මේ දිනවල මහත් ආන්දෝලනයට තුඩුදී ඇති සිංහරාජ වනාන්තරයේ සිදුකෙරෙන්නේ යැයි පැවසෙන වන විනාශය සොයා බැලීම සඳහා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරුන් කණ්ඩායමක් අද පස්වරුවේ එම ප්‍රදේශයට ගොස් ඇත.
මෙම ගමන සඳහා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරුන් 11 දෙනකු සහභාගි වී ඇත.
මෙහිදී ගස් කපා දමා ඇතැයි පැවසෙන ප්‍රදේශයද, ඊට මායිම්ව ඇති ප්‍රදේශද නිරීක්ෂණය කිරීමට මෙම මන්ත්‍රිවරුන් කටයුතු කොට තිබේ.
එම අවස්ථාව සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා මෙන්ම අදාළ ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිවරයාද කැඳවීමට මන්ත්‍රිවරුන් කටයුතු කොට ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රිවරයා සඳහන් කර සිටියේ විපක්ෂය චෝදනා කරන පරිදි වන විනාශයක් එම ප්‍රදේශයේ සිදුව නැති බවය.
“අපි අද එතැනට ගිහිල්ල සියලුම නිලධාරීන් ගෙන්වල සියලු දේ පරීක්ෂා කරල බැලුව. ඒව පෞද්ගලික ඉඩම්. අනවසර ඉඩම් නෙමෙයි. ඒ අයට ඔප්පු තියෙනව. එම ඉඩමෙ ඉඳන් සෑහෙන දුරකින් තමයි සිංහරාජ වනය පිහිටල තියෙන්නෙ. අනික ඔය කියන ඉඩමට යාබද සමඟි ජන බලවේගයේ සංවිධායකවරයෙක්ට අයිති ඉඩමක්. එතුමගෙ නම රාමනායක. මේ ගමනෙදි අපි ඒකත් හොයාගත්තා.” යනුවෙන් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රිවරයා පැවසීය.
මෙම අවස්ථාවට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, යූ.කේ. සුමිත්, මිලාන් ජයතිලක, සමන්ප්‍රිය හේරත්, අකිල එල්ලාවල, ලලිත් එල්ලාවල, වීරසිංහ, මේජර් දෙනිපිටිය, වසන්ත යාපා බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ, අතුකෝරාල යන මන්ත්‍රිවරු සහභාගිව සිටියහ.










