සුනාමියෙන් අතුරුදන් වූ පස් හැවිරිදි දරුවා 16 වසරකට පසු සොයා ගත් බව කී මවගේ ප්‍රකාශයන් පිළිබඳ පවතින පරස්පරතා මත සමන්තුරේ පොලිසිය ඊයේ (30) සිට ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම දරුවා සිංහල පවුලක නොව මුස්ලිම් පවුලක රැකවරණයෙන් ජීවත් වූ දරුවෙකු බවට තොරතුරු අනාවරණය වීමත් දරුවා වැදූ බව කියන මව මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශවල යම් යම් පරස්පරතා මතුවීමත්, එම දරුවා කුඩා කල සිට හදා වඩා ගත් මව දරුවා ද සමගින් ඊයේ (30දා) සමන්තුරෙයි පොලිසියට පැමිණීමත් මත මේ සිද්ධිය පිළිබද සැකයක් මතුව තිබෙන බව සමන්තුරෙයි පොලිසිය පවසයි.
අම්පාර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතාගේ උපදෙස් මත සමන්තුරේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ ඒ අනුවය.
අදාළ මව තම දරුවා සමගින් මාධ්‍යයට කරන ලද ප්‍රකාශයේදී සැකමුසු තැන් කිහිපයක් කෙරෙහි පොලිසියේ දැඩි අවධානයක් යොමුවන හෙයින් ඇයගේ ප්‍රකාශය ගැන පූර්ණ විශ්වාසයක් තැබිය නොහැකි බව පොලිසිය පවසයි.
මෙම තත්ත්වය මත දරුවා හැදූ දෙමාපියන්ටත් දරුවා වැදූ බව කී සමන්තුරේ මවටත් දරුවාගේ අයිතිය තහවුරු කෙරෙන ලේඛන හා සහතික සමගින් අද (01) පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබෙන බවද දැනගන්නට තිබේ.










