• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

ආණ්ඩුව ඇතුළේ පිපිරුමක්! ගෝඨාගෙන් සිංගප්පූරුවේ සිට තහනමක්! බැසිල් අමෙරිකා ගියේ නොඑන්නමද? ප්‍රබල ඇමැති විපක්ෂයට දෙමළෙන් දුන් පණිවුඩය! (රාජ්‍ය රහස්)

December 19, 2021
in Exclusive, Rajya Rahas
Reading Time: 19 mins read
A A
ආණ්ඩුව ඇතුළේ පිපිරුමක්! ගෝඨාගෙන් සිංගප්පූරුවේ සිට තහනමක්! බැසිල් අමෙරිකා ගියේ නොඑන්නමද? ප්‍රබල ඇමැති විපක්ෂයට දෙමළෙන් දුන් පණිවුඩය! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

ඇක්සස් සමාගමෙන් පොහොට්ටුවට තෑග්ගක්!

කඩවුණු පොරොන්දු වෙනුවට ඉන්දියාවෙන් දැඩි කොන්දේසි!

ආණ්ඩුවෙන් එළියට බහින අලුත්ම ඇමැති ඩලස්ද?

බැසිල්ගෙන් පීබීට අලුත් තනතුරක්!

සජිත්-අනුර අලුත් සන්ධානයක්!

පසුගිය සතියේ අපි ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය පිළිබඳ කිසිවකුත් නොදත්, කිසිදු මාධ්‍යයක පළ නොවූ තොරතුරු රැසක් ගෙන ඒමට කටයුතු කළෙමු. එහිදී ඉන්දියාව කොන්දේසි පනවමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට යන ලෙස බැසිල්ට උපදෙස් දුන් ආකාරයද අපි එහිදී අනාවරණ කර සිටියෙමු. කෙසේ වෙතත් ඉන්දියාව එසේ පැවසුවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට යෑම සම්බන්ධයෙන් නම් ආණ්ඩුව තවමත් සිටින්නේ බරපතළ දෙගිඩියාවකය. කැබිනට් මණ්ඩලයේ කොටසක් මුල්‍ය අරමුදල හමුවට යා යුතු බවට කියද්දී තවත් කොටසක් කියන්නේ මැරුණත් මුල්‍ය අරමුදල හමුවට නොයා යුතු යැයි කියාය. එසේ ගියහොත් ඔවුන්ගේ කොන්දේසිවලට යටත් වීමට ලංකාවට සිදුවනු ඇති බව ඔවුන්ගේ ස්ථාවරයය.

ආණ්ඩුව ඉන්දියාව පස්සේ වැටෙයි!

ඒ අනුව දැනට මතුව ඇති මුල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ලංකාවට ඉතිරිව ඇති එකම විකල්පය වී ඇත්තේ ඉන්දියාවය. ඒ, ලබන ජනවාරි 18 වැනි දින ඩොලර් මිලියන 500ක ණය වාරිකයක් ගෙවීමට ලංකාවට සිදුව තිබීම හේතුවෙනි. එමෙන්ම ලබන වසර පුරා කඩින්කඩ ඩොලර් බිලියන 7කට ආසන්න ණය මුදලක් ගෙවීමටද ආණ්ඩුවට සිදුව තිබේ. ඉතා අසීරුවෙන් හෝ ජනවාරි 18 කඩඉම පැනගත්තද ආණ්ඩුවට ලබන වසර ගෙවීමට සිදුව ඇත්තේ ණය ගෙවීම සඳහාම මුදල් සොයාගන්නා මෙහෙයුමක නිරතවය. එම නිසා බැසිල්ගේ ඉන්දීය සංචාරයේදී ඉන්දියාව පාර්ශ්වයෙන් රතු එළියක් දැල්වී තිබුණත් එරටින් ණය මුදලක් ලබාගන්නා උත්සාහය අත්නොහැරීමට ආණ්ඩුව කටයුතු කර තිබිණි. ඒ අනුව තිරය පිටුපස දිගින් දිගටම දෙපාර්ශ්වය අතර සාකච්ඡා සිදුවන ආකාරයක් දැකගත හැකි විය.

ඉන්දියාවෙන් පැකේජයක් සූදානම්!

එම සාකච්ඡාවල අවසන් ප්‍රතිඵලය වූයේ ඉන්දියාවෙන් සහන පැකේජයක් ලබාගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබීමය. ඒ අනුව ලබන වසර සඳහා ලංකාවට අවශ්‍ය ආහාර සහ තෙල් ලබාගැනීම වෙනුවෙන් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගැනීමට ඉන්දියාව එකඟතාව පළ කොට තිබේ. මීට අමතරව තවත් ඩොලර් මිලියන 400ක ‘ස්වැප්’ පහසුකමක් ලබාදීමටද ඉන්දියාව එකඟතාව පළ කොට ඇත. එමෙන්ම ඩොලර් මිලියන 500ක හදිසි ණය මුදලක් ලබාදීමටද මෙම සාකච්ඡාවේදී ඉන්දියාවෙන් කැමැත්ත ප්‍රකාශ වී ඇති බව දැනගන්නට තිබේ.

මේ පාර ‘දෙන්නම් කාසි’වලට බෑලු!

කෙසේ වෙතත් ඉන්දියාව මෙම මුදල් ලබාදීමට එකඟ වී ඇත්තේ ආවාට ගියාට නොව දැඩි කොන්දේසි ගණනාවකට යටත්වය. ඉන්දියාවෙන් ලැබෙන ආරංචිවලට අනුව අපට දැනගන්නට ඇත්තේ මෙතෙක් කල් ලංකාව පාර්ශ්වයෙන් කඩවුණු පොරොන්දු ගණනාවක්ම ඉන්දියාවට ලබා දී තිබීම හේතුවෙන් මෙවර මේ මුදල් ‘දෙන්නම් කාසිවලට’ ලබා නොදීමට ඉන්දියාව තීරණය කර ඇතැයි කියාය.

කඩවුණු පොරොන්දු වෙනුවට අලුත් කොන්දේසි!

‘මෙච්චර කාලයක් ලංකාව අපිට කඩවුණු පොරොන්දු ගණනාවක්ම දුන්නා. අපි ඒවා දිහා උපේක්ෂාවෙන් බලා හිටියා. හැබැයි මේ පාර අපිට ‘දෙන්නම් කාසිවලට’ වැඩ කරන්න බෑ. ඕගොල්ලො අපට දීපු පොරොන්දු ඉටුකරන්න ඕනෙ. ඒ ඉටුකරන විදිය අනුව කඩින් කඩ අපි ඔබලාට මුදල් ලබා දෙන්නම්. එක පොරොන්දුවක් ඉටු කළාම මුදල්වලින් කොටසක් ලබාදෙන්නම්. ඉතිරි පොරොන්දු ඉටුකරද්දී ඉතිරි මුදලුත් ලබාදෙන්නම්…’ යනුවෙන් ඉන්දියාව පාර්ශ්වයෙන් ලංකාවට දැනුම්දීමක් කර ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව මෙම ‘කඩවුණු පොරොන්දු’ වැඩේ ඉදිරියෙන්ම ඇත්තේ 13 වැනි සංශෝධනයට එහා ගිය බලය බෙදීමේ යෝජනාවලියක් ක්‍රියාවට නැංවීමය. ඊළඟට පළාත් සභා මැතිවරණය පැවැත්වීම පොරොන්දු පත්‍රිකාවේ ඉදිරියෙන්ම ඇත. සෙසු වාණිජ ගනුදෙනු ඇත්තේ එම පොරොන්දුවලට පහළින්ය.

ඉන්දියාව සජිත්ගෙනුත් අහයි!

ඒ අනුව මෙම ණය මුදල ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයත්, නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයත් අතර තිරය පිටුපස පණිවුඩ හුවමාරු වෙද්දී ඉන්දීය රජය තවත් සුවිශේෂ පුද්ගලයකුගෙන් මෙම ණය මුදල් ලබාදීම සම්බන්ධයෙන් විමසා සිටීමට පියවර ගත්තේය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ එවැනි සිදුවීමක් මීට පෙර කෙදිනකවත් සිදුව නොතිබීමය. ඒ අනුව ඉන්දීය රජයේ ඉහළ නිලධාරීන් පසුගිය දිනෙක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දුරකතන ඇමතුමක් ලබාදෙමින් මෙම ණය මුදල ලබාදීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් සිදුකිරීමට පියවර ගත්තේය. එහිදී ආණ්ඩුව කරනු ලබන ඉල්ලීම් පිළිබඳවත්, ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ අදහස කුමක්ද යන්න පිළිබඳවත් ඉන්දියාව සජිත්ගෙන් විමසා සිටීමට කටයුතු කොට තිබිණි.

සජිත්ගෙන් ඉන්දියාවත් බලාපොරොත්තු නොවුණු උත්තරයක්!

සාමාන්‍යයෙන් නම් අතීතයේ සිටි විපක්ෂ නායකවරුන් මෙවැනි පණිවුඩයක් ලැබුණු වහා එම ක්‍රියාව කඩාකප්පල් කිරීමට කටයුතු කර තිබුණත් සජිත් එසේ කරන්නට ගියේ නැත. ඒ අනුව සජිත් ලබාදුන්නේ ඉන්දියාව කිසිසේත්ම බලාපොරොත්තුවෙන් සිටි පිළිතුරක් නොවේ. එහිදී සජිත් කියා සිටියේ ආණ්ඩුව පසුගිය කාලය පුරා ආර්ථිකය මෙහෙයවූ ආකාරය සම්පූර්ණයෙන්ම වැරැදි වුවත් ආණ්ඩුවේ වැරැදිවලට රටේ ජනතාව දඬුවම් විඳිය යුතු නැතැයි කියාය. මේ වන විට ජනතාව දැඩි පීඩාවකට සහ අර්බුදයකට ලක්ව සිටින බව ඉන්දියාවට පෙන්වා දුන් සජිත්, ජනතාවගේ දුක් අඳෝනා සහ වේදනාවන් තුළින් බලයට ඒමට තමන් සූදානම් නැති බවත්, රටට ආධාර කරන ලෙසට තමන් එම ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටින බවත් මෙහිදී සජිත් කියා සිටියේය. ඊට අමතරව රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, මාධ්‍ය නිදහස, ජනතා අයිතිවාසිකම් පිළිබඳවද ඉන්දියාව සහ සජිත් අතර එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව මෙම සිදුවීම හරහා එකක් පැහැදිලිය. ඒ, වෙනදා මෙන් නොව මෙවර ඉන්දියාව නිකන් ආවාට ගියාට ලංකාවට මුදල් දීමට සූදානම් නැති බවය.

අපි කියපු කතාව පැය 24න් ඔප්පු වෙයි!

මීට අමතරව පසුගිය සතියේ අප ආණ්ඩුවට මුහුණදීමට සිදුව ඇති ජාත්‍යන්තර අර්බුදය පිළිබඳවද විශේෂ සටහනක් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ගෙන ආවේය. එහිදී අප කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ ඇමෙරිකානු සංචාරයෙන් පසු ලංකාවට එරෙහි බරපතළ නිවේදනයක් සහ ක්‍රියාමාර්ග කිහිපයක්ම ඇමෙරිකානු පාර්ශ්වයෙන් ගැනීමට නියමිත යැයි කියාය. අප එම සටහන තබා පැය 24ක් යෑමටත් මත්තෙන් පළමු ඉඟිය ඇමෙරිකානු පාර්ශ්වයෙන් නිකුත් වූයේ තවත් ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනකුට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කිරීමත් සමගය. ඒ, ජනාධිපති සමාව හිමිවූ සුනිල් රත්නායක නමැත්තාටත්, සම්පත් හෙට්ටිආරච්චි නම් තැනැත්තාටත්ය. වත්මන් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු පවුලේ ඥාතීන්ට ඇමෙරිකාව සංචාරක තහනමක් පනවා තිබියදී නිකුත් වූ මෙම නිවේදනයත් සමග එක්වරම කොළඹ දේශපාලනය රත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. මන්ද එවැනි ප්‍රතිචාරයක් කිසිසේත්ම කොළඹින් බලාපොරොත්තුව නොසිටි බැවිනි. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ තවත් මෙවැනිම ප්‍රකාශයක් ඇමෙරිකාව පාර්ශ්වයෙන් නිකුත් වීමට නියමිත බවත්, එය ලබන මාර්තුවේ ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් කොමිසමේ රැස්වීමේදී ලංකාවට ඉතා අහිතකර ලෙස බලපානු ඇති බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව මාර්තුවේ පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් කොමිසම් රැස්වීම ලංකාවට ඉතා අසීරු එකක් වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයය. පසුගිය සතියේ පැවැති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද ප්‍රසිද්ධියේම කියා සිටියේ ආණ්ඩුව විසින් ජිනීවාවලට ලබාදී තිබූ පොරොන්දු බොහොමයක් කඩකොට ඇති බැවින් මෙවර ලංකාවට එරෙහි යෝජනා සම්මතයකට වඩා ලංකාවට එරෙහිව දඬුවම් නියම කිරීමේ පසුබිමක් මතුවී ඇති බවය.

ගෝඨාගේ හදිසි මවුන්ට් එලිසබෙත් ගමන!

පසුගිය සඳුදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසියේම සිංගප්පූරුව බලා පිටත්ව ගියේ විශේෂ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට සහභාගි වීම සඳහාය. ජනාධිපතිවරයා ඉකුත් ජනාධිපතිවරණයට සති කිහිපයක් තියා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී හෘදය සැත්කමකට මුහුණ දුන් අතර එහිදී වෛද්‍ය උපදෙස වී තිබුණේ වරින් වර වෛද්‍ය පරීක්ෂණවලට සහභාගි වී සැත්කමේ සාර්ථකත්වය පිළිබඳ පරීක්ෂා කරගන්නා ලෙසටය. ඒ අනුව පසුගිය සඳුදා (13) දිනයේදී ජනාධිපතිවරයා හදිසියේම සිංගප්පූරුව බලා පිටත්ව ගියේ එදින සවස යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් තීරණාත්මක කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වෙන බවට මාධ්‍ය පවා වාර්තා කර තිබියදීය. එම රැස්වීමට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතාද කැඳවීමට නියමිත බව මාධ්‍ය වාර්තා කොට තිබිණි.

ඇතුල්වෙන්න විශේෂ අවසරයක් ගනී!

කෙසේ වෙතත් මෙවර සිංගප්පූරුවට යෑම සඳහා ජනාධිපතිවරයාට විශේෂ අවසරයක් එරට රජයෙන් ලබාගැනීමට සිදුව තිබිණි. මන්ද යත් කොරෝනා වසංගතය හේතුවෙන් තවමත් සිංගප්පූරුව විදේශිකයන්ට සිය දේශ සීමා විවෘත කොට නොතිබීම හේතුවෙනි. මේ හේතුවෙන් පසුගිය සතියේ මෙරට ප්‍රබලතම ව්‍යාපාරිකයකුට හෘදය සැත්කමකට සහභාගි වීම සඳහා සිංගප්පූරුවට යෑමට සිටියත්, එරට රජය එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම ව්‍යාපාරිකයාට සිදුවූයේ ඩුබායි රාජ්‍යයට ගොස් සිය සැත්කම සිදුකර ගැනීමටය. එමෙන්ම මීට පෙර අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ ඉතාලි සංචාරය අතරතුරදී අගමැතිවරයාටද සිංගප්පූරුවට පැමිණ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට සහභාගි වීමට අවශ්‍ය වුවත්, ඒ අවස්ථාවේ පැවැති තත්ත්වය සමග එය ඉතා දුෂ්කර කාර්යයක් බවට පත්ව තිබිණි. නමුත් පසුව පැවැති රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලින් අනතුරුව අගමැතිවරයා සමග තවත් දෙදෙනකුට පමණක් සිංගප්පූරුවට ඇතුළු වීමට එරට රජය අවසර ලබාදී තිබිණි. ඒ හා සමානව මෙවරත් ජනාධිපතිවරයාට සිංගප්පූරුවට ඇතුළු වීම සඳහා විශේෂ අවසරයක් ලබාගැනීමට සිදුවීම විශේෂ සිදුවීමක් විය. කෙසේ වෙතත් මෙම සිංගප්පූරු සංචාරයේ දැකගත හැකි වූ අනෙක් විශේෂම සිදුවීම වූයේ ජනාධිපතිවරයා සිය පෞද්ගලික මුදල්වලින් මෙම සංචාරය සිදුකිරීමය. ඒ සඳහා කිසිදු රාජ්‍ය මුදලක් ලබා නොගැනීමට ජනාධිපතිවරයා තීන්දු කොට තිබුණේ පසුගිය සංචාරවලදී රටට ලබාදුන් ආදර්ශය තවදුරටත් ඉදිරියට රැගෙන යමින්ය.

පීබීට එරෙහි සටන චමල් අතට ගනී!

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්ව යෑමට දින කිහිපයකට පෙර සිටම ආණ්ඩුව ඇතුළේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මුල් කරගෙන බරපතළ දේශපාලන ගැටුමක් මතුවෙමින් තිබෙන ආකාරයක් දැකගත හැකි විය. දැනට සති කිහිපයකට පෙර සිටම පී.බී.ට එරෙහිව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් විශාල පිරිසක් තැන් තැන්වල හුදෙකලා ප්‍රහාර එල්ල කළද කිසිවකුත් එම විරෝධය ජනාධිපතිවරයා හමුවට රැගෙන යෑමට තරම් නිර්භය වී තිබුණේ නැත. නමුත් එම තත්ත්වය වෙනස් වුණේ මීට දින කිහිපයකට පෙරාතුව රාජපක්ෂ පවුලේ වැඩිමහල් සහෝදරයා වන චමල් රාජපක්ෂ මහතා සහ පී.බී. ජයසුන්දර අතර ඇතිව තිබූ මතගැටුමක් හේතුවෙනි. මෙහිදී පී.බී. චමල්ව අභිභවා යමින් සහ ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වයට ගරු නොකරමින් අදහස් දැක්වීමක් කර තිබූ බව බොහෝ දෙනාගේ මතය වී තිබිණි. මේ නිසාම පී.බී. මුල් කරගෙන රාජපක්ෂ පවුල ඇතුළේ අලුත් සංවාදයක් ගොඩනැගෙන ආකාරයක් ඉකුත් සතිය වන විට දැකගන්නට ලැබිණි. චමල්ගේ මෙම සිද්ධිය දැනගත් වහාම අගමැතිවරයා පවා සඳහන් කර තිබුණේ පී.බී. සිය සීමාව ඉක්මවා ගොස් ඇතැයි කියාය. මේ නිසාම පී.බී.ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට රාජපක්ෂ පවුල ඇතුළෙන්ම ජනාධිපතිවරයාට ප්‍රබල බලපෑමක් එල්ල වන ආකාරයක් දැකගන්නට ලැබිණි.

රාජපක්ෂ පවුලේ විශේෂ හමුවක් චමල්ගේ ගෙදර!

සාමාන්‍යයෙන් රාජපක්ෂ පවුල ඇතුළේ කිසියම් මතගැටුමක් මතුවූ විටදී සියලු දෙනා එක මේසයක අසුන් ගෙන එම ප්‍රශ්නය විසඳාගැනීම සාමාන්‍ය සම්ප්‍රදාය වන නිසා මෙවරත් පී.බී.ගේ අර්බුදය මුල් කරගෙන එය විසඳාගැනීම සඳහා රාජපක්ෂ පවුල ඇතුළේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ඒ, පවුලේ වැඩිමලා වන චමල්ගේ නිවෙසේදීය. එම සාකච්ඡාවට ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, චමලුත්, බැසිලුත් සහභාගි වී සිටි අතර, පළමුවෙන්ම සාකච්ඡා කෙරුණේ දැනට රටේ මතුව ඇති මුල්‍ය අර්බුදයත්, දේශපාලන අර්බුදයත් පිළිබඳවය. ඉන් අනතුරුව සාකච්ඡාවේ බොහෝ වේලාවක් වෙන්වූයේ පී.බී. සම්බන්ධ මාතෘකාවටය.

චමල් පීබී අයින් කරන්න කියයි!

මේ වන විට මහින්ද සහ පී.බී. අතරත් කිසියම් දේශපාලන ගැටුමක් මතුව ඇති නිසා වෙනදා මෙන්ම මහින්ද පී.බී. සම්බන්ධයෙන් වූ තම නොසතුට ජනාධිපතිවරයාට කෙළින්ම කියා සිටියේය. නමුත් එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ වෙනදා නිහඬව සිටින චමල් මෙවර පී.බී.ට එරෙහිව දැවැන්ත විරෝධයක් දියත් කිරීමය. ඒ අනුව චමල් දැඩිව කියා සිටියේ වහාම පී.බී.ව ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් කළ යුතු යැයි කියාය.

බැසිල් පීබී වෙනුවෙන් පෙරට එයි!

මහින්දත්, චමලුත් මෙම ස්ථාවරය දැරුවත්, පී.බී. සම්බන්ධයෙන් බැසිල් සිටියේ තරමක වෙනස් ස්ථාවරයකය. බැසිල් කියා සිටියේ පෞද්ගලික ප්‍රශ්න වෙන මොහොතක විසඳාගත යුතු බවත්, මේ අවස්ථාවේ පී.බී. ඉවත් නොකළ යුතු බවත්ය.

‘මේක පී.බී. අයින් කරන වෙලාවක් නෙවෙයි. පී.බී.ත් එක්ක පෞද්ගලික ප්‍රශ්න තියෙනවා නම් ඒවා වෙනම විසඳා ගන්න ඕනේ. ඒ ඇරෙන්න එයාව මේ වෙලාවෙ අපට අවශ්‍යයි…’ යනුවෙන් බැසිල් කියද්දී ජනාධිපතිවරයාද කිසිවකුත් නොසිතූ ආකාරයේ දැඩි ප්‍රකාශයක් සිදුකිරීම විශේෂ සිදුවීමක් විය.

ගෝඨා කවුරුත් නොහිතපු කතාවක් කියයි!

‘දැන් පී.බී.ව මගේ ලේකම්වරයා විදියට පත් කරගත්තේ මමද? මාව මිනිස්සු මේ රටේ ජනාධිපතිවරයා විදියට පත් කළාම පී.බී.ව මගේ ලේකම් කරන්න කියලා කිව්වේ මමද අගමැතිතුමාද? ඒ වෙලාවෙ සමහරු හිතන්න ඇති මාව ජනාධිපතිකමේ තියලා ඒ අයගෙ වෙන වෙන වැඩ කරගන්න. ඒ නිසා පී.බී.ගෙ ප්‍රශ්නෙ මගේ ඇඟට දාන්න එපා. එයාව පත් කළේ මම නෙවෙයි. නමුත් පත් කළාට පස්සේ ආවාට ගියාට එහෙම මිනිස්සුන්ව අයින් කරන්න බෑ. ඒකට ක්‍රමයක් තියෙනවා…’ යනුවෙන් ජනාධිපතිවරයා තරමක් තද ස්වරයෙන් කියද්දී එහි සිටි සියලු දෙනාටම කටඋත්තර නැතිවෙන ආකාරයක් දැකගත හැකි විය.

බැසිල්ගෙන් පීබීට අලුත්ම තනතුරක්!

ජනාධිපතිවරයාගේ මේ උත්තරයෙන් පසු බැසිල්ද කියා සිටියේ පී.බී. සම්බන්ධයෙන් අලුත්ම කතාවකි.

‘පී.බී.ව ජනාධිපති ලේකම්කමෙන් අයින් කරනවා නම් මම මගේ ළඟට පී.බී.ව ගන්නවා. එහෙම වුණොත් විශේෂ කැබිනට් පත්‍රිකාවක් දාලා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක විදියට තනතුරක් හදලා මම එතුමාව ඒකට පත් කරනවා. මේ වෙලාවෙ අපිට පී.බී.ත් එක්ක කරන්න ගොඩක් වැඩ තියෙනවා…’ යනුවෙන් බැසිල් කියද්දී ඊට කිසිවකුගේ විරෝධයක් පළවූයේ නැත.

බැසිල් අරලිය ගහ මැදුරට කට්ටිය කැදවයි!

කෙසේ වෙතත් මේ ආකාරයට චමල්ගේ නිවෙසේ පැවැති රැස්වීමෙන් පසු ජනාධිපතිවරයා සඳුදා දින සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. නමුත් ඉරිදා රාත්‍රියේ සිටම දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගිය කටකතාවකින් කියැවුණේ ජනාධිපතිවරයා රටේ නොමැති අවස්ථාවක අගමැතිවරයා විසින් අරලියගහ මන්දිරයට මැති ඇමැතිවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් හදිසියේම කැඳවීමට පියවර ගෙන ඇතැයි කියාය. මෙම කැඳවීම අරලියගහ මන්දිරයේ නිලධාරීන් විසින්ම සිදුකොට ඇති බවද එම කටකතාවලින් වැඩිදුරටත් කියැවිණි.

මහින්දවත් දන්නෙ නැතිලු!

කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මෙවැනි සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ කැඳවා ඇති බවට අගමැතිවරයා හෝ නොදැන සිටීමය. මේ බවක් නොදත් අගමැතිවරයා සඳුදා පෙරවරුවේ තංගල්ල බලා හෙලිකොප්ටරයකින් පිටත්ව යෑමට කටයුතු කොට තිබිණි. එසේ ගිය අගමැතිවරයා එදින සවස අරලියගහ මන්දිරයේ පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි වීමටද සැලසුම් කර තිබිණි. නමුත් සඳුදා පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති රැස්වීමේදී අගමැතිවරයා දැකගන්නට නොසිටි අතර, එහි මූලාසනය ගෙන සිටියේ වෙන කවුරුවත් නොව බැසිල් රාජපක්ෂය.

පීබීට කට්ටිය අත දිග හැර ගහයි!

ඒ අනුව සඳුදා සවස අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම පැවැති අතර, එහිදී ජනාධිපතිවරයා නොසිටි බැවින් ඇමැතිවරුන් කිහිප දෙනකුම රිසි සේ අත දිග හැර ජනාධිපති ලේකම් පී.බී.ට ප්‍රහාර එල්ල කරන ආකාරයක් දැකගත හැකි විය. මෙම කැබිනට් මණ්ඩල රැස්වීමට කබ්රාල් සහ ආටිගල කැඳවා ඇති බවට මාධ්‍ය වාර්තා කළද එදින ඒ කිසිවකු පැමිණ සිටි ආකාරයක් දැකගත නොහැකි විය. එමෙන්ම යුගදනවි ගිවිසුම පිළිබඳවද එදින වචනයක් හෝ කතාබහ කරන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. නමුත් පී.බී.ට එරෙහිව දැඩි ප්‍රහාරයක් කැබිනට් මණ්ඩලයේ දියත් වද්දී චමල්ගේ නිවසේදීම මෙන් කිසිවකුත් නොසිතූ පරිදි බැසිල් ඔහුව ආරක්ෂා කිරීමට පියවර ගැනීම විශේෂ සිදුවීමක් විය. එහිදී බැසිල් දැඩි ස්වරයකින් යුතුව කියා සිටියේ මේ අවස්ථාවේ පී.බී.ව ඉවත් කළ යුතු නැති බවත්, මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඔහුගේ සහාය ලබාගත යුතු බවත්ය. බැසිල්ගේ දැඩි ස්වරය නිසාම ඇතැම් ඇමැතිවරුන් ඉන් එහාට පී.බී. සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටිමින් අදහස් පළ කළ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.

මහින්ද රහස හොයාගනී!

කෙසේවෙතත් කැබිනට් මණ්ඩල රැස්වීම නිමවා අරලියගහ මන්දිරයේ වෙනත් කාමරයකට පැමිණි අගමැතිවරයාගෙන් එදින පෙරවරුවේ බැසිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීම පිළිබඳ විමසා සිටීමට හිතවතුන් කිහිප දෙනකුම කටයුතු කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී අගමැතිවරයා කියා සිටියේ තමන් එවැන්නක් පිළිබඳ කිසිවක් දන්නේ නැතැයි කියාය. ඒ අනුව වහාම අගමැතිවරයා කළේ දුරකතන ඇමතුමක් ගෙන එම රැස්වීම සම්බන්ධයෙන් සොයාබැලීමය. එහිදී ඇමතුම ගත් නිලධාරීන් කියා සිටියේ බැසිල් විසින් එවැනි රැස්වීමක් කැඳවා තිබූ බවත්, ඒ අනුව සැලකිය යුතු පිරිසක් ඊට සහභාගි වී සිටි බවත්ය. ඒ අනුව මහින්ද තමන්ගෙන් රැස්වීම ගැන විමසූ හිතවතුන්ට කියා සිටියේ බැසිල් එවැනි රැස්වීමක් කැඳවා ඇති නමුත් තමන් ඒ පිළිබඳ දැන නොසිටි බවකි.

තවත් අභිරහස් කැදවීමක්!

මෙම රැස්වීමට අමතරව කිසිවකුත් නොදැන සිටි තවත් අබිරහස් සිදුවීමක්ද ආණ්ඩුව ඇතුළේ ඒ වනවිට දියත් වෙමින් තිබිණි. එහිදී පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් පණිවුඩයක් ලැබී තිබුණේ අඟහරුවාදා දින විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් බැසිල් රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇතැයි කියාය. ඒ බව ආණ්ඩුවේ සියලු මැති ඇමැතිවරුන්ට දැනුම් දෙන ලෙසද එම පණිවුඩයෙන් වැඩිදුරටත් කියැවිණි.

සාමාන්‍යයෙන් මෙවැනි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැඳවීමේ හැකියාව ඇත්තේ අගමැතිවරයාට පමණක් වුවද, මෙම රැස්වීම කැඳවා ඇති බව කියැවුණේ බැසිල් විසින්ය. ලැබුණු පණිවුඩයට අනුව සභානායක කාර්යාලයේ නිලධාරීන්ද මැති ඇමැතිවරුන් කිහිප දෙනකුටම කතා කරමින් අඟහරුවාදා දින හදිසි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්වෙන බව දැනුම් දීමටද පියවර ගෙන තිබිණි. නමුත් එසේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට කතා කරගෙන යද්දී ලැබුණු තවත් හදිසි පණිවුඩයකින් කියැවුණේ එම රැස්වීම අවලංගු කිරීමට පියවර ගෙන ඇතැයි කියාය.

රැස්වීම ගෝඨා සිංගප්පපූරුවේ ඉදන්ම නැවැත්තුවාද!

ඒ අනුව හදිසියේම මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවලංගු කිරීමට හේතු වූයේ කුමක්ද?

අපට දැනගන්නට ලැබුණු ආරංචිවලින් කියැවුණේ මෙම රැස්වීම සිංගප්පූරුවේ රැඳී සිටින ජනාධිපතිවරයා විසින් අවලංගු කිරීමට පියවර ගෙන ඇතැයි කියාය. මෙවැනි හදිසි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්වෙන බවට ජනාධිපතිවරයා වෙත තොරතුරු වාර්තා වීමෙන් පසු ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන ඇති බවද එම ආරංචි මාර්ගවලින් ‘රාජ්‍ය රහස්’ තීරයට වැඩිදුරටත් ආරංචි විය.

බැසිල් අමෙරිකා ගියේ කලකිරීමෙන්ද!

බැසිල් හදිසියේම ඇමෙරිකාව බලා පිටත්ව යෑමට තීන්දු කර ඇත්තේ මෙම සිදුවීමෙන් පසුව බවද එම ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැනගන්නට ලැබිණි. ඒ අනුව අඟහරුවාදා රාත්‍රියේම බැසිල් සිය බිරිය වූ පුෂ්පා රාජපක්ෂ මහත්මිය සමග ඩුබායි බලා පිටත්ව ගිය අතර, ඩුබායිවලින් ඇමෙරිකාව බලා පිටත්වන ගුවන් යානයට ගොඩවූයේ බ්‍රහස්පතින්දා රාත්‍රියේය. මේ අතරවාරයේදී ආණ්ඩුවේ කිහිප දෙනකුම බැසිල් සමග දුරකතනයෙන් සාකච්ඡා කිරීමට උත්සාහ ගෙන තිබුණත් ඒ සෑම උත්සාහයකදීම ඔවුන්ට ඇසුණේ බැසිල්ගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත කොට ඇති නිවේදනයය.

අලුත් අවුරුද්දේ ආණ්ඩුවේ වෙනසක්!

මෙම කතාබස්වල සත්‍ය අසත්‍යතාව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැති නමුත් මෙම සිදුවීම් පෙළ හරහා බැසිල් යම් කලකිරීමකින් යුතුව ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ. එසේ බැසිල් ගොස් ඇත්තේද ආණ්ඩුවේ ඇමැතිවරුන් හා ජනාධිපති ලේකම්වරයා අතර මෙන්ම රාජපක්ෂ පවුල හා ජනාධිපති ලේකම්වරයා අතරත් බරපතළ මත ගැටුමක් නිර්මාණය වෙමින් පැවැති පසුබිමකදී වීම විශේෂ සිදුවීමකි. ඒ අනුව මෙම ගැටුමේ ප්‍රතිඵල අපට ඉදිරි දින කිහිපය ඇතුළත බලාගැනීමට පුළුවන.

අලුත් අගමැති බැසිල්ද?

මේ සියලු සිදුවීම් හමුවේ ජනාධිපතිවරයා හදිසියේම පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම සම්බන්ධයෙන්ද මේ වන විට බරපතළ දේශපාලන කතාබහක් දේශපාලන ක්ෂේත්‍රයේ මතුවෙමින් තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා නව පාර්ලිමේන්තු වාරය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරි 18 වැනි දිනය. එහිදී මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ යන කටකතාවලින් කියැවෙන්නේ එදිනට පෙර හෝ එදින හෝ ඊට පසු දින ආණ්ඩුව ඇතුළේ විශාල පෙරළියක් සිදුකිරීමට ජනාධිපතිවරයා බලාපොරොත්තුවෙන් සිටිනවා යැයි කියාය. විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සහ නිලධාරීන් තෝරා ඇත්තේ ජනාධිපතිවරයා විසින් නොවීම හේතු කොට ගෙන ජනාධිපතිවරයා සමග ඉදිරියට යා හැකි ඇමැති කණ්ඩායමක් සහ නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීම ජනාධිපතිවරයාගේ අරමුණ බව මෙම කටකතාවලින් වැඩිදුරටත් කියැවිණි. මේ වන විට ආණ්ඩුව බරපතළ ලෙස ජනතාව ඉදිරියේ පිරිහීමකට ලක්ව ඇති බැවින් ආණ්ඩුවට නව මුහුණුවරක් ලබාදී ජනාධිපතිවරයාගේ ආණ්ඩුවක් ලෙස එය ඉදිරියට රැගෙන යෑමටත්, එහිදී අගමැති ධුරය පවා වෙනස් වීමේ ඉඩකඩක් මතුව ඇති බවත් එම කටකතාවලින් වැඩිදුරටත් කියැවිණි. මුලදී නව අගමැතිවරයා ලෙස නාමල් පත්කරනු ඇති බව කියැවුණද දැන් දැන් කියැවෙන්නේ නව අගමැතිවරයා ලෙස බොහෝ දුරට බැසිල් පත්කිරීමට ඉඩ ඇතැයි කියාය.

ඇක්සස් සමාගමෙන් පොහොට්ටුවට තෑග්ගක්!

මේ අතර බැසිල්ද ඇමෙරිකාව බලා පිටත්ව යෑමට පෙර තවත් විශේෂ කටයුත්තක් සම්පූර්ණ කළේය. ඒ, බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලය අලුත්වැඩියා කිරීමෙන් පසු විවෘත කිරීමය. මෙම පොහොට්ටු කාර්යාලය නොමිලේම නවීකරණය කර දීමට පියවර ගෙන තිබුණේ ලංකාවේ ප්‍රකට ඉදිකිරීම් ආයතනයක් වන ඇක්සස් ආයතනයය. ඒ අනුව ඇක්සස් ආයතනය වෙන කිසිදු දේශපාලන පක්ෂයකට නොමැති ආකාරයේ සුපිරි දේශපාලන කාර්යාලයක් පොහොට්ටුව වෙනුවෙන් නිර්මාණය කර ඇති අතර බැසිල් එය විවෘත කිරීමෙන් පසු එහි සිටි සියලු දෙනා සමග කතාබහ කිරීමටද පියවර ගෙන තිබිණි. එහිදී බැසිල් පිරිසට කිසියම් ඉඟියක් දෙමින් කියා සිටියේ අලුත් අවුරුද්දේ අලුත් ආකාරයකට වැඩ ආරම්භ කිරීමට සූදානම් වන්න යැයි කියාය. එය තවත් තහවුරු කරමින් පසුගිය බදාදා එහි පැවැති මාධ්‍ය හමුවකදී පොහොට්ටුවේ තරුණ පෙරමුණේ ක්‍රියාකාරිකයකු වන බුද්ධික වික්‍රමාදර කියා සිටියේ නුදුරේදීම ආණ්ඩුවේ වෙනස්කම් රැසක් සිදුවන බවත්, අලුත් ආකාරයකින් සියලු වැඩකටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්ය. බැසිල් කෙටි නිවාඩුවකට ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇති බව කී බුද්ධික ඔහු පැමිණි පසු මෙම වෙනස්කම් සිදුවනු ඇති බවද කියා සිටියේය.

ආණ්ඩුවේ ඇමැතිගෙන් විපක්ෂයට දෙමළෙන් රහසක්!

මේ සියලු අර්බුද අස්සේ පාර්ලිමේන්තුව පැවැති අවසන් දිනයේ කිසිවකුත් නොදන්නා තවත් විශේෂ සිදුවීමක් සිදුවිය. එදින පාර්ලිමේන්තු ලොබියේදී ආණ්ඩුවේ දැනට සිටින ප්‍රබලම අමාත්‍යවරයකු හා විපක්ෂයේ සිටින දෙමළ භාෂාව දන්නා සහ දෙමළ භාෂාව හසුරුවන මන්ත්‍රීවරුන් දෙදෙනකු අතර විශේෂ කතාබහක් සිදුවිය. අදාළ අමාත්‍යවරයා සිංහල ජාතිකයකු වුවද, ඔහු දෙමළ භාෂාවද හොඳින් හැසිරවීමට සමත් අයෙකි. මේ නිසාම පාර්ලිමේන්තු ලොබියේදී මෙම අමාත්‍යවරයා පැමිණෙන විට සිටි දෙමළ භාෂාව දන්නා විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනා හට දෙමළ භාෂාවෙන්ම ‘මාර පණිවුඩයක්’ ලබාදීමට පියවර ගත්තේය. එහිදී කතාව ආරම්භ කරමින් අමාත්‍යවරයා දෙමළ භාෂාවෙන් කී පණිවුඩයේ සිංහල තේරුම මෙසේය.

මාර වැඩේ අපිට වුණේ!

‘මාර වැඩේ තමයි අපිට වුණේ. අපි හීනෙකින්වත් හිතුවෙ නෑ මේ විදියට ආණ්ඩුව අප්සෙට් වෙයි කියලා. හැබැයි දැන් නම් ඔක්කොම ඉවරයි. අපි ඔක්කොටම වැරැදිලයි තියෙන්නේ. ඒ වගේම දැන් මේක ගොඩගන්න බැරි විදියටම වැටිලයි තියෙන්නේ. ඒ හින්දා උඹලට තමයි මේ කරුමෙට කරගහන්න වෙන්නේ. හැබැයි උඹලත් කොහොම මේක ගොඩ දායිද කියලා හිතාගන්න බෑ….’ යැයි මෙම ප්‍රබල අමාත්‍යවරයා දෙමළ භාෂාවෙන් කියද්දී එක් මන්ත්‍රීවරයකු ප්‍රශ්න කර සිටියේ, ‘ඉතින් මේ කරුමෙ ගෙනාවෙ උඹලනේ…’ කියාය. ඊටද සිනාසෙමින් මේ අමාත්‍යවරයා දුන්නේ අපූරු පිළිතුරකි.

මම නම් ආයේ ඉල්ලන්නෙත් නෑ!

‘කවුද බං හිතුවෙ මෙහෙම දෙයක් වෙයි කියලා. මම නම් ආයෙ ජීවිතේට ඡන්දෙ ඉල්ලන්නෙ නෑ. දරුවොයි ගෑනියි එක්ක මගේ වැඩක් බලාගෙන ඉන්නවා. හැබැයි මේක උඹලටත් ගොඩ ගන්න නම් ලේසි වෙන එකක් නෑ. අන්න ඒක මතක තියාගනින්…’ යැයි දෙමළ බසින්ම කියමින් මෙම ප්‍රබල අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගියේ විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනා පුදුමයට පත්ව මුහුණට මුහුණ බලාගනිද්දීය.

ඩලස් අලුත් ගේමකද!

මේ සියල්ල අතරතුර මේ දිනවල ආණ්ඩුව ඇතුළේ විවිධ කල්ලි කණ්ඩායම් නිර්මාණය වන ආකාරයක්ද දැකගන්නට තිබේ. ඒ පිළිබඳ දේශපාලන කරළියේ විවිධ කතාබස්ද සිදුවෙමින් පවතින ආකාරයක් මේ වන විට දැකගන්නට ඇත. එහි අලුත්ම මාතෘකාව වී ඇත්තේ ඩලස් අලහප්පෙරුමය. බොහෝ දෙනා කියන්නේ අවස්ථා දෙකකදීම ඩලස්ගේ ඇමැතිකම් වෙනස්වීම හේතුකොට ගෙන ඩලස් මේ වන විට සිටින්නේ යම් කලකිරීමකින් යැයි කියාය. මන්ද යත් ආණ්ඩුවේ මුල්ම අධ්‍යාපන අමාත්‍යවරයා වූයේ ඩලස්ය. පසුව ඩලස්ගෙන් අධ්‍යාපන ඇමැතිකම ගැලවුණු අතර, ඔහුට විදුලිබල අමාත්‍ය ධුරය භාරදීමට පියවර ගැනිණ. නමුත් ටික කලකදී විදුලිබල අමාත්‍යාංශයද ඩලස්ගෙන් ගැලවිණි. ඒ වෙනුවට ඩලස්ට ජනමාධ්‍ය අමාත්‍යාංශය ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. ඒ අනුව මේ දිනවල දේශපාලන කරළියේ යන ලොකු ප්‍රචාරයකින් කියැවෙන්නේ ඩලස් ලොකු දේශපාලන ගේම් එකක සිටින බවත්, ආණ්ඩුව කඩාගෙන එළියට ඒමට සිටින විශාල කණ්ඩායමකට ඩලස් නායකත්වය ලබාදෙමින් සිටින බවත්ය. නමුත් ඩලස් නම් කොයිම අවස්ථාවකදීවත්, කොතැනකදීවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කටක් හොල්ලා නැති ආකාරයක්ද දැකගන්නට තිබේ. එමෙන්ම ඒ කටකතා පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමටවත් ඩලස් මේ වන තෙක් කටයුතු කොට නැත. ඒ නිසා තවම මේ කටකතා දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යන්නේ කටකතා ආකාරයටමය.

ප්‍රදීපා වැට පැන්නාද?

කෙසේ වෙතත් ඩලස්ගේ බිරිය වූ ප්‍රදීපා ධර්මදාස පසුගිය දිනෙක කාන්තා පුවත්පතකට යම් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීමට පියවර ගෙන තිබිණි. එහිදී ප්‍රදීපා කියා සිටියේ මේ වන විට බඩු මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත්, ජනතාව ඉතා අපහසුවෙන් ජීවත් වන බවත්ය.

සාමාන්‍යයෙන් අලහප්පෙරුම පවුලේ දැකගන්නට ඇති විශේෂ ලක්ෂණයක් වන්නේ ඩලස් කිසියම් දේශපාලන ගේමක් ගසනවා නම් එය මුලින්ම එළියට එන්නේ බිරිය වූ ප්‍රදීපා හරහා වීමය. වරක් චන්ද්‍රිකා රජය සමයේ ඩලස් අමාත්‍යවරයකුව සිටියදී රූකාන්ත ගුණතිලකට සහ අනෝජා වීරසිංහට එල්ලවූ ප්‍රහාර හමුවේ ප්‍රදීපා නොබියව ඊට එරෙහිව නුගේගොඩ පැවැති රැස්වීමට ගොඩවූවාය. අවම වශයෙන් එදා එජාප කලාකරුවන්වත් මෙම වේදිකාවට ගොඩ නොවූ අවස්ථාවක චන්ද්‍රිකා ආණ්ඩුවේ ඇමැතිවරයකුගේ බිරියක් වශයෙන් ප්‍රදීපා කළ එම ක්‍රියාව බොහෝ දෙනාගේ නොමඳ පැසසුමට ලක්විය. ඩලස්, චන්ද්‍රිකා ආණ්ඩුවෙන් ඉවත්වී ඇමෙරිකාව බලා පිටත්ව ගියේ එම සිදුවීමෙන් ටික කලකට පසුවය. එසේ ගිය ඩලස් යළිත් ලංකාවට ආවේ චන්ද්‍රිකා ඉවත්වී මහින්ද ජනාධිපති කිරීමේ සටනට ශක්තියක් වීම සඳහාය. ඒ අනුව මෙවරත් ප්‍රදීපාගේ ප්‍රකාශය හරහා ඩලස් කිසියම් දේශපාලන ගේමක් ගහන්න සූදානම් වන බවක් බොහෝ දෙනාගේ මතය වී තිබේ.

අනුර යාපාත් සටනේ…!

අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨම මන්ත්‍රීවරයකු වන අනුර යාපාද මේ වන විට සිටින්නේ ආණ්ඩුවත් සමග බරපතළ දේශපාලන ආරෝවකය. ඉකුත් දින කිහිපය පුරාම අනුර යාපා ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙළ ප්‍රසිද්ධියේම විවේචනයට ලක්කළ අතර මාධ්‍ය කිහිපයකට සම්මුඛ සාකච්ඡාවන්ද ලබාදීමට පියවර ගෙන තිබිණි. එමෙන්ම ආණ්ඩුවට එල්ල වූ බරපතළ චෝදනාවක් වූ සීනි වංචාව සම්බන්ධයෙන්ද අනුර යාපා තමන් සභාපතිත්වය දරන කෝපා කමිටුව හරහා විමර්ශනය කරමින් සිටියේය. නමුත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමත් සමග මහාචාර්ය චරිත හේරත් සභාපතිත්වය දරන කෝප් කමිටුවද, තිස්ස විතාරණ සභාපතිත්වය දරන පාර්ලිමේන්තුවේ මුල්‍ය කමිටුවද, අනුර යාපා සභාපතිත්වය දරන කෝපා කමිටුවද අහෝසි වී ගොස් තිබේ. ඒ අනුව විපක්ෂය චෝදනා කර සිටියේ ආණ්ඩුව තමන්ට එරෙහිව සිදුකරන වංචා විමර්ශන වසාගැනීම සඳහා මෙසේ පාර්ලිමේන්තුව හදිසියේම වාරාවසාන කළා යැයි කියාය.

සජිත් අනුර අලුත් සන්ධානයක්!

කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොටදී ප්‍රසිද්ධියේම ප්‍රකාශයක් කරමින් අනුර යාපා වෙනුවෙන් පෙනී සිටීමට පියවර ගත්තේය. එහිදී සජිත් කියා සිටියේ අනුර යාපා ආණ්ඩුවේ සීනි හොරකම සම්බන්ධයෙන් විමර්ශන කරමින් සිටි බවත්, එහි අවසන් වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී එම කමිටුව අහෝසි කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවත්ය. මෙය සදාචාර විරෝධී කටයුත්තක් බව කියා සිටි සජිත්, නව පාර්ලිමේන්තුව ආරම්භයෙන් පසු නැවත වතාවක් කෝපා කමිටුවේ සභාපති ධුරය අනුර යාපාට ලබාදිය යුතු බවත්, අනුර යාපා වෙනුවෙන් තමන් එළිපිට සටන් කරන බවත් එහිදී අවධාරණය කර සිටියේය. ඒ අනුව සජිත්, අනුර යාපා පිළිබඳ දුන් මේ සහතිකය හරහා තවත් අලුත් සන්ධානයක් ආණ්ඩුව ඇතුළේ ගොඩනැගෙන ආකාරයක් දැකගන්නට ඇති බවක් බොහෝ දෙනාගේ මතය වී තිබේ.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

ඊළඟ ජන්දෙට මම එනවා! දුමින්දගෙන් කොළඹදී ප්‍රසිද්ධ ප්‍රකාශයක්! (VIDEO)

Next Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

MORE NEWS

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ හෂිනිගේ ලස්සනම දවස අවලස්ස කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ හෂිනිගේ ලස්සනම දවස අවලස්ස කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

Load More
රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ හෂිනිගේ ලස්සනම දවස අවලස්ස කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ හෂිනිගේ ලස්සනම දවස අවලස්ස කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෂිනි රංගිකා ඈපාආරච්චි සිය උපාධිය නිමකරන්නේ එහි ඉහළම දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන රන් පදක්කම් 30න් 16ක්ම දිනාගෙන....

Read more
ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.