නිවසේ පවතින ආර්ථික දුෂ්කරතා ඉවසා දරාගත නොහැකිව අරණායක ප්‍රදේශයේ 74 හැවිරිදි වයෝවෘද්ධ මවක් සිය දිවි හානි කරගෙන ඇති බව අද ලංකාදීප පුවත්පත වාර්තා කොට තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ අරණායක පොලිස් වසමේ බොස්සැල්ල කළුගල පදිංචි කාන්තාවක බව පුවත්පත කියයි.
ඇය සිය සැමියා සමග මෙම නිවසේ වාසය කර ඇති බවත්, එකම දියණිය විවාහයෙන් පසු රඹුක්කන ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇති බවත් පැවසේ.
කෙසේවෙතත් පසුගිය කාල සීමාවේ මෙම නිවසේ දැඩි ආර්ථික දුෂ්කරතාවක් මතුව තිබී ඇති බව පුවත්පත පවසයි.
ඇයගේ සිරුරේ විස ශරීරගතව තිබී ඇති බවද පුවත්පත පෙන්වා දෙයි.
තමාටත් තම බිරිඳටත් මාසිකව ලැබෙන වැඩිහිටි දීමනාව වන රු. 1900ක් සහ ගොවි විශ්‍රාම වැටුප ලෙස ලැබෙන රු. 1950ක මුදලින් කෙසේවත් ජීවත් විය නොහැකි නිසා ඇය මෙලෙස දිවිනසා ගෙන ඇති බවයි ඇගේ සැමියා අරණායක පොලිසියට පවසා ඇත්තේ.
නිසි ආහාරයක් පවා නොමැතිව නිවසේ සිටි තම බිරිඳ නිතර කනස්සල්ලෙන් සිටි බවත් ජීවත් වීමට මොනම විදිහක් හෝ නොමැති නිසා නිවසේ තිබූ වස වර්ගයක් පානය කර ඇය දිවිනසා ගෙන ඇති බවත් සැමියා පවසා තිබෙනවා.
මියගිය 74 හැවිරිදි මවගේ පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිසංසලා ජයවීර විසින් පවත්වා තිබුණා. මෙම මව වස වර්ගයක් පානය කිරීම නිසා සියදිවි නසාගෙන ඇති බවයි කෑගල්ල හදිසි මරණ පරීක්ෂක කිත්සිරි රණසිංහ විසින් තීරණය කර ඇත්තේ.