පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් සමඟ සබඳතා පැවත්වූ පුද්ගලයකු ඉන්දියාවේ තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඔහු ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ (ISIS) සාමාජිකයකු බවට මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබෙන බව වාර්තා වෙයි.
ෂෙයික් හිදයතුල්ලා නමැති මේ පුද්ගලයා 2019 වසරේ එල්ල කළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් නමැත්තා සමඟ සබඳතා පවත්වා තිබෙන බවට අනාවරණය කරගෙන තිබෙන අතර, ඊට අමතරව විවිධ ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූවකු බවද වාර්තා වෙයි.
අදාළ සැකකරු පසුගිය ඔක්තෝබර් 23 දින ඉන්දියාවේ කොයිම්බතූර්හිදී මෝටර් රථයක් පුපුරුවාහැරීමේ සිද්ධියට ඍජු සබඳතාවක් පවතින බවට අනාවරණය වී තිබෙන අතර, මොහුට අමතරව ත්‍රස්ත ප්‍රහාර දියත් කිරීමේ සැලසුම්වලට සහභාගි වූ බව පවසන පුද්ගලයකු වන සනොෆර් අලි නමැත්තා ද අත්අඩංගුවට ගෙන ඇතැයි එම වාර්තා පෙන්වාදෙයි.
2017 වසරේ සිට ඉස්ලාම් අන්තවාදි මතවාද ප්‍රචාරය කරමින් සිටි ෂෙයික් හිදයතුල්ලා නැමැත්තා 2019 වසරේ ජූනි මාසයේ දී අසරුදීන් නමැත්තකු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අසරුදීන් නමැත්තා පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් ඉන්දීය අත්අඩංගුවේ පසු වෙයි. මේ අතර ෂෙයික් හිදයතුල්ලා නමැත්තා 2020 වසරේ ඇප මත නිදහස් කර තිබේ.










