ඉදිරියේදී මෙරටට පැමිණෙන සංචාරකයන් ඉලක්ක කරගෙන සම්බාහන චිකිත්සකවරියන් විදේශීය රටවලින් මෙරටට ගෙන්වා ගැනීමට බොහොමයක් තරුපහේ හෝටල් පරිපාලකයෝ සැලකිල්ලක් දක්වති.
ඒ මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් සඳහා ඇති සම්බාහන චිකිත්සක ක්‍රියාවලිය සඳහා පළපුරුදු චිකිත්සකවරියන් නොමැති වීම නිසා බව වාර්තා වේ.
එමෙන් ම, මේ වනවිට ප්‍රධාන පෙළේ හෝටල්වල හා ඒ ආශ්‍රිතව පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන රැසක් වසා දමා ඇති අතර ඉදිරියේදී එම මධ්‍යස්ථාන නැවත විවෘත කර විදේශීය සංචාරකයන්ට ගුණාත්මක සම්බාහනයක් ලබා දීමට මෙම හෝටල් හිමියෝ අදහස් කර ඇතැයි කියති.
මේ සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ, සංචාරක අධිකාරියේ ලියාපදිංචි ආයතන මෙලෙස විදේශීය සම්බාහන චිකිත්සකවරියන් ගෙන්වා ගැනීමට ඉල්ලුම් කළහොත් ඊට මැදිහත් වන බව ය.
ඒ සඳහා පළමුව සංචාරක සංවර්ධන අධිකාරියේ නියමිත නිර්ණායක අනුගමනය කරමින් ලියාපදිංචි විය යුතු බවත් එවැනි ලියාපදිංචි ආයතනයක් චිකිත්සකයෙකුගේ විශේෂඥ සේවාවන් ඉල්ලා සිටින විට එය සැබැවින් ම අවශ්‍ය දැයි පරීක්‍ෂා කිරීමට කටයුතු කරන බව ත් ඒ සඳහා වීසා නිර්දේශ කිරීමට පෙර සංචාරක සංවර්ධන බද්ද ඇතුළු ඔවුන්ගේ මූල්‍ය කාර්ය සාධනය, බදු ගෙවීම් ආදිය පරීක්‍ෂා කර බලන බව ත් ඔහු කීය.
‘සුවතා සංචාරක’ ව්‍යාපාරයට පශ්චාත් කොවිඩ් කාලවලදී දකුණු ආසියානු සහ පැසිෆික් කලාප තුළ ඉල්ලුමක් පැවති බවත් පිරිනමන සේවාවන්වල ගුණාත්මක භාවය සහ ප්‍රමිතිය වැදගත් වන බව ත් සභාපතිවරයා අවධාරණය කළේ ය.
එමෙන් ම චිකිත්සකයන් ශ්‍රී ලංකාව තුළ පුහුණු කිරීමට කටයුතු කරන බව ද සභාපතිවරයා පැවසීය.