අද (04) දින අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අරලිය ගහ මන්දිරයේදී සංවිධාන කරනු ලැබ තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විශේෂ අනාවරණයක් සිදු කර තිබේ.
එහිදී ජාසිංහ මහතා විශේෂ ඉදිරිපත් කිරීමක් කරමින් සදහන් කර ඇත්තේ මේ වනවිට නාවික හමුදාව තුළ වයිරසයේ පැතිර යාම සියයට සියයකින්ම පාලනය කර ඇති බවකි.
එමෙන්ම අනෙකුත් ස්ථානවලද වයිරසයේ පැතිර යාම සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කර ඇති බවත්, එම ප්‍රදේශවලද ව්‍යාප්තිය බින්දුව මට්ටමට ගෙන ඒම ආසන්නයේ පවතින බවත් ඒ මහතා එහිදී පෙන්වා දී තිබේ.
ජාසිංහ මහතාට අමතරව මහභාණ්ඩාගාරයේ ලේකම්වරයා වන එස්. ආර්. ආටිගල මහතා විසින් ආර්ථිකය සම්බන්ධයෙන් සහ විදේශාධාර සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් හිටපු මන්ත්‍රීවරුන් හමුවේ සිදු කර තිබේ.
කෙසේවෙතත් විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අගමැතිවරයා විසින් කැදවනු ලැබූ මෙම රැස්වීම වර්ජනය කර තිබුණද දෙමළ ජාතික සන්ධානය ඊට සහභාගී වී සිටීම විශේෂ සිදුවීමක් විය.
ඒ අනුව දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන් සහ එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන් එම රැස්වීමට සහභාගී වී සිටියහ.










