ශ්‍රී ලාංකීය ජනතාවගේ විශ්වාසය මෙන්ම ආදරය දිනාගනිමින්, ජනතාවත් සමග ඉපිද වර්ධනය වූ සණස ව්‍යාපාරය පසුගියදා සිය 40 වැනි සංවත්සරය සමරනු ලැබීය.
මෙයට සමගාමීව එම ව්‍යාපාරයේ නිර්මාතෘ සහ මතවාදී නායක ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතාගේ 80 වැනි ජන්ම දිනය සමරමින් සණස රක්‍ෂණ සමාගමේ සභාපතිතුමන්, අධ්‍යක්‍ෂ මණ්ඩලය, ප්‍රධාන සාමාන්‍යාධිකාරිතුමන්, කළමනාකාරීත්වය සහ එහි කාර්ය මණ්ඩලය එතුමන් හට දිර්ඝායු ප්‍රාර්ථනා කරමින් ඔහුගේ දැක්ම ඔස්සේ යමින් සුවිශේෂ ක්‍රියාකාරකම් මාලාවක් සංවිධාන කිරීමට යොමුවිය.
එවකට පැවති රජය විසින් විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දීමත් සමඟ 1978 වසර සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය කිරිවන්දෙණිය හට සුවිශේෂ වසරක් වන්නේ, ග්‍රාමීය අංශයේ කුඩා සමුපකාර සමිති 935ක් සමගින් එක්ව කටයුතු කිරීමට අවස්ථාව උදාවීමයි. එයින් පන්නරය ලැබූ මෙම ව්‍යාපාරය, වසර ගණනාවක් පුරා එතුමන්ගේ නායකත්වය යටතේ දිනෙන් දින වර්ධනය විය. සණස සංවර්ධන බැංකුව, සකසුරුවම් සහ ණය සමුපකාර සමිති සම්මේලනය, සණස අධ්‍යාපන මණ්ඩපය, සණස රක්‍ෂණ සමාගම්, සණස ඉංජිනේරු සහ සංවර්ධන සමාගම (SEDCO), සණස පාරිභෝගික නිෂ්පාදක සන්ධානය (SANEEPA) ඇතුළු ආයතන රැසක් සණස යටතේ බිහිවීමට ඔහුගේ දැක්ම සහ ප්‍රායෝගික නායකත්වයේ ගුණාංග බෙහෙවින් ඉවහල් වී ඇත.











