නවක වධයට සම්බන්ධ නොවන බවට වගකීමෙන් බැඳෙන ලිඛිත දිවුරුමක් මෙවර සිට විශ්වවිද්‍යාවලට ඇතුළත් වන සියලුම සිසුන්ගෙන් ලබා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ. මෙම ලිඛිත දිවුරුම සිසුන්ගෙන් ගන්නා ලෙස සියලුම උපකුලපතිවරුන්ට මේ වන විට දැනුම් දෙනු ලැබ ඇත.
නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ආයතන ද සම්බන්ධ කර ගනිමින් මෙම දිවුරුම සකස් කර තිබෙන අතර එය විශ්වවිද්‍යාල මට්ටමින් සිසුන්ට ලබා දෙන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවසීය.
මෙතෙක් මෙම දිවුරුම ජාතික මට්ටමෙන් ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ලබා ගත් අතර මෙවර සිට විශ්වවිද්‍යාල මට්ටමින් එය ලබාගැනීමට තීරණය කළේ නවක වධය සහමුලින් ම විශ්වවිද්‍යාලවලින් ඉවත් කිරීමේ අපේක්ෂවෙන් බව ද සභාපතිවරයා කීවේය.
තමන් වෙනත් කෙනකුට හිංසනයක් නොකරන බවට කෙරෙන මෙම දිවුරුමට එක් වන සිසුන් සිය හෘදය සාක්ෂිය අනුව කටයුතු කළ යුතු වන බවත් එල්ල වී තිබෙන දරුණු අපවාදයෙන් විශ්වවිද්‍යාල ගලවා ගැනීම මෙහි තවත් අරමුණක් යැයි ද ඔහු සඳහන් කළේය.










