පසුගිය මහමැතිවරණයේදී පොහොට්ටුව යටතේ පොලොන්නරුවෙන් තරග වැදුණද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර තිබුණේ දේශපාලන නයි-මුගටි වෛරයකි. මැතිවරණ වේදිකාවේ දෙදෙනා ප්‍රසිද්ධියේම එකිනෙකාට චෝදනා කරගත් ආකාරයක් එහිදී දැකගන්නට ලැබිණ.
නමුත් දේශපාලනයේදී සදාකාලික සතුරෝත් නැත-සදාකාලික මිතුරෝත් නැත යන කියමන නැවත වතාවක් සනාථ කරමින් ඊයේ (04) දිනයේදී මේ දෙදෙනා එක ළග ආසන දෙකක හිදිමින් සිනාසෙමින් කතා කරන ආකාරයක් දැකගන්නට ලැබිණ.
ඒ, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොයුරු, ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ බිරියගේ උපන්දිනයේදීය. ඇන්ජලීන් සිරිසේන මහත්මියගේ 60 වන ජන්ම දිනය නිමිත්තෙන් වැඩිහිටි නිවාසයක් ඉදිකිරීමට ඩඩ්ලි සිරිසේන මහතා පියවර ගෙන තිබූ අතර ඊයේ දින එය විවෘත කරනු ලැබීය. එම අවස්ථාවට සහභාගි වන ලෙසට ඩඩ්ලි සිරිසේන මහතා රොෂාන් රණසිංහ මහතාට පෞද්ගලිකවම ආරාධනා කර තිබිණ.
දේශපාලන පසමිතුරුකම් තිබුණද ඒ සියල්ල පසෙක දමා රොෂාන් රණසිංහ මහතාද එම අවස්ථාවට එක්වූ අතර හිටපු ජනාධිපතිවරයා සමගද සැහැල්ලුවෙන් කතාබස් කිරීමටද රණසිංහ මහතා පියවර ගත්තේය.
එහිදී දෙදෙනා අතර කතාබහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පමණක් සීමා වූ බවක් දැනගන්නට ඇත.
කෙසේවෙතත් රොෂාන් රණසිංහ මහතාත්, මෛත්‍රීපාල සිරිසේන මහතාත් සිනාසෙමින් එකට සිටිනු දුටු බොහෝ දෙනා එහිදී කියා සිටියේ දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් මෙම සංයෝගය ඉතා පලදායී එකක් වනු ඇත බවකි.