රුපියල් ලක්ෂ 6ක අල්ලසක් ලබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාට එරෙහිව ගොනුකර තිබෙන චෝදනා පත්‍රය නැවත නඩු පැවරීමට යටත්ව ඉල්ලා අස්කර ගන්නා බවට අල්ලස් කොමිසම විසින් දැනුම්දීමෙන් අනතුරුව ඒ මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
එම නඩුව අද (01)කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
නඩුව කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම නඩුවේ පවතින තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය ඉල්ලා අස්කර ගන්නා බවත් විත්තිකරුවන්ට එරෙහිව කඩිනමින් නඩු පැවරීමට පියවර ගන්නා බවත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් අධිකරණය ඔවුන් නිදහස් කිරීමට ද නියෝග කළේය.
දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ කළුගල් කැඩීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 7ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 6ක් ලබා ගත්තේ යැයි චෝදනා කරමින් මිලාන් ජයතිලක මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබුණි.










