ආන්දෝලනයට තුඩුදුන් ගල්අඟුරු ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලියට සම්බන්ධ සියලුදෙනා වසරක කාලයක් සඳහා ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලියෙන් ඉවත් කරන ලෙස රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව අද (04) පාර්ලිමේන්තුවට යෝජනා කළේය.
එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විගණකාධිපතිවරයාගේ වාර්තාවක් උපුටා දක්වමින් සඳහන් කළේ, ගල්අඟුරු ටෙන්ඩර් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකර ඇත්තේ රජයේ අනුමත ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට පටහැනිව බවය.
අංක LCC/22/TT/1 දරණ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය සඳහා ගල්අඟුරු සැපයීමේ ටෙන්ඩරය අඩුම ලංසුවට ලබාදී තිබියදී එම සමාගම ගල්අඟුරු සැපයීම ප්‍රතික්ෂේප කිරීම නිසා යළි ටෙන්ඩර් කැඳවීමට රජයට සිදුවුණි.
ඒ අනුව, මෙම ක්‍රියාවලිය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විගණකාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව සිදුකළ විගණන වාර්තාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
එමෙන්ම මෙම විගණන වාර්තාව උපුටා දක්වමින් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවද පාර්ලිමේන්තුවට අද වාර්තාවක් ඉදිරිපත් කළේය.
විගණන වාර්තාවට අනුව විගණකාධිපතිවරයා නිරීක්ෂණය කර ඇත්තේ මෙම ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය රජයේ අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මාර්ගෝපදේශයන්ට අනුකූල නොවන බව මූලික වශයෙන් නිරීක්ෂණය වී ඇති බවය.
විශේෂයෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සුදුසුකම් ලත් උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ප්‍රසම්පාදනයන්ට සහභාගීවීම සඳහා සාධාරණ සමාන උපරිම අවස්ථාවක් ලබාදිය යුතු යන අරමුණු කඩකර ඇති බව එම වාර්තාවේ සඳහන්ය.
මෙහිදී විගණකාධිපතිවරයාගේ නිර්දේශය වන්නේ ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ සියලු පාර්ශ්ව රජයේ අනුමත ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුකූලව සිය වගකීම් නිවැරදිව ඉටු කරනු ලබන බවට තහවුරු කිරීම හා එම තත්ත්වයෙන් බැහැර වන පාර්ශ්වයන්ට එරෙහිව සුදුසු පියවර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරන බවය.
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී,
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,
“කොහොමද ලියාපදිංචි නොවූ සමාගමකට මේ ටෙන්ඩරය ලබාදුන්නේ.”
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා,
“මේ සම්බන්ධයෙන් එවැනි නිර්දේශයක් ලබාදීමට පෙර, ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලියට සහභාගී වූ නිලධාරීන්ටත් ඇහුම්කන් දෙන්න. ඒකපාර්ශ්වික තීරණයක් වෙනුවට.”