ජවිපෙ මුල ඉඳන් ගහපු ගේම!
සජිත් විරෝධයෙන් පැනලා ගියාද?
පොහොට්ටුව ගේමකට ලෑස්ති වෙයි!
වතුකරයම එකතු කරයි!
ආණ්ඩුව කරපු IMF බොරුව එළියට!
සංවිධාන වුණේ සතියකට කලින්!
ආණ්ඩුවේ මර්දනයට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන ඇතුළු ප්‍රගතිශීලී ජනතාවගේ මෙහෙයවීමෙන් දැවැන්ත පාගමනක් සහ විරෝධතාවක් පැවැත්විය යුතු බවට වූ සාකච්ඡාව ආරම්භ වුණේ මීට සතියකට පමණ පෙරාතුව සිටය. සිවිල් සංවිධාන වෙතින් මේ යෝජනාව ඉදිරිපත් වූ අතර සමගි ජන බලවේගයද ඊට සිය සහාය ලබාදෙන බවට තීන්දු කරනු ලැබීය.
‘කිසිම චෝදනාවක් නැතිව වසන්ත මුදලිගේ, සිරිධම්ම හාමුදුරුවෝ ඇතුළු පිරිසක් ආණ්ඩුව හිර කරගෙන ඉන්නවා. මේක බරපතළ තත්ත්වයක්. මේ වගේ වෙලාවක අපිට නිහඬව ඉන්න පුළුවන්කමක් නෑ. මේ මර්දනය, ඉදිරියේදී හැම ගෙදරකම දොරට තට්ටු කරනවා. ඒ නිසා මේකට විරුද්ධව අපි ක්‍රියාමාර්ගයක් ගමු…’ යන්න මෙහිදී ආරාධනාව ලැබුණු විගසම සජිත් සිය මන්ත්‍රී කණ්ඩායමට කීවේය.
රංජිත් සාකච්ජා අරඹයි!
‘සියලු කණ්ඩායම් එකතු කරගෙන පොදු කඳවුරක් විදිහට මේ තත්ත්වයට අපි මුහුණ දෙන්න ඕන…’ යන්න මහලේකම් රංජිත්ගේ ස්ථාවරය විය.
ඒ අනුව අදාළ කණ්ඩායම් සමග සාකච්ඡා සම්බන්ධීකරණය සිදුකළේ මහලේකම් රංජිත් ඇතුළු කණ්ඩායමක් විසිනි. අවස්ථා කිහිපයකදී ස්ථාන කිහිපයකදී හමුවී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට පිරිස කටයුතු කළහ.
ජවිපෙ මුල සිටම කඩාකප්පල් වැඩක!
කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ආණ්ඩුව පැත්තෙන් මෙන්ම විපක්ෂය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණද මෙම විරෝධතාවට ආරම්භයේ සිටම අකුල් හෙළීමය. එහිදී ආණ්ඩුව පැත්තෙන් මාධ්‍ය හමු පවත්වමින් මහින්දානන්ද අලුත්ගමගේ, හරීන් ප්‍රනාන්දු, ඉන්දික අනුරුද්ධ ප්‍රසිද්ධියේම විරෝධතාවට ප්‍රහාර එල්ල කරද්දී ආණ්ඩුව අනුව යමින් ජවිපෙ ලාල්කාන්ත සහ වෘත්තීය සමිති නායක වසන්ත සමරසිංහද ඊට ප්‍රහාර එල්ල කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. මෙහිදී ලාල්කාන්ත කියා සිටියේ මෙම විරෝධතාව කවුරුන් විසින් කුමක් සඳහා කරන එකක්දැයි තමන් දන්නේ නැතැයි කියාය. වසන්ත කියා තිබුණේ මෙම විරෝධතාවට සිය සංගමයට අයත් වෘත්තීය සමිති සහභාගි වන්නේ නැතැයි කියාය. ඒ අනුව ආණ්ඩුව මෙන්ම ජවිපෙද එකම ස්ථාවරයක සිටිමින් මෙම විරෝධයට ප්‍රහාර එල්ල කරන ආකාරයක් දැකගන්නට ලැබිණි.
ආපු පක්ෂ-සංවිධාන මෙන්න!
කෙසේවෙතත් රංජිත් සමග පැවැත්වූ සාකච්ජාවලදී පක්ෂ මෙන්ම සංවිධාන ගණනාවක් ඊට එක්වන බව ප්‍රකාශ තහවුරු කළේය. ඒ අනුව විරෝධතාවට එක්වූ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන මෙසේය.
- සමගි ජන බලවේගය
- දෙමළ ජාතික සන්ධානය
- පෙරටුගාමී සමාජවාදී පක්ෂය
- ශ්‍රි ලංකා නිදහස් පක්ෂය
- නිදහස ජනතා සභාව (ඩලස් පිල)
- 43 සේනාංකය
- එක්සත් සමාජවාදී පක්ෂය
- දෙමළ ප්‍රගතීශිලි සංධානය
- නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය
- අනුර ප්‍රියදර්ශන චන්දිම වීරක්කොඩි ඇතුලූ කණ්ඩායම
- ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රසය
- අගිල ඉලන්ගයි මුස්ලිම් කොන්ග්‍රස්
සංවිධාන
- ලංකා ගුරු සංගමය
- අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය
- ලංකා බැංකු සේවක සංගමය
- තරුණ නීතිඥ සංගමය
- ශ්‍රි ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
- කම්කරු අරගල මධ්‍යස්ථානය
- එක්සත් කම්කරු සම්මේලනය
- සමගි කාන්තා බලවේගය
- මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය
- ගෝල්ෆෙස් අරගලකරුවෝ
- ලංකා වතු සේවා සංගමය
- තැපැල් සහ විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය
- යුතුකම ලංකා
- ෆැක්සිස් සාමුහිකය
- ජනතා වෘත්තික මධ්‍යස්ථානය
- ෆ්‍රොටෙක්ට් සංවිධානය
- ප්‍රගති ගුරු සංගමය
- ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය
- ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය
- සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගය
- රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය
- ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය
- ඒකාබද්ධ ගුරු සේවා සංගමය
- රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ 25 වෘත්තීය සමිති සම්මේලනය
- ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය
- මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය
අන්තිම රැස්වීම විපක්ෂ නායක කාර්යාලයේ!
අස්සන් කළ මෙම සංවිධානවලට අමතරව තවත් සංවිධාන සහ වෘත්තිය සමිති 150කට ආසන්න සංඛ්‍යාවක් ඊට සහභාගී වන බව දැනුම් දී තිබිණ. ඒ අනුව අවසන් රැස්වීම පැවැත්වුණේ අඟහරුවාදා සවස විපක්ෂ නායක කාර්යාලයේදීය. ඊට ජෝෂප් ස්ටාලින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
‘මේ යන විදියට ආණ්ඩුව මේක මර්දනය කරන්න උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. ඒ නිසා අපි ඒ ගැන අවධානයෙන් ඉන්න ඕන…’ යනුවෙන් ගයන්ත කියද්දී, සජිත් පෙන්වා දුන්නේ, ‘ප්‍රජාතන්ත්‍රවාදීව ඇවිදින්න විරෝධතා තියන්න, පාගමන් යන්න මිනිස්සුන්ට තියෙනවා අයිතියක්. ඒ අයිතිය උල්ලංඝනය කරන්න ආණ්ඩුවට බෑ. පොලීසියටත් බෑ’ කියාය.
මේ අතර ජවිපෙ විරෝධතාවයට එක් නොවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ජා කෙරිණ.
කවුරු නැතිවුණත් අපි ඉන්නවා!
‘සමහරු කියනවා ඒ අය මේ විරෝධතාවයට නෑ කියලා. අපි කියනවා අපේ මේ විරෝධතාවයට ඉන්නවා කියලා. අපි පාරට බහින්නේ වසන්ත මුදලිගේ, සිරිධම්ම හාමුදුරුවෝ විඳින පීඩාව නතර කරන්න ඕන නිසා. ඒකට අපිට පක්ෂ භේද නෑ. අපි පාගමන යනවා. ආරක්ෂක අංශවල කිසි කෙනෙක් අත තිබූ තිබ්බොත් අපි බලාගන්නවා…’ යනුවෙන් සජිත් දැඩි ස්ථාවරයක සිටියේය.
කෙසේ වෙතත් විරෝධතාව සංවිධානය කොට තිබූ දෙවැනිදා උදෑසන වන විට සමගි ජන බලවේගයේ බොහෝ මන්ත්‍රීවරුන්ට ආරක්ෂක අංශ මගින් ලිපි ලැබී තිබිණි. එයින් විරෝධතා පාගමනට සහභාගි නොවන ලෙස දැනුම් දී තිබිණ.
පොලිසිය වැඩ පටන් ගනී! ඔක්කොටම ලියුම් එවයි!
ඒ අනුව අඟහරුවාදා රාත්‍රියේ මෙන්ම බදාදා අලුයම් කාලයේත් සජිත් ඇතුළු සජබෙ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුටම මෙම ලිපි අතේ ගෙනැවිත් ලබාදීමට පොලිසිය පියවර ගෙන තිබිණි. ඇතැම් මන්ත්‍රීවරුන්ට වට්ස්ඇප් මාර්ගයෙන් මෙම ලිපි ලබාදීමටද පොලිසිය කටයුතු කොට තිබිණි. එමෙන්ම මාධ්‍ය මගින්ද මෙම ලිපිය ප්‍රසිද්ධ කිරීමට පොලිසිය කටයුතු කළේය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ විපක්ෂ නායකවරයාගේ නමින්ම එවූ ලිපියේ මෙම විරෝධතාවට සහභාගි නොවන ලෙසටත්, එය නීති විරෝධී රැස්වීමක් බව සඳහන් කිරීමටත් පොලිසිය කටයුතු කිරීමය.
‘උද්ඝෝෂණයට යන එක නවත්වන්න ආණ්ඩුව හැමදෙයක්ම කළා. උදේ පාන්දරම මගේ ගෙදරට පොලිසියෙන් ලියුමක් එව්වා. අපි ඕවට බය නෑ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මම මිනිස්සුත් එක්ක පාරට බහිනවා…’ යැයි කී සජිත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වහාම මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට පියවර ගත්තේය.
චමින්ද ජවිපෙ ගැන රහසක් හෙළිකරයි!
දවල් දොළහ පමණ වෙන විට සජිත් විපක්ෂ නායක කාර්යාලයේ සිට මන්ත්‍රී කණ්ඩායම හමුවිය. ඔවුන් බොහෝ දෙනා අත ආරක්ෂක අංශ විසින් එවන් ලැබූ ලිපි තිබිණි.
‘ආණ්ඩුවටවත් පොලීසියටවත් මේ වගේ දේවල් කරන්න බලයක් නැහැ. අපි මේ විරෝධතාව සාමකාමීව කරන්න ඕනා’ මහලේකම් රංජිත් කීවේය.
ඊට පිළිතුරු දෙමින් හේෂා කීවේ, ‘ආණ්ඩුව දන්න කියන හැම උපායක්ම ගහනවා මේක නතර කරන්න’ යැයි කියාය. එහිදී ජවිපෙට චෝදනා කරමින් අදහස් දැක්වූයේ චමින්ද විජේසිරිය.
‘ජේ.වී.පී. එක හෝගාලා ගහනවා. ලාල්කාන්ත ෆේස්බුක් එක පාවිච්චි කරන්නේම මේකට ගහන්න….’ යැයි චමින්ද කියද්දී, ‘අපේ අරමුණ පිරිසිදුයි. ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව ආණ්ඩුව මිලේච්ඡ ගමනක් යනකොට ඒ ගමනට එරෙහිව පුළුවන් හැම බලවේගයක් එක්කම අපි හිටගන්නවා…’ යන්න සජිත්ගේ ස්ථාවරය විය.
ගහන්න ලෑස්ති කරපු ගේම මෙන්න!
‘මේ වැඩේ අල කරන්න ආණ්ඩුවෙන් කල්ලියක් දාන්න යනවා කියලා ආරංචියි. ඒ අය රැස්වීමට ගහන්න පුලුවන් කියන එකත් අපි හැමෝම මතක තියා ගන්න ඕන…’ යනුවෙන් කියමින් මුජිබර් කවුරුත් නොසිතූ පැත්තක් හෙළිකිරීමට පියවර ගත්තේය.
‘මට අද උදේම ආරංචියක් ආවා ආණ්ඩුවේ අයයි, ජේ.වී.පී. එකේ අයයි මේ විරෝධතාව කඩාකප්පල් කරන්න ඒ අයගෙ කට්ටිය ඇතුළට රිංගවලා බාල්දියක් පෙරළන්න ලෑස්ති වෙනවා කියලා. මට ඒ පැත්තෙම කට්ටිය කිව්වේ මෙතන අනවශ්‍ය කලබලයක් ඇතිකරලා පොලිසියත් එක්ක ගැටුමක් හදන්න මේ අය ප්ලෑන් කරලා තියෙනවා කියලයි. ඒ වගේම විපක්ෂ නායකතුමාට ප්‍රහාරයක් එල්ල කරන්නත් මේ අය ලෑස්ති වෙනවා කියලා මට ආරංචියි. ඒ නිසා ඔබතුමා රැස්වීමට එන එක ගැන තවපාරක් හිතන්න…’ යැයි මුජිබර් කියද්දී සජිත් එකහෙළාම කියා සිටියේ ජනතාවගේ අයිතිය වෙනුවෙන් තමන් කුමන තත්ත්වයක් යටතේ හෝ පෙනීසිටින බවත්, ආණ්ඩුවේ මැරයන්ට හෝ විපක්ෂයේ සිට ජනතා ඒකරාශීවීම් වළක්වන අවස්ථාවාදී පිරිස්වල තර්ජනයන්ට තමන් බිය නොවන බවත්ය.
ආණ්ඩුව එක්ක තියෙන ඩීල් එක!
එහිදී තවත් මන්ත්‍රීවරයකු ආණ්ඩුව හා ජවිපෙ අතර පවතින රහස් ගනුදෙනුවක් පිළිබඳ විශේෂ හෙළිදරව්වක්ද මෙහිදී සිදුකළේ සියලු දෙනාම පුදුමයට පත්කරවමිනි.
‘දැන් ජේ.වී.පී. ආණ්ඩුවත් එක්ක ඩීල් එකක් දාලා විපක්ෂය එකමුතු වෙන එක කඩාලප්පල් කරන්නයි හදන්නේ. ඒකට හොඳම උදාහරණය තමයි ඒ අය ගිය සතියේ කරපු උද්ඝෝෂණය. ඒක හයිඩ් පාක් එකේ තිබ්බේ. හැබැයි ආණ්ඩුව ඒකට මොනවත් කළේ නෑ. ග්‍රවුන්ඩ් එකත් බුක්කරලා දුන්නා. ලවුඩ්ස්පීකර් දාන්නත් අවසර දුන්නා. පෙළපාළි එන්නත් අවසර දුන්නා. රැස්වීමට පොලිස් ආරක්ෂාවත් දුන්නා. අපට වගේ රැස්වීම් තියන්න එපා කියලා ලියුම් එව්වෙත් නෑ. පේනවනේ මේ අයගෙ ඩීල් එක. මේ අය දැන් දවල් මිගෙල් රෑ දනියෙල් චිත්‍රපටය රඟපානවා…’ යනුවෙන් මන්ත්‍රීවරයා කියද්දී සියල්ලෝම හිස සලා එය අනුමත කරන ආකාරය දැකගත හැකි විය.
‘මේ විරෝධතාවයට සහයෝගය ලබා නොදෙන හැම කෙනෙක්ම මේ වෙලාවේ විරෝධතාව කඩාකප්පල් කරන්න පුළුවන් හැමදේම කරනවා. ඒක අපි බලාපොරොත්තුවෙන් තමයි මේක කරන්න ඕන….’ යනුවෙන් සරත් ෆොන්සේකා කියා සිටියේය.
සජිත් ඇවිදගෙනම එයි!
ඒ අනුව සජිත් සිය මන්ත්‍රී කණ්ඩායමෙ කොටසක් කල්වේලා ඇතිවම එල්ෆින්ස්ටන් රඟහල පරිශ්‍රය වෙත පිටත් කළේය. සවස 2.15 පමණ වනවිට සජිත් විරෝධතාවයට එක් වීම සඳහා විපක්ෂ නායක කාර්යාලයෙන් පිටත් විය.
මරදාන දුම්රියපොළ අසලින් වාහනයෙන් බැසගත් සජිත් එතැන් සිට විරෝධතාකරුවන් සමග ගමන් කළේ පාගමනින්ය. කොළඹ එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වූ පාගමන කොටුව දුම්රිය ස්ථානය වෙත යාමට නියමිතව තිබුණද, ඒ වන විටත් අතිවිශාල පොලිස් බලඇණි යොදවා එය අවහිර කිරීමට ආණ්ඩුව කටයුතු යොදා තිබිණි. හරියටම විරෝධතා පාගමන ටෙක්නිකල් හන්දියේ සිට මීටර් 50ක් ගිය තැන පොලිස් බාධක යොදවා නවත්වනු ලැබීය.
සජිත් කරන්න හදපු දේ!
සජිත් ඇතුළු බොහෝ දෙනකු උත්සාහ කළේ පොලිසියේ මුහුණට මුහුණලා විරෝධතාකරුවන් වාඩිකරවීමටය. එහෙත් ඒ අතර එම ස්ථානයට ආ යම් සැකකටයුතු කණ්ඩායමක් කියා සිටියේ පොලීසිය සමග ගැටුමකට යායුතු බවය. නමුත් සජිත් ඊට විරෝධය පළ කළේය.
‘මෙතන ආරක්ෂක අංශත් එක්ක අපිට ගැටුමක් නැහැනේ. අපිට ගනුදෙනුව තියෙන්නේ ආණ්ඩුවත් එක්ක. ඒ නිසා ආණ්ඩුව එක්ක අපි ගනුදෙනුව බේරගමු…’ යැයි සජිත් පිරිසට කාරුණිකව පැහැදිලි කළේය.
‘සර්, කීප තැනක ආණ්ඩුවෙන් දාපු අය ඉන්නවා. ඒ අය අපේ විරෝධතාවට විරෝධයක් එන විදිහට වැඩේ ප්ලෑන් කරලා තියෙන්නේ. අපේ අය වගේ හැසිරුණාට ඒ අය අපේ නෙවේ, ආණ්ඩුවේ අය…’ සංවිධායකයෙක් සජිත්ට කනට කර කියද්දී යම් කල්ලියක් අවුලක් ඇති කිරීමට සැරසෙන බව සජිත්ටද වැටහිණ.
කට්ටිය කෑ ගහන්න ගනී!
විරෝධතාකරුවන් පදවාගෙන ආ ලොරි තට්ටුවකට සංවිධායකයන් ද සමග සජිත් ගොඩ වුණේ ඒ අතරය. එහෙත් ඒ වන විටත් ලොරි තට්ටුවට දරාගත නොහැකි තරම් විශාල පිරිසක් ගොඩවී සිටියහ.
‘අපි මේකෙන් බහිමු. මේක කැඩුණොත් වටේ ඉන්න අයට අනතුරක් වෙන්න පුළුවන්’ යැයි සජිත් තමා අසල සිටි දයාසිරිට කියමින් ඔහුත් සමග ලොරි රථයෙන් බැසීමට කටයුතු කළේය.
ඒ අතර විරෝධතාකරුවන් දිගින් දිගටම පොලිසියට හූ තබන්නට පටන්ගත් ආකාරයක් දැකගත හැකි වූ අතර එහි සිටි සැකකටයුතු අයෙක් ‘අන්න විපක්ෂ නායකතුමා පැනලා යනවා’ යැයි කියමින් කෑගසනු දැකගත හැකි විය.
‘එතුමා පැනලා යනවා නෙවෙයි. ලොරි තට්ටුව උඩ ඉඩ මදි නිසයි බැස්සේ…’ යනුවෙන් එය අසා සිටි මුජිබර් කෑගැසුවද විරෝධතාව ඇතුළේ සිටි සැකකටයුතු කණ්ඩායමක් දිගින් දිගටම කෑගසනු දැකගන්නට ලැබිණි.
මුජිබර් කීවාක් මෙන්ම සජිත් විරෝධතාකරුවන් අසලට පැමිණ සෑහෙන වේලාවක් රැඳී සිටියේය.
ඔක්කොම මාධ්‍ය එකම ගේමක!
කෙසේ වෙතත් මෙම කලබලය සිදුවී මොහොතක් යෑමට මත්තෙන් දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ආණ්ඩුවේ මාධ්‍ය පමණක් නොව ආණ්ඩුව සමග සිටින පෞද්ගලික මාධ්‍ය බොහොමයක්ද, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලවලද සජිත්ට විරෝධතාවයේදී ‘හූ’ තැබූ බවට එකම ආකාරයේ ප්‍රවෘත්තියක් පළවීමය. එම ප්‍රවෘත්ති පළවූ ආකාරය දුටු විට ඒවා එකම මූලාශ්‍රයකින් ගොස් තිබූ ආකාරයක්ද දැකගත හැකි විය.
මුජිබර් රංගේට උත්තර දෙයි!
විරෝධතාවයේදී සජිත් ඇතුළු පිරිසට විරෝධයක් එල්ල වුණ බව පවසමින් එජාපයද උද්දාමයට පත් වූ බවක් පෙනෙන්නට තිබුණේ එහි මහලේකම් රංගේ බණ්ඩාර කර තිබූ ප්‍රකාශයකිනි. ඔහු කියා සිටියේ මෙය විපක්ෂ නායක තනතුරට නිගරුවක් හෙයින් වහාම විපක්ෂ නායකතුමා ඉල්ලා අස්විය යුතුයි කියාය. රංගේගේ කතාවට උත්තර දුන්නෙ මුජිබර් රහුමාන්ය.
‘මැතිවරණ තිස් ගානක් පැරදිලා, ජාතික ලැයිස්තුවක ආසනයකට වැටිලා, ඒත් පින් ආසනෙන් ජනාධිපතිකම ගත්ත පුද්ගලයෙක්ගේ පක්ෂයෙන් මහලේකම් විළිලැජ්ජාවක් නැතිව විපක්ෂ නායක තුමාට අස්වෙන්න කියනවා. එහෙම කියන මිනිහටවත් පාර්ලිමේන්තුවට එන්න බැරි වුණා….’ යනුවෙන් මුජිබර් ඊට උත්තර දී තිබිණි.
විපක්ෂයේ මාධ්‍ය හමු!
ඒ අනුව ඊට පසුදින විරෝධතාවයේදී සිදුවූ සත්‍ය සිදුවීම රටට හෙළිකිරීම සඳහා මාධ්‍ය සාකච්ඡා කිහිපයක්ම පැවැත්විණි. එහිදී විරෝධතාව සංවිධාන කළ පිරිස් අතර සිටි රංජිත් මද්දුමබණ්ඩාර, මුජිබර් රහුමාන්, දුමින්ද නාගමුව, ජෝෂප් ස්ටාලින් පැහැදිලිවම කියා සිටියේ ආණ්ඩුව සහ ආණ්ඩුව සමග සිටින විවිධ පිරිස් මෙම සිදුවීම පසුපස සිටි බවය.
සජිත් උත්තර දෙයි!
ඊට පසු දින සජිත් පාසල් දෙකකට බස් රථ දෙකක් පරිත්‍යාග කළේය. පෙර දින විරෝධතාවයේ තත්ත්වය පිළිබඳ ඔහු එහිදී ද අදහස් දැක්වීය.
රටේ ජනතාව මරණ මංචකයට තල්ලු කරමින් සිටින, මර්දනකාරී දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව සියලු බලවේග එක්තැන් කරමින් සටන් කරන බවත්, ඒ හරහා රටට ජයග්‍රහණ අත්පත් කරදෙන බවත් සජිත් පැවැසීය.
රටේ තරුණ පරපුර මර්දනය කරමින්, ජන ජීවිත පීඩනයෙන් පීඩනයට පත්කරමින් ආණ්ඩුව හිතුවක්කාරී ගමනක් යමින් සිටින බව පැවසූ සජිත්, ඊට එරෙහිව අරගල කරන බවද පැවැසීය.
විරෝධතා දැක්වීමට, නිදහසේ ගමන් කිරීමට ඇති අයිතිය කිසිවකුට උල්ලංඝනය කළ නොහැකි බව පැවැසූ සජිත් සාමකාමී, ශිෂ්ටසම්පන්න විරෝධතාවක් සිදුකරමින් ආදර්ශයක් ලබාදුන් බවද පැවැසීය.
බෙදුණු වතුකරය එකතු කරයි!
සාමාන්‍යයෙන් වතුකරය සැලකෙන්නේ තොණ්ඩමන් පරපුරේ දේශපාලන අධිරාජ්‍යය ලෙසය. එහි ආරම්භක සාමාජිකයා වූයේ සෞම්‍යමූර්ති තොණ්ඩමන්ය. ඔහු එදා පටන් වතුකරය ඇතුළේ කෙතරම් ප්‍රබල චරිතයක් වූවාද කියනවා නම් දකුණේ ආණ්ඩු තනන්නට තොණ්ඩමන් නැතිවම බැරි චරිතයක් විය. ඒ නිසා තොණ්ඩමන් රට ඇතුළේ ප්‍රසිද්ධ වූයේ දකුණේ ‘රජුන් තනන්නා’ ලෙසටය. එකල වතුකරයේ තොණ්ඩමන්ට අභියෝග කළ හැකි කිසිදු චරිතයක් නොවීය.
තොණ්ඩමන්ගේ අභාවයෙන් පසු වතුකරයේ මේ දේශපාලන බලය අතට ගත්තේ වෙන කවුරුවත් නොව තොණ්ඩමන්ගේ පුත් ආරුමුගම් තොණ්ඩමන්ය. ආරුමුගම් තොණ්ඩමන්ද සිය පියාගේ දේශපාලන හයිය ගෙන දකුණේ ආණ්ඩු කිහිපයක් තැනීය. මේ නිසාම ආරුමුගම් තොණ්ඩමන්ගේ මුල් කාලයේදීද ඔහුට අභියෝග කරන්න කිසිදු දේශපාලන චරිතයක් වතුකරයේ බිහිවුණේ නැත. නමුත් තොණ්ඩමන්ගේ අවසන් කාලයේදී වතුකරයේ තොණ්ඩමන්ලාගේ දේශපාලන අධිරාජ්‍යයට අභියෝග කරන්නට දේශපාලන චරිතයක් බිහිවිය. ඒ, පලනි දිගම්බරම්ය. නමේ හැටියටම සිහින් උස සිරුරක් හිමි දිගම්බරම් තොණ්ඩමන්ලාගේ දේශපාලන අධිරාජ්‍යයට ඉතා කෙටි කලක් ඇතුළත අභියෝග කළා පමණක් නොව පළමු වතාවට තොණ්ඩමන්ලාගේ ‘රජුන් තනන්නා’ භූමිකාව අවසන් කරමින් තොණ්ඩමන්ලා නැතිව දකුණේ ආණ්ඩු පිහිටුවන්නටද පියවර ගත්තේය. ඒ, 2015 යහපාලන ආණ්ඩුව පිහිටුවමින්ය. ඒ අනුව එදා සිට වතුකරය දේශපාලන අතින් දෙකට බෙදිණි. තොණ්ඩමන්ලා හා දිගම්බරම්ලා දේශපාලන වෛරක්කාරයන් බවට පත්වූ අතර තොණ්ඩමන්ලා රාජපක්ෂවරු සමගත්, දිගම්බරම්ලා සජිත් පිල සමගත් දේශපාලනය කරනු ලැබූහ. තොණ්ඩමන්ලා ආණ්ඩු පිහිටුවන විට දිගම්බරම්ලා විපක්ෂයට ගියහ. දිගම්බරම්ලා ආණ්ඩු පිහිටුවන විට තොණ්ඩමන්ලා විපක්ෂයට ගියහ.
සජිත් ඔක්කොටම කතා කරයි!
කෙසේ වෙතත් වසර ගණනාවක් තිස්සේ පැවැති මේ දේශපාලන ආරෝව අවසන් කිරීමට පසුගිය සතියේ විපක්ෂයේ ප්‍රබල චරිතයක් නායකත්වය ගත්තේය. ඒ වෙන කවුරුවත් නොව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය. සජිත් පසුගිය සතියේදී සිය දේශපාලන සගයා වූ දිගම්බරම් පක්ෂ කාර්යාලයක් ආරම්භ කිරීමේ උත්සවයකට වතුකරයට පැමිණි අතර එහිදී ඊට දිගම්බරම්ගේ දේශපාලන ප්‍රතිවාදියා වූ ජීවන් තොණ්ඩමන්ටද ආරාධනා කරන ලෙස දැනුම් දී සිටියේය. ඒ අනුව දිගම්බරම්, ජීවන්ටද එම අවස්ථාවට පැමිණෙන ලෙස ආරාධනා කර සිටියේය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පරණ දේශපාලන කෝන්තර පසෙක දමා එම ආරාධනාව පිළිගැනීමට ජීවන් පියවර ගත්තේය.
ඉන්දීය මහකොමසාරිසුත් ඇවිත්!
මීට අමතරව මෙම අවස්ථාවට තවත් විශේෂ පුද්ගලයෙක්ද එක්ව සිටියේය. ඒ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාය. ඒ අනුව සජිත්, දිගම්බරම්ගේ දේශපාලන කාර්යාලය විවෘත කරන අවස්ථාවේදී දමිළ නායකයන් වන මනෝ ගනේෂන්, දිගම්බරම්, ජීවන් තොණ්ඩමන් සහ ගෝපාල් බාග්ලේ එක පේළියට සිටි ආකාරයක් දැකගත හැකි විය. බොහෝ දෙනා එය හඳුන්වා තිබුණේ වතුකරයේ සිදුවූ දේශපාලන පෙරළියක් ලෙසටය.
මොකද බන් වුණේ!
කෙසේ වෙතත් මෙසේ වතුකරයේ දේශපාලන චරිත සියල්ලම එක පෙළට සජිත් සමග සිටින ඡායාරූප මාධ්‍යවල පළවීමත් සමග පුදුමයට පත්වූ මහින්දට හිතවත් හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු දිගම්බරම්ට දුරකතන ඇමතුමක් ලබාදී මේ පිළිබඳ විමසා සිටීමට පියවර ගත්තේය.
‘මොකක්ද බන් මේ වෙලා තියෙන්නේ. උඹයි තොණ්ඩමනුයි හැමදාම දෙපැත්තකට වෙලා දේශපාලනය කරපු එවුන්නේ. කොහොමද මේ එකපාරටම දෙන්නම සජිත් එක්ක එක ස්ටේජ් එකට ආවේ…?’ යැයි හිටපු ඇමැතිවරයා විමසද්දී දිගම්බරම් ඊට සිනාසෙමින් උත්තර දුන් ආකාරයක් දැකගත හැකි විය.
‘නෑ නෑ ඉස්සර තමයි අපි ගහගත්තේ. ජීවන් එහෙම කෙනෙක් නෙවෙයි. ජීවන් අලුත් විදියට හිතන අලුත් තාලෙට හැදුණු කෙනෙක්. ජීවන් එක්ක අපට එකට වැඩ කරන්න පුළුවන්. අපි දෙන්නම හදන්නේ අපේ ජනතාවට වැඩක් කරන්න. දැන් ඒකට චාන්ස් එක ඇවිත් තියෙන්නේ….’ යන්න දිගම්බරම් දුන් උත්තරය විය.
මහින්දටත් පණිවුඩය තියයි!
කෙසේ වෙතත් දිගම්බරම්ගේ මේ පිළිතුරෙන් අතිශය පුදුමයට පත්වූ මෙම හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා ඊට පසුදිනම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ගොස් මෙම පුවත මහින්දට දැනුම් දීමට පියවර ගත්තේය. ඔහු කියා සිටියේ වතුකරය මේ වන විට පරණ පුරුදු තරහ මරහ අමතක කොට එකතුවීමට සූදානමින් සිටින බවය.
IMF සල්ලි ගැන කියපු කතා!
රට තුළ මතුව ඇති උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතුවේ මීට මාස 6කට පමණ පෙරාතුවය. ඒ සඳහා ආරම්භය ගනු ලැබුවේ එවක මුදල් අමාත්‍යවරයාව සිටි අලි සබි්‍ර මහතාත්, මුදල් අමාත්‍යාංශ ලේකම් සිරිවර්ධන මහතාත්, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාත්ය. එහිදී මේ තිදෙනාම අමෙරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කාර්යාලයට ගොස් ඊට අදාළ ලිපි ලේඛන භාරදීමට පියවර ගත්හ.
සල්ලි දෙසැම්බරයේ එනවා!
ඒ අනුව මීට මාස 3කට පමණ ඉහතදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ කණ්ඩායමක් ලංකාවට පැමිණීමට පියවර ගත්හ. එසේ පැමිණි මේ කණ්ඩායම ආණ්ඩුවේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට පියවර ගත්හ. ඒ සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේ ලබන දෙසැම්බරය පමණ වන විට මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලංකාවට ලබාගත හැකි වනු ඇතැයි කියාය. මෙරට මාධ්‍ය කිසිදු සොයාබැලීමකින් හෝ වගවිභාගයකින් තොරව නන්දලාල් කී මේ කතාවට විශාල ප්‍රචාරයක් ලබාදීමට පියවර ගත්තේය. තවද මහබැංකු අධිපතිවරයා පමණක් නොව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ද ප්‍රසිද්ධියේ කියා සිටීමට පියවර ගත්තේ මූල්‍ය අරමුදලේ සාකච්ඡා අතිසාර්ථක බවත්, මේ වසර අවසන් වීමට ප්‍රථම එම මුදල් ලංකාවට ලැබෙනු ඇති බවත්, ඉන් පසු රටේ ආර්ථිකය යහපත් වනු ඇති බවත්ය.
බෲවර් ඇත්ත කියයි!
කෙසේ වෙතත් මහබැංකු අධිපතිවරයාත්, ආණ්ඩුවේ මැති ඇමැතිවරුත් මෙසේ කියා සිටියත් අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ කිහිප වරක්ම අවධාරණය කර කියා සිටියේ දෙසැම්බර් මාසය වන විට කිසිසේත්ම මූල්‍ය අරමුදලේ මුදල් ලංකාවට නොලැබෙන බවකි. ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගත වනු ඇති බවත්, බරපතළ කොන්දේසි ගණනාවක් ආණ්ඩුවට ඉටුකරලීමට සිදුවනු ඇති බවත් අපි එහිදී සඳහන් කළෙමු. අප ඒ සියලුම තොරතුරු වාර්තා කළේ විවිධ මූලාශ්‍ර ඔස්සේ අප වෙත ලැබී තිබුණු අතිශය විශ්වසනීය තොරතුරු පදනම් කරගෙනය. අප කළ එම අනාවරණය තහවුරු කරමින් මෙරටට පැමිණි මූල්‍ය අරමුදලේ කණ්ඩායම් ප්‍රධානියා වූ පීටර් බෲවර් මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ලංකාවට ණය ලබාදීම සම්බන්ධ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බවත්, එම සාකච්ඡා අවසන් විය හැකි කාලසීමාවක් නිශ්චිත වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බවත්ය. බෲවර්ගේ එම ප්‍රකාශය හරහා අප කළ ප්‍රකාශය තහවුරු වූවා පමණක් නොව නන්දලාල් සහ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කළ ප්‍රකාශයන් අසත්‍ය ඒවා බව තහවුරු විය.
දාපු ලොකුම කොන්දේසිය!
මීට අමතරව මූල්‍ය අරමුදල තවත් බරපතළ කොන්දේසියක්ද ලංකාවට ඉදිරිපත් කළේය. ඒ, ලංකාවට ණය ලබාදීමට නම් ලංකාවේ ප්‍රධාන ණය හිමියන් වූ චීනය හා ඉන්දියාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කළ යුතු යැයි කියාය. එම අවස්ථාවේ බොහෝ දෙනා සඳහන් කොට සිටියේ මූල්‍ය අරමුදල නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තව ටිකක් ඉල්ලුවා හා සමාන යෝජනාවක් ඉදිරිපත් කොට ඇති බවකි. ඊට හේතු වී තිබුණේ ඒ දක්වා චීනය සිය ණය ලබාදීමේ ඉතිහාසය තුළ කිසිදු රටක් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කිසිදු වැඩපිළිවෙළකට ගොස් නොතිබූ නිසාය.
රනිල් සියඹලාණ්ඩුවේදී කියපු දේ!
මෙසේ තිබියදී මීට සති දෙකකට ඉහතදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියඹලාණ්ඩුවේ ගොවි බිමකට ගොස් කුඩා දරුවන් සමග හිඳිමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමට පියවර ගත්තේය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ තමන් චීන මුදල් අමාත්‍යවරයා සමග දුරකතන සාකච්ඡාවක නිරත වූ බවත්, එහිදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, එම සාකච්ඡා සාර්ථක වූ බවත්ය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉතා ඉක්මනින් ණය ආධාර ලැබෙනු ඇති බවට යම් ඉඟියක්ද මෙහිදී ජනාධිපතිවරයා ලබා දුන් අතර ඊටද මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබාදුන් ආකාරයක් දැකගත හැකි විය.
අපි ඇත්ත කිව්වා!
කෙසේ වෙතත් පසුගිය සතියේ අපි මේ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් සිදුකරමින් ජනාධිපතිවරයා කළ එම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ පෙන්වා දීමට පියවර ගත්තෙමු. එහිදී අප මෙරට චීන තානාපති කී ෂෙන් හොන්ග් මහතා උපුටා දක්වමින් කියා සිටියේ චීන තානාපති කාර්යාලය ආණ්ඩුව දිගින් දිගටම කළ ඉල්ලීමකට අනුව මෙම දුරකතන සංවාදය සූදානම් කර තිබූ බවත්, එහිදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීන මුදල් ඇමැතිවරයා කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවත්ය. ඒ අනුව ජනාධිපතිවරයා කළ එම ප්‍රකාශයද අර්ධ සත්‍යයකින් යුතු එකක් බව තහවුරු විය.
චීන මුදල් ඇමැතිට තනතුර නැතිවෙයි!
එමෙන්ම මුලදී මෙම දුරකතන සංවාදය පැවැත්වීමට චීන තානාපති කාර්යාලය මැදිහත් වූ බව කියවුණද අප වෙත ලැබී ඇති නවතම තොරතුරුවලින් කියැවෙන්නේ ඒ සඳහා ආණ්ඩුව සමග මෙන්ම චීන මුදල් ඇමැතිවරයා සමගද සමීප සබඳතා පවත්වන ව්‍යාපාරිකයන් කිහිප දෙනකුද මෙම සාකච්ඡාව සංවිධාන කිරීමේ තිරය පිටුපස මෙහෙයුම්වල සිට ඇති බවකි. නමුත් ඒ කොයි හැටි වෙතත් ජනාධිපතිවරයා සමග දුරකතනයෙන් සාකච්ඡා කොට චීන මුදල් ඇමැතිවරයාට සති දෙකක්වත් සිය ධුරයේ කටයුතු කිරීමට ඉඩ ලැබුණේ නැත. ඒ, තුන්වැනි වරටත් චීන ජනාධිපතිවරයා ලෙස තේරීපත් වුණු ෂී ජින්පින් මහතා එතෙක් මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කළ ‘ලියු කුන්’ මහතා එම තනතුරින් ඉවත් කොට නව මුදල් අමාත්‍යවරයකු පත්කිරීමට පියවර ගැනීම හේතුකොටගෙනය.
මිලින්දත් ෆේල්!
චීනය මේ අයුරින් ලංකාවට සමග ගනුදෙනු කරද්දී ලංකාවේ ඊළඟ ප්‍රධාන ණය හිමියා වන ඉන්දියාවේ හැසිරීමද මේ හා සමාන ස්වරූපයක් ගෙන ඇති බව මේ වන විට දැකගන්නට තිබේ. අප පසුගිය සතියේද මේ පිළිබඳ විශේෂ අනාවරණයක් සිදුකරමින් කියා සිටියේ ජනාධිපතිවරයා මේ වන විට ධුරයට පත්වී මාස 4කට වඩා වැඩි කාලයක් ගතවී තිබුණද තවමත් ජනාධිපතිවරයාට ඉන්දියාවට පැමිණෙන ලෙස නිල ආරාධනාවක් එරටින් සිදුකොට නොමැති බවකි. අවස්ථා ගණනාවකදීම මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කිරීමට ආණ්ඩුව පාර්ශ්වයෙන් පියවර ගෙන තිබුණද ඊට තවමත් ඉන්දියාව පැත්තෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද අපි එහිදී පෙන්වා දුන්නෙමු. මේ හේතුව නිසාම ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා වන මිලින්ද මොරගොඩ මහතා පසුගිය සතිය වන විට මෙම මෙහෙයුමට එක්ව තිබූ බවත්, තමන්ගේ පෞද්ගලික සබඳතා ප්‍රයෝජනයට ගනිමින් මෝදි හා රනිල් අතර සාකච්ඡාවක් සංවිධාන කිරීමට සාකච්ඡා ආරම්භ කොට ඇති බවත් අපි එහිදී කියා සිටියෙමු.
ඒ අනුව අප මෙවර අනාවරණය කරන්නේ මෙම සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳවය. ඉන්දියාවෙන් අප වෙත ලැබෙමින් පවතින තොරතුරුවලින් කියැවෙන්නේ මිලින්දගේ උත්සාහයද මේ වන විට අසාර්ථක වී ඇති බවය. එනම් විවිධ සම්බන්ධතා උපයෝගී කරගෙන මිලින්ද අදාළ සාකච්ඡා සඳහා වේලාවක් ලබාගැනීමට උත්සාහ කළද ඊට ඉන්දියාව පාර්ශ්වයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් මේ දක්වා ලැබී නොමැති බවය.
සාගල හොරෙන්ම නවදිල්ලියේ!
ඒ අනුව මෙම තත්ත්වය වාර්තා වීමත් සමග පසුගිය සතියේ ආණ්ඩුව පැත්තෙන් තවත් අලුත්ම මෙහෙයුමක් ‘හොර රහසේ’ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබිණි. ඒ, ජනාධිපතිවරයාගේ උපදේශකයකු වන සාගල රත්නායක මහතා හදිසියේම නවදිල්ලි නුවර සංචරයක නිරත වීමය. අප මෙය හොර රහසේ සිදු කළ සංචාරයක් ලෙස සඳහන් කළේ සාගලගේ මෙම නවදිල්ලි ගමන ගැන අඩුම වශයෙන් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් හෝ ඉන්දියාව පාර්ශ්වයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීමට කටයුතු කර තිබීම හේතුවෙන්ය. අවම වශයෙන් සාගල නවදිල්ලියට පැමිණෙන බවක් ඉන්දීය මහකොමසාරිස් මිලින්ද මොරගොඩ හෝ දැනුවත්ව නොතිබීමද මෙහිදී දැකගන්නට තිබූ විශේෂම කාරණය විය.
ඉහළ පෙළේ කවුරුත් හමුවී නෑ!
ඒ අනුව සිය හදිසි නවදිල්ලි ගමනේදී සාගල ඉන්දීය විදේශ ලේකම් විනෙයි මොහාන් ක්වාත්‍රා මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් ගණනාවක් සමග සාකච්ඡා කිරීමට පියවර ගෙන ඇත. මෙම සාකච්ඡාවලදී ඉන්දීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙන්ම ජනාධිපතිවරයාට හමුවීම සඳහා මෝදිගෙන් වේලාවක් ලබාගැනීම යන මාතෘකාද කතාබහට ලක්වී ඇති නමුත් ඒ දෙකටම එතරම් පැහැදිලි උත්තරයක් ඉන්දියාව පාර්ශ්වයෙන් ලැබී නොමැති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
මිලින්ද කලකිරෙයි! අයින්වෙන්න ලෑස්තියි!
කෙසේ වෙතත් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වන මිලින්ද මඟහැර සාගල මෙම සාකච්ඡා පැවැත්වීම හරහා මේ වන විට අලුත් අර්බුදයක් නිර්මාණය වී තිබේ. ඒ, තමාට නොදන්වා සාකච්ඡා පැවැත්වීම හේතුවෙන් මිලින්ද දැඩි ලෙස කලකිරීමට පත්ව සිටීම හරහාය. ඒ අනුව මිලින්ද මේ වන විට තීන්දු කර ඇත්තේ ඉන්දීය මහකොමසාරිස් ධුරයෙන් ඉවත් වීමටය. කොහොමත් මිලින්ද පසුගිය කාලයේදී මෙම තනතුරින් ඉල්ලා අස්වීමට සැලසුම් කර තිබූ අතර සාගලගේ සිදුවීමත් සමග එම තීන්දුව ගැනීම ඉක්මන් වී ඇති බවක් දැනගන්නට ඇත. ඒ අනුව තවත් දින කිහිපයකින් මිලින්ද සිය මහකොමසාරිස් ධුරයට ආයුබෝවන් කියා ලංකාවට පැමිණෙනු ඇති බව ආරංචිය.
රනිල්ගෙන් එළියට ආ චීන අවුල!
මේ අතර අප මෙතෙක් කළ අනාවරණයන් තහවුරු කරමින් පසුගිය සතියේදී ජනාධිපතිවරයා තේ කර්මාන්ත හිමියන් සමග පැවැති සාකච්ඡාවකදී පළමු වරට තවමත් චීනය හා ඉන්දියාව සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් වී නොමැති බැවින් මූල්‍ය අරමුදලෙන් ණය මුදල් ලැබීම ලබන වසරේ මුල් මාසය දක්වා කල් යනු ඇති බව ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළද අප හට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ මුදල් දෙන්නේද යන්න තහවුරු කිරීමට මූල්‍ය අරමුදල තවත් කාලයක් ගනු ඇති බවකි. නොඑසේ නම් එම සාකච්ඡා ලබන වසරේ අප්‍රේල්, මැයි, ජුනි දක්වා ඇදී යනු ඇති බවකි. ජනාධිපතිවරයා එළියේ කුමක් සඳහන් කළද අප වෙත ඇති තොරතුරුවලින් තවදුරටත් කියැවෙන්නේ ඒ ගැන සහතිකයක් ලබාදීමට නොහැකි බවට ජනාධිපතිවරයා ආණ්ඩුව ඇතුළේ තිබූ සාකච්ඡාවලදී ප්‍රකාශ කොට ඇති බවකි. එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්තේදී චීනය යහපත් ප්‍රතිචාරයක් මේ දක්වා ඉදිරිපත් කොට නොමැති බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
පොහොට්ටුව පිම්මකට ලෑස්ති වෙයි!
ආණ්ඩුව පැත්තේ තත්ත්වය එසේ වෙද්දී ආණ්ඩුවේ ප්‍රධානම පාර්ශ්වකරුවා වන පොහොට්ටුව පැත්තේද තත්ත්වය ඊට දෙවැනි නැත. අප එසේ කියන්නේ මේ වන විට පොහොට්ටුව ආණ්ඩුව ඇතුළේ තවත් අලුත් මෙහෙයුමක් ආරම්භ කර තිබීම හේතුකොට ගෙනය. ඒ මෙහෙයුමට නායකත්වය දී ඇත්තේ වෙන කවුරුවත් නොව පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයකු වන එස්.බී. දිසානායකය. ඒ අනුව පසුගිය සති දෙක පුරාම පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායමක් සමග සාකච්ඡා කොට ඇති එස්.බී., මේ මස ඉදිරිපත් කිරීමට නියමිත 2023 වසර සඳහා වූ අයවැයේදී පක්ෂයක් ලෙස ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගෙන ඇත.
උඩපනින ඇමැතිලාට රතු එළි!
මෙහිදී මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් පෙන්වා දී ඇත්තේ පොහොට්ටුවෙන් පැමිණි බොහෝ දෙනකු මේ වන විට ජනාධිපතිවරයා සමග එක්ව ඇමැතිකම් ගෙන පක්ෂයේ තීන්දු තීරණවලට පවා පිටින් යමින් කටයුතු කරන බවත්, ඔවුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත්ය. විශේෂයෙන්ම නිමල් සිරිපාල වැනි ඇමැතිවරුන් වෙනත් පක්ෂ නියෝජනය කළද ඔවුන්ද පොහොට්ටුව ලකුණ යටතේ තරග කර පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරුන් බවත්, මේ වන විට ඔවුන් සම්පූර්ණයෙන්ම පෞද්ගලික වාසි තකා දේශපාලනය කරන බවත් මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් මෙහිදී පෙන්වා දී තිබේ. ඒ අනුව ඔවුන් සම්බන්ධයෙන් අයවැයේදී දැඩි තීන්දුවක් ගතයුතු බව බොහෝ දෙනාගේ ස්ථාවරය විය. ඒ අනුව අවසානයේදී කණ්ඩායම තීන්දු කළේ අයවැයේදී පක්ෂයට පිටින් ගොස් කටයුතු කරන අමාත්‍යවරුන්ගේ වැය ශීර්ෂ පරාජයට පත්කිරීමට තීන්දු කිරීමය. එහිදී ඇමැතිවරුන් කිහිප දෙනකුගේම නම් කියැවුණු අතර ඔවුන්ගේ වැය ශීර්ෂ පරාජය කිරීමට බලපාන හේතුද එකින් එක එහිදී ඉදිරිපත් වූ ආකාරයක් දැකගත හැකි විය.
ඇමැතිකම් හෙට්ටු කරයි!
කෙසේ වෙතත් මෙහිදී තවත් විශේෂ තීන්දුවක්ද ගනු ලැබිණි. ඒ, රට තුළ මතුව ඇති දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් ඇමැතිවරුන්ගේ වැය ශීර්ෂ පරාජය කළද සමස්ත අයවැය පරාජය නොකිරීමටය. ඒ හරහා පොහොට්ටුවේ බලය පෙන්වීම එස්.බී.ලාගේ අරමුණ වී ඇති බවක් දැකගන්නට ඇත. ඒ අනුව දැනටමත් එස්.බී. පිල ආණ්ඩුව වෙත පණිවුඩ කිහිපයක්ම මේ සම්බන්ධයෙන් යවා ඇති බවක්ද දැනගන්නට ඇත. එහිදී ඔවුන් ආණ්ඩුවට දැනුම් දී ඇත්තේ වහාම අයවැයට පෙර ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදුකරන ලෙසත්, එසේ නොවුණහොත් අයවැයේදී පෙරළි ගණනාවක් සිදුවිය හැකි බවත්ය. ඒ අනුව මේ කියන ඇමැතිවරුන්ගේ වැය ශීර්ෂවලදී ඊට එරෙහිව ඡන්දය පාවිච්චි කරනවාද, එසේත් නැත්නම් ඡන්දය දීමෙන් වැළකී සිටිනවාද යන්න ඉදිරි දින කිහිපය තුළ තීන්දු කිරීමට එස්.බී. ඇතුළු කණ්ඩායම සැලසුම් කොට ඇති බවද දැනගන්නට ඇත.