ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් සංවිධානය කළ මැණික් හා ස්වර්ණාභරණ අපනයනය සම්බන්ධ ප්‍රධාන විද්වත් සමුළුවේ දෙවන රැස්වීම පසුගියදා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා, SLGJA සභාපති අහ්සාන් රිෆායි සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන බියුරෝවේ සභාපතිනිය කිමාලි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ සාර්ථකත්වය උදෙසා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන බියුරෝව සමග අත්වැල් බැඳගැනීම අරමුණු කරගත් මෙම අවස්ථාවට SLGJA විධායක සාමාජිකයන්, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) නියෝජිතයන් හා දේශීය මැණික් ව්‍යාපාරිකයන් රැසක් සහභාගී වූහ.
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සහ සංචාරක ක්ෂේත්‍රය එක්ව මෙලෙස අත්වැල් බැඳගැනීමෙන් අප රටේ මැණික් හා ස්වර්ණාභරණ නිෂ්පාදන මිලදී ගැනීමේ ආර්ථිකමය ශක්තියකින් හෙබි ධනවත් ඉහළ පෙළේ සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කරගත හැකිය. වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 500ක විදේශ විනිමයක් උපයාගත හැකි මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය මෙරටට විදේශ විනිමය රැගෙන එන විශාලතම මූලාශ්‍රයකි. අනපේක්ෂිත ලෙස සිදුවූ මෙරට සංචාරක ක්ෂේත්‍රයේ පසුබෑම යථා තත්ත්වයට පත්කරලීම වෙනුවෙන් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට සුවිසල් මෙහෙවරක් සිදු කළ හැකිය.











