරළීමටද යන්න පිළිබඳව තවමත් තොරතුරු නැතත් රාජ්‍ය රහස් තීරයට ලැබී ඇති ආරංචිවලින් කියැවෙන්නේ ශ්‍රී ලංකාව යෝජනා කිහිපයකට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත් වීමට එරෙහිව සුමන්තිරන් කරුණු දක්වා ඇතැයි කියාය. ඒ අනුව සුමන්තිරන්ගේ මෙහෙයුමේ ප්‍රතිඵල බලාගැනීමට සිදුව ඇත්තේ ජීනීවා මානව හිමිකම් කොමිසම ආරම්භ වීමෙන් පසුවය.

ගිහින් ගැහුවේ ජන්ද ‌ගේමක්ද

සුමන්තිරන් ජිනීවා ගොස් මෙවැනි මෙහෙයුමක් කිරීමට බලපෑ ඇති තවත් ප්‍රධාන හේතුවක් තිබේ. ඒ ලබන මස පැවැත්වීමට නියමිත මහ මැතිවරණයය. මේ වන විට දෙමළ ජාතික සන්ධානය තීන්දු කර ඇත්තේ මෙවර මහ මැතිවරණයේදී උතුරු නැඟෙනහිර ඇතුළු අනෙකුත් ප්‍රදේශවලට තනිව තරග වැදීමටය. ජනාධිපතිවරණයේදී ලද ප්‍රතිඵලයෙන් අනතුරුව මුල්වටයේදී ඔවුන් මහ මැතිවරණය සම්බන්ධයෙන් උතුරු නැඟෙනහිර ප්‍රදේශවල මත විමසුමක් සිදුකර ඇති අතර, ඒ ලැබුණු ප්‍රතිඵලවලට අනුව ඔවුන්ට වැටහී ගියේ ආසන දොළහක පමණ ප්‍රමාණයක් එම ප්‍රදේශවලින් ඔවුන්ට ලබාගත හැකි යැයි කියාය. මහ මැතිවරණයේදී අනෙකුත් පක්ෂවලටද ඡන්ද බෙදීයෑමක් සිදුවීමට නියමිත නිසා ඔවුන්ට මෙතෙක් හිමිව තිබූ ආසන 16න් 4ක් පමණ වෙනත් පක්ෂවලට බෙදීයා හැකි බව මුල්වටයේ කළ මෙම මත විමසුමෙන් ඔවුන්ට පෙනී ගොස් තිබිණ. ඒ අනුව මේ වන විට දෙමළ ජාතික සන්ධානය නැවැත වතාවක් උතුරේ රාජපක්ෂ විරෝධය මතුකරමින්, උතුර මිලිටරිකරණය වන බව කියමින් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව පෙනෙන්නට තිබේ. ජිනීවා ප්‍රශ්නයද ඔවුන් අතට ගෙන ඇති ආකාරයක් පෙනී යන්නේ මෙම පසුබිමේ සිටය. සුමන්තිරන් ලන්ඩනයට ගොස් මතුකරමින් සිටින්නේද මේ ආණ්ඩු විරෝධයය. ඒ අනුව අලුතෙන්ම සිදුකළ මත විමසුමට අනුව මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ ආසන සංඛ්‍යාව 12 සිට 15 දක්වා ඉහළ දමාගැනීමට හැකිවනු ඇති බව ඔවුන්ට වැටහී ගොස් තිබේ. ඒ අනුව ජිනීවා යෝජනාවේ වගන්ති දෙකකට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත්වීම හරහා ආණ්ඩුව ඉදිරි මහ මැතිවරණයේදී ගොඩයෑමට හේතු සකසා ගනිමින් සිටිනවා වාගේම දෙමළ ජාතික සන්ධානයද ජිනීවා සමුළුව පෙන්වා මහ මැතිවරණයේදී උතුරෙන් ගොඩයෑමට හේතු සකසා ගනිමින් සිටිනා බවක් දැකගන්නට තිබේ.

ආණ්ඩුව නූලෙන් ‌බේරෙයි

පසුගිය සතියේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ මුදල් පනතක් පරාජයට පත්වීමේ අවදානමෙන් ආණ්ඩුව ගැලවී ගියේ අනූනවයෙනි. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී ආණ්ඩුව සිය ණය සීමාව ඉහළ නංවා ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබූ අතර, ඒ හරහා ණය සීමාව රුපියල් බිලියන 721 සිට බිලියන 1078 දක්වා රුපියල් බිලියන 357කින් ඉහළ නංවා ගැනීමට සැලසුම් කර තිබිණ.
ආණ්ඩුව බ්‍රහස්පතින්දා දිනයේදී මේ ආකාරයට බිලියන 357ක් වැඩිපුර ලබාගැනීමට සැලැසුම් සකස් කර තිබියදී බදාදා රාත්‍රියේ තවත් එක්තරා විශේෂ සිදුවීමක් සිදුවිය. ඒ සිරිකොතේදී රැස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදීය. එම රැස්වීමට එජාප නායක රනිල් මෙන්ම විපක්ෂ නායක සජිත්ද සහභාගිව සිටි අතර එහි ප්‍රධාන මාතෘකාව වූයේ ආණ්ඩුව මේ ගේන්නට යන පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳවය. ඒ අනුව එහිදී විවිධ මන්ත්‍රිවරුන් විවිධ මත ඉදිරිපත් කළ අතර සජිත් එහිදී කියා සිටියේ ආණ්ඩුව සංවර්ධන කටයුතු සිදුකිරීම සඳහා ගනු ලබන ණයවලට එරෙහි වුවහොත් ඒ හරහා වෙනත් මතයක් රටට යනු ඇතැයි කියාය. නමුත් සංවර්ධන නොවන කටයුතුවලට ගනු ලබන ණයවලට විරුද්ධ විය හැකි බවද සජිත් එහිදී පිරිසට පෙන්වා දුන්නේය.
නමුත් සජිත්ගේ මේ මතයට එරෙහිව පළමුව අදහස් දැක්වූයේ මරික්කාර්ය. මරික්කාර් කියා සිටියේ සංවර්ධනයට ගන්නා ණය සහ වෙනත් වැඩකටයුතුවලට ගන්නා ණය වශයෙන් එකකට විරුද්ධ වී එකකට පක්ෂ විය නොහැකි බවත්, විරුද්ධ වනවා නම් සෑම ණය ගැනීමකටම විරුද්ධ විය යුතු බවත්ය. ආණ්ඩුව මෙසේ ණය ලබාගන්නේ මහ මැතිවරණය ඉලක්ක කරගෙන පාරවල් ඉදිකිරීමට බව එහිදී කියා සිටි මරික්කාර් දැනටමත් ඇතැම් මාර්ග සංවර්ධන කටයුතු විවිධ කොන්ත්‍රාත්කරුවන්ට ලබාදී ඇති බවද පෙන්වා දුන්නේය. එම නිසා ඊට එරෙහිව කටයුතු කළයුතු බවද මරික්කාර් කියා සිටියේය.

රහස ආණ්ඩුවේ කනේ තිබ්බේ කවුද

මරික්කාර්ගේ මෙම ප්‍රකාශයත් සමඟම ඔහුගේ අදහසට පක්ෂව මන්ත්‍රිවරුන් බොහෝදෙනකුම අදහස් දැක්වීම නිසා රැස්වීම තරමක් උණුසුම් වූ ආකාරයක් දැකගන්නට තිබිණ. විශේෂයෙන්ම අර්ජුන ඇතුළු මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක්ම පෙන්වා දුන්නේ දැනටමත් ආණ්ඩුව මෙසේ ගෙන ඇති ණය මුදල්වලින් තම තමන්ගේ දිස්ත්‍රික්කවලත් පාරවල් සෑදීමේ කටයුතු ආරම්භ කර ඇති බවකි. ඒ අනුව ආණ්ඩුවේ මෙම පරිපූරක ඇස්තමේන්තු යෝජනාවට එජාපය ඡන්දයක් ඉල්ලා සිටිය යුතු බවත්, එහිදී ඊට විරුද්ධව ඡන්දය භාවිතා කළ යුතු බවත් එහි සිටි බොහෝ දෙනකුගේ අදහස විය. නමුත් සජිත් පෙන්වා දුන්නේ එය පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කර තීන්දුවක් ගත හැකි යැයි කියාය.
කෙසේ වෙතත් බ්‍රහස්පතින්දා දිනයේදී පාර්ලිමේන්තුව ආරම්භ වන විටත් එජාපය ආණ්ඩුවේ මෙම පරිපූරක ඇස්තමේන්තු යෝජනාවට විරෝධය පළකරමින් ඡන්දය පාවිච්චි කිරීමට සැලැසුම් කර ඇති ආකාරයක් ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ කනට වැටී තිබිණ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා තොරතුරු සොයා බලද්දී ඔහුටද මෙම තොරතුරුවල යම් සත්‍යතාවක් ඇති බව දැකගන්නට ලැබිණ. ඒ අනුව මුදල් පනතක් පරාජයට පත්වුවහොත් එය ආණ්ඩුවෙ පැවැත්මට සහ නමට එතරම් හොඳ නැති නිසා අවසානයේදී ආණ්ඩුව තීන්දු කළේ එම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීම අත්හිටුවීමටය. එමෙන්ම මේ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා අවසන් තීන්දුවක් ගැනීමටද එහිදී ආණ්ඩුව තීන්දු කර තිබිණ.

රවී කවුරුත් ‌නොහිතන ‌දෙයක් කරයි

පසුගිය සතිය ආරම්භ වන විට එජාපය සිටියේ කැඩී වෙන්ව තරග කිරීමේ එළිපත්තේය. එජාපයේ රනිල් හිතවාදී පිල අලියා ලකුණ යටතේ එජාපයෙන්ද, සජිත් පිල හදවත ලකුණ යටතේ සමගි ජන බලවේගයෙන්ද තරග කිරීම සඳහා සියලු සැලැසුම් සකස් කර ඇති ආකාරයක් පසුගිය සතිඅන්තය වන විට දැකගන්නට ලැබිණ. නමුත් කිසිවකුත් නොසිතූ ආකාරයට පක්ෂය දෙකඩ නොවී මෙම ප්‍රශ්නය විසඳෙන තැනට තල්ලු වූයේ එජාපයේ උපනායකයා වන රවි කරුණානායක මහතා ගනු ලැබූ තීන්දුවත් සමඟය. ඒ වන විටත් අලියා, හංසයා සහ හදවත ලකුණ මහ මැතිවරණයේ ලකුණ බවට පත්කර ගැනීම සඳහා රනිල් පිලත්, සජිත් පිලත් වරින්වර සාකච්ඡා තබමින් තීන්දු කිරීමට උත්සාහ කළද ඒ සියලු සාකච්ඡා අවසන් වූයේ අවසන් තීන්දුවකින් තොරවය. ඒ අනුව පසුගිය සතිඅන්තය වන විට එජාපයේ දහදෙනකුගෙන් යුත් කමිටුවක් පත්කළේ මෙම ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමටය. ඒ අනුව එම කමිටු රැස්වීමේදී දෙපාර්ශ්වය අලියාටත්, හදවතටත් අදිද්දී ප්‍රශ්නය විසඳීමට මූලිකත්වය ගත්තේ රවිය. එහිදී රවි කියා සිටියේ මෙම ප්‍රශ්නය අතරමැද විසඳුමකට ගෙන ඒම සඳහා එම සලකුණු දෙකම ඉවත් කොට පොදු ලකුණක් වූ හංසයා ලකුණ එයට යොදාගත හැකි බවත්, තමන් යටතේ ඇති එම ලකුණ ජාතික සමගි බලවේගයට ලබාදීමට තමන් සූදානම් බවත්ය.
බොහෝ දෙනකු සිතා සිටියේ පසුගිය කාලයේ සිදුවූ ඇතැම් සිදුවීම් මුල්කරගෙන සජිත් හා රවි අතර බද්ධ වෛරයක් ඇතැයි කියාය. නැතහොත් සජිත්ගේ ලොකුම හතුරා රවි යැයි කියාය. නමුත් රවි දෙවැනි වතාවටත් තම සලකුණ වූ හංසයා ලකුණ සජිත්ට ලබාදීම හරහා එම මතය පුස්සක්ව ගිය අතර, රවිට ඉදිරියේදී සජිත්ගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ විශාල වගකීමක් පැවරීමටද තීන්දු වී ඇති බව ආරංචිය. මේ අනුව දැන් මෙම හංසයා ලකුණ සමගි බලවේගයට ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව ඇත්තේ මැතිවරණ කොමිසම අතේය.

රුවන් ගම්පහින් ‌කොළඹට පනින්න යයි

පසුගිය බදාදා දින එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණේ මේ ආකාරයට සජිත්ගේ නායකත්වයෙන් නව සන්ධානයක් පිහිටුවා හංසයා ලකුණ පෙරටු කරගෙන මහ මැතිවරණයට ඉදිරිපත් වීමට සියලු පසුබිම සකස් වී තිබියදීය. ඒ අනුව එම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී කලින් ඇතිකරගත් එකඟතාවන් අනුව එම යෝජනාව සම්මත වනු ඇති බවක් බොහෝ දෙනා සිතා සිටියද සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. එහිදී කවදාවත් නැතිව මුලින්ම යළිත් වතාවක් අලියා ඉල්ලමින් අදහස් දැක්වීම ආරම්භ කළේ රනිල්ගේ ඥාති පුත්‍රයකු වන රුවන් විජේවර්ධනය. රුවන් ඩී.එස්. සේනානායක කාලයේ සිට අලියාගේ ඉතිහාසය පිළිබඳව විස්තර කරමින් මෙවර මහ මැතිවරණයටද අලියා යොදාගත යුතු බව කියා සිටියේය. රුවන් එසේ කතා කරද්දී පිටුපස සිටි එක්තරා මන්ත්‍රිවරයකු කියා සිටියේ ගම්පහ, බියගමින් මෙවර ජයග්‍රහණය කළ නොහැකි බව දන්නා රුවන් මෙවර කොළඹින් ඉදිරිපත් වීමට සූදානමින් සිටිනවා යැයි කියාය.

රං‌ගෙ යළි අලියට

කෙසේ වෙතත් රුවන්ගෙන් අනතුරුව වජිරද අලියා අවශ්‍ය බව කියද්දී නවීන් තරමක් වෙනස් ස්ථාවරයක මෙවර සිටි බවක් දැකගන්නට තිබිණ. වෙනදා නම් අලියාගෙන්ම තරග කළ යුතු බව නවීන් දැඩිව කියා සිටියද මෙවර ඔහු කියා සිටියේ අනෙක් දිස්ත්‍රික්ක කෙසේ වෙතත් නුවරඑළියේ ජනතාවට අලියා සහ කොළ පාට ඇහැට හුරු නිසා අවම වශයෙන් නුවරඑළියටවත් අලියා ලකුණ දෙන්න යැයි කියාය. ඒ සමඟම දයාද කියා සිටියේ අම්පාරේද තත්ත්වය එයම නිසා නුවරඑළියට දෙනවා නම් අම්පාරටද අලියා ලකුණ යටතේ තරග වැදීමට අවස්ථාව දෙන්න යැයි කියාය.
මේ ආකාරයට එක් පැත්තකින් නැවැත වතාවක් අලියා ඉල්ලද්දී සහ අනෙක් පැත්තෙන් ඇතිකරගත් එකඟතාවන්ට අනුව හංසයා ලකුණින් තරග කළ යුතු බව කියද්දී තත්ත්වය තරමක් උණුසුම් වූයේ රංගේ බණ්ඩාර අදහස් දැක්වීමත් සමඟය. රංගේ කියා සිටියේ අලුත් සන්ධානයකට අලුතින් ජවිපෙ හෝ ශ්‍රීලනිපය එකතු වන්නේ නම් පමණක් ලකුණ වෙනස් කළාට කමක් නැති බවත්, එම දෙපාර්ශ්වයම නොමැතිව ලකුණ වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත්ය. රංගේගේ මේ අදහස් දැක්වීමත් සමඟ ඔහුට එරෙහිව අදහස් පළකරන්නට පටන් ගත්තේ රවීන්ද්‍ර සමරවීරය. රංගේට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් කතා කළ රවින්ද්‍ර මේ හදන්නේ ඇතිකරගත් එකඟතාවන් කඩාකප්පල් කිරීමට යැයි කියමින් රංගේට දැඩිව චෝදනා එල්ල කරන්නට විය. ඊට හරීන්ද එක්වීමත් සමඟ වාදය දුරදිග යන ආකාරයක් දැකගන්නට තිබිණ.

සදුදා අවසන් තීන්දුවක්

ඒ අනුව වහාම ඊට මැදිහත් වූ රනිල් කියා සිටියේ හංසයා ලකුණින් තරග කිරීමේ ගැටලුවක් නොමැති බවත්, නමුත් ඒ සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය විමසා බැලිය යුතු බවත්ය. ඒ අනුව මැතිවරණ කොමිසම සමඟ ඒ පිළිබඳ සොයාබලන ලෙස රනිල් රවිටත්, රංජිත්ටත් දැනුම් දුන්නේය. ඒ අනුව ඒ මොහොතේම රවිත්, රංජිතුත් දෙදෙනාම මැතිවරණ කොමිසම බලා පිටත්ව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ. එමෙන්ම තමන් සතිඅන්තයේ ඉන්දියාව බලා පිටත්ව යන බව මෙහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දුන් රනිල් ඉන් අනතුරුව නැවැත වතාවක් සඳුදා දිනයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් තබා සලකුණ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගත හැකි බව දැනුම්දී සිටියේය.
එමෙන්ම මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේද නව සන්ධානයේ ව්‍යස්ථා කෙටුම්පත සජිත් පිල විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කළ අතර, මේ වන විට එය නීතිඥ මණ්ඩලයක් මඟින් අධ්‍යයනය කරමින් සිටින බවද දැනගන්නට ඇත.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

කප්පම් ගත් ප්‍රබල ඇමැතිගේ හා ‌ප්‍රකට දේශපාලන ව්‍යාපාරිකයකුගේ හඬපට එළියට (රාජ්‍ය රහස්)

Next Post

ඔබේ නිවෙස හොඳ මොනවාටද

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.