අද සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා වී ඇතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව දැනගන්නට තිබේ.
මෙහිදී ඉකුත් අවස්ථාවේදී මෙන්ම සාගර කාරියවසම් මන්ත්‍රීවරයා සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා 22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අදහස් පළ කොට ඇති බව වාර්තා වේ.
එම අදහස් දැක්වීමෙන් පසු ජනාධිපතිවරයා දේශපාලන ඉතිහාසය පිළිබදව දීර්ඝ විස්තරයක් සිදු කර ඇති බව පැවසේ.
විශේෂයෙන් ජේ.ආර්. ජනාධිපතිවරයාගේ සමයේදී පාර්ලිමේන්තුව විසිරවූ ආකාරය, ව්‍යවස්ථා සංශෝධන ගෙනා ආකාරය සහ ජනමත විචාරණය පැවැත්වූ ආකාරය සම්බන්ධයෙන් දීර්ඝව ජනාධිපතිවරයා කරුණු දැක්වීමක් කොට ඇත.
කෙසේවෙතත් පොහොට්ටුවේ යම් යම් මන්ත්‍රීවරුන් 22 වන සංශෝධනයට එරෙහිව අදහස් දැක්වූවද අමාත්‍ය අලි සබ්‍රි මහතා සදහන් කොට ඇත්තේ IMF මූල්‍යාධාර ලබා ගැනීමට නම් මෙම ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන්ම සම්මත කර ගත යුතුව ඇතැයි කියාය.
එවිට ගාමිණී ලොකුගේ මහතා ද්විත්ව පුරවසැභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න කොට ඇති අතර ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා ඇත්තේ ‘මම මෙච්චර කල් මේ ගැන කතා නොකර නිහඩව හිටියා. මේ ද්විත්ව පුරවැසිකම මම යෝජනා කළෙත් නෑ. මම දැම්මෙත් නෑ. ඒක කළේ ගෝඨාභය හිටපු ජනාධිපතිතුමාගේ කාලේ. ඒක මට අවශ්‍ය එකක් කෙමෙයි.’ යැයි කියාය.
පසුව මහින්දානන්ද මන්ත්‍රීවරයා නැවත වතාවක් 22 මගින් පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට සහතිකයක් ලබා දිය යුතු බව සදහන් කොට ඇත.
ඊට සිනාසෙමින් ජනාධිපතිවරයා කියා ඇත්තේ මහින්දානන්ද මහතා තමන්ට බුලත් හුරුල්ලක් රැගෙන පැමිණ වැඳ කීවද තමන් නියමිත කාලය අවසන් වන තුරු පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවය.
කෙසේවෙතත් අද රැස්වීම අවසන්ව ඇත්තේද 22වන සංශෝධනය පිළිබදව අවසන් තීන්දුවකින් තොරව බව දැනගන්නට ඇත.