සපුගස්කන්ද ප්‍රදේශයේදී සොයාගත් හෙරොයින් කිලෝ 23 ට අදාළ පරීක්ෂණ සඳහා පොලීසියට අවශ්‍යව සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) පොලිස් කොස්තාපල්වරයා අද (05) ඉන්දියාවට මුහුදු මගින් ඇතුල්වීමට ගත් උත්සාහයේදී තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් ආරංචි මාර්ග පවසන්නේ, එහිදී තමිල්නාඩුවට නීතිවිරෝධී ලෙස ඇතුළුවීමට උත්සහ කළ ශ්‍රී ලංකිකයෙකු තමිල්නාඩු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය.
අනතුරුව ඔහුගෙන් ඉන්දීය පොලීසිය ප්‍රශ්න කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහු පළා යාමට උත්සහ කර ඇති අතර පසුව නාවික පොලිසිය විසින් ඔහු අල්ලා රාමේෂ්වරම් මැරීන් පොලිස් ස්ථානයට භාර දී ඇති බව වාර්තා වේ.
සැකකරු ශ්‍රී ලංකාවේ මොණරගල දිස්ත්‍රික්කයේ පදිංචි ප්‍රදීප් කුමාර් බණ්ඩාරනායක නමැති 30 හැවිරිදි අයෙකි.
වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මොහු කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් බවය.
එමෙන්ම මොහු පසුගිය දෙවැනිදා සපුගස්කන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හෙරෝයින් කිලෝග්‍රෑම් 23 එම ප්‍රදේශයට රැගෙන ගිය පොලිස් නිලධාරියා බව වාර්තා වී ඇත.
එහිදී අත්අඩංගුවටගනු ලැබුවේ ඔහුගේ සහෝදරයාය.
සැකකරු මේවන විට ධනුස්කෝඩි සමුද්‍රීය පොලිස් ස්ථානයේ රඳවා ඇති බව ද වාර්තා වේ.