යළිත් වතාවක් කොරෝනා ප්‍රස්තාරයේ රේඛා මේ දිනවල ඉහළ නඟිමින් පවතින ආකාරයක් දැකගන්නට ලැබීමෙන් සෞඛ්‍ය අංශ භාර පාර්ශ්ව පමණක් නොව ආණ්ඩුවද මේ දිනවල සිටින්නේ තරමක් තිගැස්සීමකට ලක්වය. පසුගිය දින කිහිපය පුරාම කොරෝනා මරණ 50ට අඩුවෙන් සහ රෝගීන් වාර්තා වීම දහස මට්ටමේ පැවැතියත් ඉකුත් දින කිහිපය තුළ මරණ ප්‍රමාණය 60 ඉක්මවා යාමත්, යළිත් වතාවක් රෝගීන් වාර්තා වීම දෙදහස ඉක්මවා යාමත් නිසා සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටින්නේ ඉදිරියේදී තත්ත්වය තවත් බරපතළ විය හැකි යැයි කියාය. මේ නිසාම යළිත් වතාවක් සංචරණ සීමා දැඩි කිරීමේ පියවරවලට ගමන් කිරීමේ අවදානමක්ද මේ වන විට මතුව නැතුවා නොවේ.
තීරණාත්මක සැප්තැම්බරයක්!
කෙසේවෙතත් මේ සියල්ල අතරවාරයේ ආණ්ඩුවටද ඉදිරියට එමින් සිටින්නේ ඉතා තීරණාත්මක මාස කිහිපයකි. විශේෂයෙන්ම ඉදිරි මාස කිහිපය ඇතුළත ආණ්ඩුවට බරපතළ සිදුවීම් කිහිපයකටම මුහුණ දීමට සිදුව තිබේ.
ඉන් ආසන්නතම සිදුවීම වී ඇත්තේ ලබන 6 වැනිදා සම්මත කර ගැනීමට සූදානමින් සිටින කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතය. දැනටමත් මෙම කෙටුම්පතට එරෙහිව එක් පැත්තකින් විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ සියල්ලමත්, ගුරු, විදුහල්පති එකමුතුවත්, විශ්වවිද්‍යාල ආචාර්ය සංගම් විශාල ප්‍රමාණයකුත් සිය විරෝධය පළකිරීම ආරම්භ කොට තිබේ. අනෙක් පැත්තෙන් ආණ්ඩුව ඇතුළේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, විමල්ගේ ජාතික නිදහස් පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්‍ෂය පවා මෙම කෙටුම්පතට එරෙහිව අදහස් ප්‍රකාශ කොට ඇති අතර කෙටුම්පතේ සංශෝධනය විය යුතු තැන් රැසක් පවතින බවට ඔවුන් දැනටමත් ප්‍රසිද්ධ ප්‍රකාශ සිදුකොට අවසානය. එමෙන්ම මෙම පනතට එරෙහිව පක්‍ෂ භේදයකින් තොරව වෘත්තීය සමිති 41ක් පසුගිය සෙනසුරාදා (24දා) දිනයේ කොළඹ පුස්තකාලයේදී සන්ධානගත වීමටද පියවර ගෙන තිබිණි.
ආණ්ඩුවේ පක්ෂත් විපක්ෂය එක්ක
මේ අතර ආණ්ඩුව නියෝජනය කරන සුළු පක්‍ෂයක් මෙම පනත සම්බන්ධයෙන් විශේෂයෙන් දේශපාලන ව්‍යාපාර සමග සාකච්ඡා කිරීමද විශේෂ සිදුවීමකි. ඒ, තිස්ස විතාරණ මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා සමසමාජ පක්‍ෂයය. පසුගිය සතියේ තිස්ස විතාරණ මහතා විපක්‍ෂ දේශපාලන ව්‍යාපාරයක් වන පෙරටුගාමී සමාජවාදී පක්‍ෂ නියෝජිතයන් සමග සාකච්ඡා කරමින් එම විරෝධයට සහාය ලබා දෙන බවද ප්‍රකාශ කර තිබිණි.
ජිනීවා කොමිසම රත්වෙයි!
ඒ අගෝස්තු මාසයේ ලංකාවට මුහුණ දීමට ඇති එක් ගැටලුවකි. නමුත් ඊළඟට එළැඹෙන සැප්තම්බරය ආණ්ඩුවට අතිශය තීරණාත්මකය. ඒ දැනට මතුව පවතින ප්‍රශ්න ගණනාවක් සැප්තැම්බර් මාසයේදී උච්ඡතම ස්ථානයට පත්වීමට නියමිතව ඇති බැවිනි. ඉන් පළමුවැන්න වන්නේ ජිනීවාහි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරයය. තානාපති ක්‍ෂේත්‍රයේ සාකච්ඡාවට ලක්වන කාරණාවලින් කියැවෙන්නේ මෙවර මානව හිමිකම් සැසියේදී ලංකාවට එරෙහිව තීරණාත්මක යෝජනා කිහිපයක්ම ඉදිරිපත් වීමට පසුබිම සකස්ව ඇති බවකි. මීට අමතරව යුරෝපා කොමිසම, ජී.එස්.පී, ප්ලස් මුල්කරගෙන බටහිර රටවලද සහාය ඇතිව තවත් අතිශය තීරණාත්මක දැනුම් දීමක් මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවද තානාපති ක්‍ෂේත්‍රයේ සාකච්ඡා වෙමින් ඇති ප්‍රධාන මාතෘකාවකි.
ඉන්දු-බ්‍රිතාන්‍ය යුද අභ්‍යාස මැද චීන අගමැති ලංකාවට
ඒ සමගම සැප්තැම්බර් 10 වැනිදා චීන අගමැති ලී කෙකියැන්ග් මහතා ලංකාවේ තෙදින සංචාරයක නිරත වීමටද මේ වන විට සැලැසුම් සකස් කොට තිබේ. චීන අගමැතිවරයා මෙසේ ලංකාවේ සංචාරයකට පැමිණෙන්නේ ඉන්දියාව, ඇමෙරිකාව සහ බි්‍රතාන්‍යය එක්ව ලංකා සාගර කලාපයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක නිරත වෙමින් සිටියදීය. පසුගිය දිනවල ඉන්දියාව සහ බි්‍රතාන්‍ය එක්ව ඉන්දීය සාකර කලාපයේ යුද අභ්‍යාසයන් කිහිපයක් දියත් කර තිබීමද විශේෂ සිදුවීමකි.
පෝට්සිටියේ බදු ගිවිසුම අරන් යයි
කෙසේ වෙතත් චීන අගමැති ලී කෙකියැන්ග් ලංකාවට පැමිණෙන්නේ කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් වූ නීතිමය කරුණු අවසන් කර ගැනීමේ අරමුණින් බව පැවසේ. ඒ අනුව ලංකාවේ ප්‍රධානීන් සමග සාකච්ඡා පැවැත්වීමෙන් පසු වරාය නගරයෙහි චීනයට අයත් කොටසෙහි බදු ගිවිසුමට චීන අගමැතිවරයා විසින් මෙහිදී අස්සන් තබනු ඇති බව දැනගන්නට ඇත.
මහකන්නයේ යළි මතුවන පෝර ප්‍රශ්නය..
මීට අමතරව සැප්තැම්බර් මාසයේදී ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන ඊළඟ අර්බුදය වන්නේ පොහොර ප්‍රශ්නයය. ලබන සැප්තැම්බරයේ මහ කන්නය ආරම්භ වීමට නියමිත අතර, රසායනික පොහොර තහනම හේතුවෙන් යළිත් වතාවක් ගොවි අරගලවලට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවනු ඇත. පොහොර තහනම හේතුවෙන් මේ වන විටත් දිවයින පුරා සිටින ගොවීන් සිය විරෝධය පළකරමින් හුදකලා විරෝධතාවල නිරත වෙමින් සිටින ආකාරයක් දැකගන්නට ඇත. එනිසා මෙම විරෝධය ලබන මහ කන්නය ආරම්භයේදී තීව්‍ර වනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
ජනපති බ්‍රිතාන්‍යයෙන් අමෙරිකාවට
මේ සියල්ල අතරවාරයේ ජනාධිපතිවරයා ලබන සැප්තැම්බරයේ විදෙස්ගත වීමටද සූදානමින් සිටින බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව ජනාධිපතිවරයා පළමුවෙන්ම යෑමට නියමිතව ඇත්තේ බි්‍රතාන්‍යටය. ඒ ලන්ඩන්වල පැවැත්වීමට නියමිත පාරිසරික සමුළුවකට සහභාගි වීම සඳහාය. ජනාධිපතිවරයා රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට තීන්දු කිරීමත් සමග මෙම සමුළුවේ සංවිධායකයන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් එවමින් එම තීන්දුව මහත් ඇගැයීමකට ලක්කිරීමට පියවර ගෙන තිබිණ. එපමණක් නොව මෙම සමුළුවට සහභාගි වී දේශනයක් පවත්වන ලෙසද එම ලිපිය මගින් ඔවුන් ජනාධිපතිවරයාට ආරාධනා කොට තිබිණ. මුල් අදියරේදී එම ආරාධනාව බාර නොගෙන සිටියත් පසුව එම ආරාධනාව බාර ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර තිබීම විශේෂ සිදුවීමකි. ඒ අනුව ලබන සැප්තැම්බරයේ ලන්ඩනය බලා යෑමට ජනාධිපතිවරයා සැලැසුම් කර ඇති බවක් දැනගන්නට ඇත.
මිනිපිරියත් දැකබලා ගනී
එම ලන්ඩන් සමුළුවෙන් පසු ජනාධිපතිවරයා කෙළින්ම ඇමෙරිකාව බලා යෑමටද සැලැසුම් කර ඇති බව වාර්තා වේ. ඒ, වොෂින්ටනයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහාය. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ජනාධිපතිවරයා සභභාගී වන පළමු එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය වන්නේ මෙයය. එම සංචාරයේදී ජනාධිපතිවරයා තම මිණිපිරයද පළමු වතාවට දැකබලා ගැනීමට සූදානමින් සිටින බවත් දැනගන්නට ඇත.
ආණ්ඩුවෙන් දොට්ට දාන්න යන ඇමැති
පසුගිය සති කිහිපය පුරාම අමාත්‍ය මණ්ඩල සංශෝධන සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ කටකතා කිහිපයක්ම පැතිර ගොස් තිබිණ. ජනාධිපතිවරයා ආණ්ඩුවට නව මුහුණුවරක් ලබාදීමට නියමිත බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස අලුත් තරුණ දක්ෂ රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකුට කැබිනට් ඇමැති ධුර හිමිවීමට නියමිත බවත්, ආන්දෝලනයට ලක්ව සිටින කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනකුටම වෙනත් තනතුරු ලැබීම නියමිත බවත් එම කටකතාවලින් වැඩිදුරටත් කියැවිණි. නමුත් මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවන නිශ්චිත දිනයක් එහිදී නොකියවුණත් අගෝස්තු මාසයේ දින කිහිපයක්ම එහිදී නිල නොවන ලෙස ප්‍රකාශයට පත්කර තිබූ බවක්ද කියවිණ.
ඒ කෙසේ වෙතත් ඉකුත් සතියේදී මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳ ආණ්ඩුවේ ප්‍රධානීන් නිශ්චිත තීන්දුවක් ගෙන ඇති බවක් දැනගන්නට ඇත. ඒ, ආණ්ඩුවේ සිටින එක්තරා ප්‍රබල ඇමැතිවරයකු සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළ පෙළේ ප්‍රධානීන් හට වාර්තා වූ තොරතුරු කිහිපයක් මුල් කරගෙනය. එම තොරතුරු වාර්තා වීමත් සමග දැඩි විශ්වාසයක් තබා එම ප්‍රබල තනතුර එම අමාත්‍යවරයාට භාරදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් දැඩි කණස්සල්ලට පත්ව ඇති බවක්ද දැනගන්නට තිබේ.
ඒ අනුව ආණ්ඩුවේ ප්‍රධානීන් මේ වන විට තීරණය කර ඇත්තේ ඉතා නුදුරේදීම මෙම කැබිනට් අමාත්‍යවරයාගේ තනතුර ඉවත් කිරීමටය. ඒ සමගම තවත් ඇමැතිකම් කිහිපයකම සංශෝධන සිදුකරන්නේද, එසේත් නැත්නම් පූර්ණ ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදුකරන්නේද යන්න පිළිබඳවද මෙහිදී ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවක් දැනගන්නට ඇත.
රිෂාඩ්ට මොනවා වෙයිද?
මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ යළිත් වතාවක් ප්‍රධාන මාතෘකාව බවට පත්ව සිටින මාතෘකාව බවට පත්ව ඇත්තේ වෙන කවුරුවත් නොව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ය. රිෂාඩ්ගේ නිවෙසේ මෙහෙකාරියකව සිටි ජූඩ් කුමාර් ඉෂාලිනී මියයාම ඊට හේතුවය. ඒ අනුව මේ වන විට සෑම මාධ්‍යයකම වැඩි ඉඩක් වෙන්ව ඇත්තේ ඒ සම්බන්ධ පුවත් වාර්තාකරණයටය.
මේ ආකාරයටම රිෂාඩ් ඉකුත් යහපාලන ආණ්ඩු සමයේද විපක්ෂයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබුණේ විල්පත්තු වන විනාශයත්, පාස්කු ප්‍රහාරයත් මුල් කරගෙනය. එවකදී විපක්ෂය දිගින් දිගමට චෝදනා කරන ලද්දේ මෙම චෝදනා දෙකටම රිෂාඩ් වගකිව යුතු යැයි කියාය. විල්පත්තු වන විනාශය කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් මුල් කරගෙන පරීක්ෂණ කිහිපයක්ම මේ වනවිට පැවැත්වෙන ආකාරයක් දැකගන්නට ඇත.
මේ තත්ත්වය යටතේ පසුගිය දින කිහිපය පුරාම ආණ්ඩුව පාර්ශ්වයෙන් චෝදනා එල්ල වූයේ රිෂාඩ් නියෝජනය කරන සමගි ජන බලවේගය රිෂාඩ් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන හෝ විනය පරීක්ෂණයක් පවත්වා හෝ නැතැයි කියාය. රිෂාඩ් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මතය කුමක්ද යන්න පිළිබඳවද ආණ්ඩුවේ නියෝජිතයන් අවස්ථා කිහිපයකදීම ප්‍රසිද්ධියේම ප්‍රශ්න කළ ආකාරයක් දැකගන්නට ලැබිණ. කෙසේ වෙතත් ඉෂාලිනීගේ මියයෑමත් සමග වහාම නිවේදනයක් නිකුත් කළ සමගි ජන බලවේගය කියා සිටියේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආණ්ඩුවේ වගකීමක් වන බැවින් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වැරැදිකරුවන්ට දඬුවම් දිය යුතු බවත්, මෙම ප්‍රශ්නය හරහා දේශපාලනය නොකළ යුතු බවත්ය. එමෙන්ම හරීන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ අවස්ථාවේදී ඔහුත් සමග පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ අවස්ථාවේදීත් මාධ්‍යවේදීන්ට කියා සිටියේ මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වැරැදිකරුවන්ට දඬුවම් දිය යුතු බවත්, කාන්තා හිංසනය, ළමා අපචාර වැනි දෑ සමගි ජන බලවේගය විසින් ප්‍රතික්ෂේප කරන බවත්ය. එමෙන්ම රිෂාඩ්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් 20 වැනි සංශෝධනයේදීත්, පෝර්ට් සිටි පනතේදීත්, ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයේදීත් ආණ්ඩුව සමග එක්ව ඡන්දය භාවිත කළ බැවින් එම පක්ෂය මේ වන විට විපක්ෂ සන්ධානයේ සිටින පක්ෂයකටත් වටා ආණ්ඩුවත් සමග සිටින පක්ෂයක් බවද සජිත් කියා සිටියේය.
සජිත් බරපතළ තීන්දු 2ක් ගනී
කෙසේ වෙතත් පසුගිය අඟහරුවාදා සමගි ජන බලවේගයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැති අතර, එහිදීද රිෂාඩ්ගේ සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්විණ. එම සාකච්ඡාවෙන් අනතුරුව සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම රිෂාඩ් සම්බන්ධයෙන් විශේෂ තීන්දු දෙකක් ගනු ලැබිණ. ඉන් එක් තීන්දුවක් වූයේ කිසිම දේශපාලන බලපෑමකින් තොරව රිෂාඩ් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බවය. දෙවැනි තීන්දුව වූයේ ඉදිරියේදී සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් බිහිකෙරෙන අලුත් සන්ධානයේ පාර්ශ්වකරුවකු ලෙස රිෂාඩ්ගේ පක්ෂය ඇතුළත් කරගන්නේ නම් ඔහු සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන අවසන් වී තිබිය යුතු බවය. එම විමර්ශනවලින් රිෂාඩ් වැරැදිකරුවකු වුවහොත් බොහෝ දුරට රිෂාඩ් සමගි ජන බලවේගයේ නව සන්ධානයට ඇතුළත් කර නොගත යුතු බවද මෙහිදී තීන්දු වී ඇත. රිෂාඩ් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය මෙම තීන්දුව ගනිද්දී පසුගිය කාලයේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ඇතැම් මන්ත්‍රීවරුන් සිය ස්ථාවරය වෙනස් කොට සජිත් දැරූ ස්ථාවරයට අනුගතව අදහස් දැක්වූ බවක්ද ආරංචිය.
රනිල්ට සජබෙන් 60ක් එනවා
පසුගිය මහ මැතිවරණයෙන් අන්ත පරාජයට පත්ව, හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට පැමිණි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට මුහුණ දෙමින් සිටින්නේ දේශපාලන වශයෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයකටය. ඊට හේතුවී ඇත්තේ රනිල් පාර්ලිමේන්තුවට පැමිණෙන විට ඔහු වටා සිටින කණ්ඩායමට ලබාදුන් පොරොන්දු කිසිවක් මේ වන තෙක්ම ඉටුකර ගත නොහැකි වීම බව දැනගන්නට තිබේ. එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තු පිවිසීමට එජාපයේ ජ්‍යෙෂ්ඨයකු වූ ජෝන් අමරතුංග ඇතුළු කණ්ඩායමක් බලාපොරොත්තුවෙන් සිටියද, ඒ සියලු දෙනා පසෙක දමමින් රනිල් පාර්ලිමේන්තු පැමිණියේ සමගි ජන බලවේගයෙන් 10ක 15ක මන්ත්‍රී කණ්ඩායමක් කඩාගෙන පාර්ලිමේන්තුව ඇතුළේ වෙනම කණ්ඩායමක් ලෙස කටුයතු කළ හැකි බවට පොරොන්දුවක් ලබාදෙමිනි. මේ නිසාම රනිල්ගේ නාමයෝජනාව මැතිවරණ කොමිසමට බාරදීමට පක්ෂ මහ ලේකම් රංගේ බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් පැමිණි අවස්ථාවේදී මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් රංගේ කියා සිටියේ රනිල් තනිවම පාර්ලිමේන්තු පැමිණියත්, ඉතා කෙටි කාලයකින් රනිල් වටා 60ක මන්ත්‍රී කණ්ඩායමක් සිටිනු ඇති බවකි. මේ නිසාම ආණ්ඩුවද බොහෝ කැමැත්තෙන් යුතුව රනිල්ගේ පාර්ලිමේන්තු ගමනට ආශීර්වාද කළේ ඒ හරහා නියත වශයෙන්ම සමගි ජන බලවේගය දෙකඩ වනු ඇති බවට වූ සිතුවිල්ල ඇතිවය.
එජාප ප්‍රබලයාගෙන් සජිත් පිලට ආපු පණිවුඩය
කෙසේ වෙතත් රනිල් පාර්ලිමේන්තු පැමිණ මාස කිහිපයක් ගතවුවද සමගි ජන බලවේගයෙන් 10ක 15ක මන්ත්‍රී කණ්ඩායමක් තබා එක් මන්ත්‍රීවරයකුවත් තමන්ගේ පැත්තට නම්මා ගැනීමට රනිල්ට හැකියාවක් ලැබුණේ නැත. මේ නිසාම සමගි ජන බලවේගය දෙකඩ කරන බවට විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට දුන් පොරොන්දු කඩවීමත් සමග මේ වන විට එජාප ජ්‍යෙෂ්ඨයන් රනිල් සමග සිටින්නේ දැඩි කේන්තියකින් යුක්තවය. ඒ බව තහවුරු වූයේ එජාපයේ දැනටද ප්‍රබල තනතුරක් හොබවන ජ්‍යෙෂ්ඨයකු පසුගිය සතියේදී සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුටම කතා කොට කර තිබූ ප්‍රකාශයක් හරහාය.
මේ මනුස්සයා අපිවත් රැවැට්ටුවා
“බලන්නකො ඇමැතිතුමා මේ මනුස්සයා මෙච්චර එකට හිටපු අපිවත් අන්තිමට රැවැට්ටුවනෙ. අපිට එයා මුලින්ම කිව්වේ මම පාර්ලිමේන්තු යන්නෙ සජිත්ගෙ ටීම් එක දෙකඩ කරන්න කියලයි. ෆස්ට් රවුන්ඩ් එකේදීම මන්ත්‍රීවරු 15ක් විතර එයත් එක්ක එනවා කියලයි අපි ඔක්කොටම කිව්වේ. ඒ කතාව නිසා අපිත් එතුමට පාර්ලිමේන්තු යන්න අවස්ථාව ලබා දුන්නා. හැබැයි දැන් බැලුවාම එයා පාර්ලිමේන්තු යන්න මේ කතාව කියලා අපිවත් අන්දවලා. දැනුයි අපිටත් ඒක තේරෙන්නෙ…” යනුවෙන් මෙම එජාප ප්‍රබලයා සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන්ට සඳහන් කොට තිබිණ. ඒ අනුව ඉදිරියේදී මෙම එජාප ප්‍රබලයන් සිටින්නේ නැවත වතාවක් රනිල්ට එරෙහිව එජාපය ඇතුළේ කැරැල්ලක් ගහන්නට කල් යල් බලමින්ය.
මීට අමතරව රනිල් පාර්ලිමේන්තු ඒම පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ මහතාද පසුගිය කාලයේ සිටියේ දැඩි සතුටට පත්වය. මහින්ද අවස්ථා කිහිපයකදීම ප්‍රසිද්ධියේම කියා තිබූ කාරණයක් වූයේ වත්මන් විපක්ෂය පණ මදි බවත්, විපක්ෂය ශක්තිමත් වීමට නම් රනිල් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවත්ය. අවස්ථා කිහිපයකදී රනිල්ටද පෞද්ගලිකව මහින්ද කියා සිටියේ හැකි ඉක්මනින් පාර්ලිමේන්තු පැමිණෙන්න යැයි කියාය.
මහින්ද රනිල් ගැන හිනාවෙවී කියපු කතාව
කෙසේ වෙතත් රනිල් පාර්ලිමේන්තු ඒමෙන් පසු මේ සම්බන්ධයෙන් හිතවතුන් කිහිප දෙනකුම මහින්දගෙන් යළිත් වතාවක් ඒ පිළිබඳ විමසීමට කටයුතු කර තිබිණ. එහිදී සිනාසෙමින් මහින්ද ඔවුන්ට දී තිබුණේ අපූරු පිළිතුරකි.
“අයියෝ කතා කරලා වැඩක් නෑ. මමත් හිතුවෙ රනිල් පාර්ලිමේන්තු ඇවිල්ලා විපක්ෂයෙ ඉඳන් හොඳ ගේමක් ගහයි කියලා. දැන් එයාව ගොඩගන්න බෑ. එයාගෙ දේශපාලනය ඉවරයි…” යන්න මහින්ද එහිදී රනිල් ගැන හිතවතුන්ට කියා සිටි කාරණාවය.
නාමල්ලාගේ ඔලිම්පික් ගමන
ලෝකයේ මහා ක්‍රීඩා උළෙල වන ඔලිම්පික් සටන මේ වන විට ජපානයේ ආරම්භ වී ඇති අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනකු පදක්කමක් ලබාගැනීමේ අරමුණෙන් ඊට එක්ව සිටින ආකාරයක් දැකගත හැකිය. මුල් අවස්ථාවේදී ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ඔලිම්පික් උළෙලේ සමාරම්භයට සහභාගි වන බවක් වාර්තා නොවූ නමුත් වැඩේ පත්තු වූයේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ජපානය බලා පිටත්ව යෑමට ලක ලැහැස්ති වෙමින් සිය ෆේස්බුක් පිටුවේ පළකළ ඡායාරූපයත් සමගය. ඒ අනුව බොහෝ දෙනා සොයා බලන්නට වූයේ නාමල් සමග ජපන් ගිය මැති ඇමැතිවරුන් පිළිබඳවය. එය සොයාගැනීමට හැකි වූයේද ජපන් ආණ්ඩුවේ බලධාරීන් සමග නාමල් පැවැත්වූ නිල සාකච්ඡාවල ඡායාරූප එළියට පැමිණීමත් සමගය. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී. චානක, තේනුක විදානගමගේ සහ රොෂාන් රණසිංහ, නාමල් සමග ජපන් සංචාරයට එක්ව සිටින බව දැකගන්නට ලැබිණ.
කෙහෙළිය දුන් උත්තරය
මේ පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් පැනනොනැගුණත් පසුගිය අඟහරුවාදා පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී එක්තරා මාධ්‍යවේදියෙක් මේ පිළිබඳ අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න කිරීමට පියවර ගත්තේය. එහිදී ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ මෙම රාජ්‍ය ඇමැතිවරුන් අනුග්‍රාහකයන්ගෙන් ලැබුණු මුදල්වලින් ජපානය බලා පිටත්ව ගොස් ඇතැයි කියාය. එය ඒ මොහොතේම වෙබ් අඩවිවලද, සමාජ මාධ්‍යවලද පළවන ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ සමගම විපක්ෂය වෙනුවෙන් මාධ්‍ය හමුවක් පැවැත්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ ඉකුත් යහපාලන සමයේ හඳුන්වා දුන් නීතියකට අනුව ඕනෑම අමාත්‍යවරයකු අනුග්‍රාහක මුදල්වලින් විදෙස්ගත වන්නේ නම් එය පාර්ලිමේන්තුව වෙත වාර්තා කළ යුතු යැයි කියාය.
රොෂාන් රණසිංහට යකා නගී
කෙසේ වෙතත් මේ තත්ත්වය ජපානයටද වාර්තා විය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ජපානයේ සිටම සිය අමාත්‍යාංශය හරහා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් කිසිදු අනුග්‍රාහකයකුගේ මුදල්වලින් විදෙස්ගත නොවූ බවත්, සිය පෞද්ගලික මුදල් වැයකොට ජපානය බලා පැමිණි බවත්ය. එම නිවේදනය හරහා අමාත්‍ය කෙහෙළිය කළ ප්‍රකාශය අසත්‍ය බවත්, රොෂාන් සිය නිවේදනය මගින් අවධාරණය කොට තිබිණ.
මීට අමතරව ක්‍රීඩා අමාත්‍යංශයද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කිසිදු ඇමැතිවරයෙකුට අමාත්‍යංශය මගින් මුදල් වැය කොට නොමැති බවය.
ගුරු වැටුප් ප්‍රශ්නය කැබිනට්ටුවට එයි
වසර විසි හතරක් තිස්සේ පවතින ගුරු වැටුප් ප්‍රශ්නයට ලෝක වසංගත තත්ත්වයක් හමුවේ විසඳුම් සෙවීමට ගුරු වෘත්තිය සමිති ගෙන යන උද්ඝෝෂණ වැඩපිළිවෙළ සමාජයේ දැඩි කතාබහකට ලක්ව තිබේ. මේ ගැටලුවට මෙවර අමාත්‍ය මණ්ඩල හමුවේදී විසඳුමක් ලැබේ යැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූහ.
අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ගුරු ප්‍රශ්නයට විසඳුම් ලබාදීම සඳහා වූ යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබුණු අතර එම යෝජනා දෙක එකවර සාකච්ඡා කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.
ඒ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට විශේෂ දැනුම් දීමක් කෙරිනි.
බැසිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
“ඇමරිකන් ඩොලර් බිලියනයක ණය වාරිකය අපි ගෙව්වා. තව තියෙන්නේ ඇමෙරිකන් ඩොලර් බිලියන දෙකයි. රට දැඩි ආර්ථික අර්බුදයක තිබුණත්, සදුදා ණය මුදල ගෙව්වා. ඒ එක්කම පවතින මූල්‍ය ගැටලු සහගත තත්ත්වයන්ගෙන් මිදෙන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මේ දවස්වල ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනවා” යැයි මුදල් ඇමැතිවරයා අවධාරණය කළේය.
අනතුරුව නැවත ගුරු ප්‍රශ්නයට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු විය. ගුරුවරුන්ගේ ප්‍රශ්නයේ මූලාරම්භයේ සිට මේ දක්වා තොරතුරු සඳහන් කළ අධ්‍යාපන ඇමතිවරයා, “මේක වසර ගණනාවක්ම ඇදෙන ප්‍රශ්නයක්. මේ ඉල්ලීම් අසාධාරණ නැහැ. ඉල්ලීමට අවධානය යොමු කරලා අපි තීරණයක් ගන්න ඕනේ” කීය.
ජනාධිපතිත් එකගයි…
අධ්‍යාපන ඇමතිවරයාගේ පැහැදිලි කිරීමට සාවධානව ඇහුම්කන් දුන් ජනාධිපතිවරයා ” වැටුප් වැඩි වැඩිකිරීම ගැන ප්‍රශ්නයක් නැහැ. ප්‍රතිපත්තියක් විදියට පඩි වැඩි කිරීමට අපි එකඟයි. නමුත් රටේ පවතින තත්වය එක්ක මේ ගැන හිතන්න වෙනවා. ගුරු විදුහල්පතිවරු ඉල්ලන වැටුප් දෙන්න කෝටි 6800ක් විතර යනවා.. රටේ පවතින තත්වය එක්ක ඒක කරන්න අමාරු වුණත් ඊළඟ බජට් එකේදි ඒක කෙරෙන්න ඕනෙ” යැයි කීවේය.
“ගුරුවරුන්ගෙ වැටුප් අවුරුදු 24කින් වැඩි වෙලා නැහැ. මේක ගුරුවරුන් දීර්ඝ කාලයක් තිස්සේ කරන ඉල්ලීමක්” ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා කීවේය.
ඩලස් කියපු කතාව
කලක් අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරූ ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයාද සාකච්ඡාවට එක්වෙමින් ” රිචඩ් පතිරණ මහත්තයා අධ්‍යාපන ඇමතිවරයා විදිහට කටයුතු කරන කාලෙ තමයි ගුරු සේවය ස්ථාපිත කරලා ගුරු සේවයේ පවතින වැටුප් විෂමතා ඉවත් කරන්න යෝජනාව ඉදිරිපත් කළේ. ඒ වුණත් රාජ්‍ය සේවක වැටුප් විෂමතා නිසා ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ ප්‍රශ්නෙ මේ දිගින් දිගටම ඇදෙන්නේ. ගුරුවරුන්ගේ ඉල්ලීම සාධාරණයි. මම මේ ගැන ජනවාරි 08 වැනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. නමුත් අද රට තිබෙන රටේ තිබෙන තත්ත්වය ගැන හිතන්න වෙනවා” යනුවෙන් ඩලස් කියද්දී බැසිල් කීවේ “හදිසි කැබිනට් පත්‍රිකාවක් නිසා මේ පත්‍රිකා නිරීක්ෂණය කරන්න සති දෙකක කාලයක් අවශ්‍ය වෙනවා. කොහොමටත් ඉදිරි අයවැයෙන් සමස්ත රාජ්‍ය සේවයේ ම වැටුප් වැඩි කිරීමක් අනිවාර්යෙන්ම සිද්ධ වෙන්න ඕනේ. මේ ගැන අමාත්‍යාංශයේ සාකච්ඡා වෙනවා. රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමේ හැකියාව ගැන සොයාබැලීම් කෙරෙමින් තිබෙනවා” යැයි කියාය.
ඇමැති කමිටුවක් පත්කරයි..
විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මෙහිදී ගුරු ප්‍රශ්නය පිළිබඳ අදහස් දැක්වූ අතර සෑම කෙනෙක්ම සඳහන් කළේ ගුරුවරුන්ගේ ප්‍රශ්නය සාධාරණ බවයි. නමුත් වත්මන් තත්වය හමුවේ දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණෙන් ගුරු ප්‍රශ්නය කරලියට ගෙන ඇති බවද කියැවිණි.
“ගුරු ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් අවශ්‍ය වෙනවා. මේ වෙනකොට ඔන්ලයින් ඉගැන්වීම් නතර වෙලා. ඔන්ලයින් ඉගැන්වීම් කරන්න කැමති ගුරුවරුන්ටත් ඇතැම් වෘත්තීය සමිති ඉගැන්වීම් කරන්න දෙන්නේ නැහැ. බලපෑම් කරනවා. එතන තියෙන්නේ දේශපාලන කාරණයක්. මේ අයට රට ඇතුළෙ ලොකු අර්බුදයක් මවන්නන් ඕන වෙලා තියෙන්නෙ. සංවේදී තත්ත්වයක් රට තුළ පවතින වෙලාවකම තවත් සංවේදී ප්‍රශ්නයක් කරළියට ගේන්නෙ ඒ නිසයි.” විමල් කීය.
“අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉක්මනට සැලැස්ම හදලා චැනල් වැඩේ පටන් ගන්න. අගමැතිතුමා හා ඇමතිවරු කීපදෙනෙක් ගුරු සංගම් සමග මේ ගැන සාකච්ඡා කරනවා නම් හොඳයි. මේ තත්ත්වය ඒ අයට පැහැදිලි කරලා දෙන්න” ජනාධිපතිවරයා කීවේය.
ඩලස් නිරෝධායනයේ
ඒ අනුව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුදින ගුරු සංගම් සමග සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කෙරිණි. ඒ සදහා විමල් වීරවංශ, ගාමිණි ලොකුගේ, උදය ගම්මන්පිල, මහින්දානන්ද අලුත්ගමගේ, වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන්ගේ නම් යෝජනා විය. ඩලස් නිරෝධායනය වෙමින් සිටින නිසා ඊට සහභාගී විය නොහැකි බව කීවේය.
චමල්ගෙන් ආණ්ඩුවට වැඩමුළුවක්
ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය මේ ආකාරයට ඉදිරියට ඇදී යද්දී ආණ්ඩුවට මුහුණදීමට ඇති ඊළඟ ප්‍රශ්නය වී ඇත්තේ කොතලාවල විශ්වවිiාල පනත පිළිබඳ ගැටලුවය. ආණ්ඩුව මේ වන විට සූදානමින් සිටින්නේ ලබන 6 වැනිදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමටය. ඊට පෙරාතුව ලබන තුන්වැනිදා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩමුළුවක් පැවැත්වීමටද ආණ්ඩුව සැලසුම් කර ඇත. එහිදී පනතට සංශෝධන ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මේ වන විටත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වෙත දැනුම්දීමක් සිදුකොට තිබේ.
ආණ්ඩුවේ තිස්ස පෙරටුගාමීන් එක්ක
කෙසේ වෙතත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ මේ වන විට සිටින්නේ කොතලාවල පනතේ ඇතැම් වගන්තිවලට එරෙහි ස්ථාවරයකය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය දැනටමත් ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශයට පත්කොට ඇති අතර, ඔවුන් පෙන්වා දී ඇත්තේ අදාළ පනත සංශෝධනය නොවන්නේ නම් තම පක්ෂය ඊට එරෙහිව ඡන්දය භාවිත කරන බවය. ශ්‍රී ලංකා සමසමාජ පක්ෂය තවත් පියවරක් ඉදිරියට තබමින් කොතලාවල පනතට විපක්ෂයේ සිට විරෝධය පළ කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග සාකච්ඡාවක් පැවැත්වීමටද පසුගිය සතියේ පියවර ගත්තේය. මේ සාකච්ඡාවට සමසමාජ පක්ෂයේ මහලේකම් මහාචාර්ය තිස්ස විචාරණ මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටි අතර, පෙරටුගාමීන් වෙනුවෙන් කුමාර් ගුණරත්නම්, පුබුදු ජයගොඩ, දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ. එහිදී කොතලාවල පනත සම්බන්ධයෙන් පෙරටුගාමීන් දරන මතය තමන්ද පිළිගන්නා බව තිස්ස විතාරණද සඳහන් කිරීම විශේෂ සිදුවීමක් විය.
මීට අමතරව පසුගිය සෙනසුරාදා දිනයේදී වෘත්තීය සමිති 41ක් කොළඹ මහජන පුස්තකාලයේ රැස්ව කොතලාවල පනතට එරෙහිව ඒකාබද්ධ ගිවිසුමකටද අස්සන් තැබූ ආකාරයක් දැකගත හැකි විය.
ජනපති ශ්‍රීලනිපයට එන්න කියයි
අවස්ථා කිහිපයකදීම කල්දමනු ලැබූ ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාව පසුගිය සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. ඊට ශ්‍රීලනිපය වෙනුවෙන් සහභාගි වූයේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, පක්ෂ ලේකම් දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර සහ නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන්ය. එම පිරිස ජනාධිපතිවරයා මුණගැසීමට යෑමට ප්‍රථම කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවෙසේ රැස්ව සාකච්ඡාවේ න්‍යායපත්‍රය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවකද නිරත වූහ. ජනාධිපතිවරයා හරියටම පැයක කාල වේලාවක් ශ්‍රීලනිපයට ලබාදී තිබූ බැවින්, අත්‍යාවශ්‍යම කරුණු සම්බන්ධයෙන් පමණක් මෙහිදී සාකච්ඡා කිරීමට ශ්‍රීලනිපය තීන්දු කළහ.
දයාසිරි ජනපතිට පෙන්වා දුන් දේ
ඒ අනුව මෙම සාකච්ඡාවේදී මෛත්‍රි ප්‍රමුඛ ශ්‍රීලනිපය ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට යොමු කළේ ශ්‍රීලනිප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ගම් මට්ටමේදී මුහුණදී ඇති ගැටලු පිළිබඳවය. එහිදී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සියලු මන්ත්‍රීවරුන් නොතකා කටයුතු කරන බවත්, කිසිදු සංවර්ධන කටයුත්තකදී ඔවුන් සම්බන්ධ කර නොගන්නා බවත් ශ්‍රීලනිපය ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය.
“මේකෙන් අපටත් කරදරයක්. ඔබතුමාටත් කරදරයක්. මේක බේරගන්න තියෙන එකම ක්‍රමය තමයි ගමේ වැඩවලදි දෙපාර්ශ්වයම එකතුවෙලා වැඩකරන කිසියම් යාන්ත්‍රණයක් සකස් කරගැනීම. යහපාලන ආණ්ඩු කාලෙ අපි යූ.එන්.පී. එකට උදව් නොකළත්, ග්‍රාමසේවා කොට්ඨාස මට්ටමින් ගමේ මන්ත්‍රීවරුන්ට වැඩ කරගෙන යන්න ලක්ෂ 10 ගානෙ දුන්නා. හැබැයි දැන් එහෙම හම්බවෙන්නෙ නෑ. අපේ මන්ත්‍රීවරු ඔබතුමාව දිනවන්න වැඩ කළා. මේ ආණ්ඩුව ගේන්න වැඩ කළා. ඒක හින්දා මේ ආසනවල තියෙන ප්‍රශ්න විසඳලා දෙන්න. අනික පොහොට්ටුවේ වෘත්තීය සමිති දැන් අපේ වෘත්තීය සමිතිවලට බලපෑම් කරනවා ඒවා විසුරුවාහැරලා පොහොට්ටුවේ වෘත්තීය සමිතිවලට බැඳෙන්න කියලා. එහෙම නැති වුණොත් කිසිම දෙයක් කරන්න දෙන්නෙ නැහැලු. මේ ප්‍රශ්න අපට ඔබතුමා විසඳලා දෙන්න” යනුවෙන් දයාසිරි ජනාධිපතිවරයාගේ අවධානයට මෙම ප්‍රශ්නය යොමු කළේය. ඊට යහපත් ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ තමන් ඒ පිළිබඳව පොහොට්ටුවේ ප්‍රධානීන් සමග සාකච්ජා කරන්නම් යැයි කියාය.
අලුත් ව්‍යවස්ථාවක් බැරි නම් එකක් හරි කරන්න…
මීට අමතරව සංවර්ධන කමිටුවල උපසභාපතිවරුන් පත්කිරීමේදී ශ්‍රීලනිපයේ හිටපු මන්ත්‍රීවරු, හිටපු පළාත් සභා මැති ඇමැතිවරු පත් කරන ලෙසද ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළහ.
මීට අමතරව වර්තමානයේදී ආණ්ඩුව මුහුණ දෙන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන්ද ශ්‍රීලනිපය ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළේය. ඉන් පළමුවැන්න අලුත් ව්‍යවස්ථාව සම්බන්ධ ප්‍රශ්නයය. එහිදී ශ්‍රීලනිපය යෝජනා කළේ සම්පූර්ණ ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමට නොහැකි නම් මනාප ක්‍රමය අහෝසි කොට අවම වශයෙන් නව මැතිවරණ ක්‍රමයක් හෝ රටට හඳුන්වා දෙන ලෙසටය. ජනාධිපතිවරයාද ඊට එකඟතාව පළ කරමින් කියා සිටියේ තමන්ට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දිය නොහැකි නම් අවම වශයෙන් සංශෝධනයට ලක්විය යුතු ප්‍රධාන කරුණු හෝ වෙනස් කිරීමට සූදානම් බවය.
පොහොර ප්‍රශ්නෙදි නම් ජනපති තදින්
මීට අමතරව ගුරු විදුහල්පති වැටුප් විෂමතාව, පොහොර ප්‍රශ්නය ආදියද මෙහිදී සාකච්ඡාවට ලක් විය. පොහොර ප්‍රශ්නයේදී ශ්‍රීලනිපය රසායනික පොහොර තහනම හේතුවෙන් ගොවීන් මුහුණ දෙන ගැටලු පිළිබඳ දීර්ඝ වශයෙන් ජනාධිපතිවරයාට පැහැදිලි කිරීමක් කළේය. ඒ කටයුත්ත සිදුකළේ රංජිත් සියඹලාපිටියය. මෙම ගැටලුකාරී තත්ත්වය සමනය කිරීම සඳහා යම් සහනයක් ගොවීන්ට ලබාදෙන ලෙසද සියඹලාපිටිය මෙහිදී ඉල්ලා සිටියේය.
දුන්නෙ පැයයි: ඉවර වෙද්දි පැය දෙකහමාරක්
නමුත් ඊට නම් ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් පළවූයේ නැත. ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ආණ්ඩුව ගත් තීන්දුව ඒ ආකාරයෙන්ම ඉදිරියට රැගෙන යන බවත්, කාබනික පොහොර භාවිතයට ගොවීන් හුරු කළ යුතු බවත්ය.
මේ ආකාරයට පැයක කාලයකට පමණක් ශ්‍රීලනිපය හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාව තීන්දු වී තිබුණද, මේ සියලු ප්‍රශ්න සාකච්ඡා කොට අවසන් කරන විට පැය දෙකහමාරකට අධික කාලයක් ගතවී තිබීම විශේෂ සිදුවීමකි.
කපිල පුංචිමාන්නගේ