හම්බන්තොට – සූරියවැව ප්‍රදේශයේ ජනතාව මන්දපෝෂණයෙන් පෙළෙන බව අනාවරණය කරමින් මාධ්‍යයට කරුණු ඉදිරිපත් කළ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කර තිබේ.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් ඔහුගේ වැඩ තහනම් කර ඇත.
වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපතිවරයා ලෙස වෛද්‍ය ජී.ජී. චමල් සංජීව සිදුකරන ලද මාධ්‍ය ප්‍රකාශයක් පදනම් කොට මාධ්‍ය ආයතනවලින් පළ කරන ලද ප්‍රවෘත්තියක් හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කර ඇති බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
රජයේ ලියාපදිංචි වෘත්තීය සමිති ව්‍යාපාරයක සභාපතිවරයා ලෙස ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාෂණයේ සහ එක්රැස් වීමෙ නිදහස ආරක්ෂා කරගැනීමට පවතින විධිවිධානවලට යටත්වද, ආයතන සංග්‍රහයේ ඇති වෘත්තීය සමිති අයිතිය යන පරිච්ඡේදය යටතේ පවතින අයිතිවාසිකම්වලට යටත්වද 1999 අංක 56 දරන කාර්මික ආරවුල් සංශෝධන පනතට යටත්වද, ඉන් ඔබ්බට වෛද්‍යවරයකු ලෙස මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම සඳහාද ඔහු කටයුතු කර ඇති බවද එම වෘත්තීය සමිති ව්‍යාපාරය පෙන්වා දෙයි.
මෙම වැඩ තහනම් කිරීම දැඩි ලෙස හෙළාදකින වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය මෙම තීරණය ලබාගැනීමට පෙර නිසි සුදුසුකම් සහිත පරීක්ෂණ සභාවක් හරහා කරුණු විමසා බලා විනිශ්චය කරන තෙක් මෙම තීරණය අත්හිටුවන ලෙස සෞඛ්‍ය බලධාරීන්ට දන්වා සිටී.

lankasara
වෛද්‍ය චමල් සංජීව එදා මාධ්‍ය වෙත කළ හෙළිදරව්ව.
බලධරයිනි ගමන ගිහින් බලන්න! සූරියවැව දරුවන්ගෙන් 80%කට මන්දපෝෂණය!
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍ය වරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ නියෝජිතයින් පිරිසක් විසින් පෙරේදා (19දා) සූරියවැව වල්සපුගල කොස්වගාව ගම්මානයේ ජනතාව පිළිබඳව සිදුකළ සමාජ සමීක්ෂණයකදී මේ බව අනාවරණය වී තිබේ. මෙහිදී වෛද්‍යවරුන් පිරිස විසින් ගම්මානයේ පදිංචි ජනතාවගේ නිවෙස් වෙත ගොස් එහි සිටින දරුවන්ගේ සෞඛ්‍ය තත්වය හා පෝෂණ තත්වය පිළිබඳව සොයා බැලීමක නිරත වූ අතර එහිදී අනාවරණය වූ තොරතුරුවලට අනුව වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.
අප කළ නිරීක්ෂණයේදී අපට මේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා පෝෂණ තත්ත්වයන් පිළිබඳව කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වුණා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ජනතාව සමග අපි කතා කළාම අපට අනාවරණය වුණු එක් කරුණක් තමයි ගෙවුණු මාස හයක කාලයක සිට තමයි ජනතාව මේ තත්වයට පත්වෙමින් තිබෙන්නේ කියන එක. එහිදී දෙමාපියන් අපත් සමග කිව්වේ සතියකට දවස් දෙක තුනක් තමයි කුළියකට යන්න තියෙන්නේ. ඉතින් ඒ ලැබෙන මුදල ලයිට් බිල්, වතුර බිල් ගෙවුවම ඉවරයි. ඉතුරු වෙන කීයකින් හරි බඩවියත රැකගන්න හාල් පොල් ටිකක් ගන්න කොට මස් මාලු බිත්තර ගන්න පුළුවන් කමක් නෑ කියලයි ඒඅය කියන්නෙ. මේ ගමේ ඇවිද ගිය අපට නිවෙස් දෙක තුනක් විතරයි හමු වුනේ මාසෙකට දවස දෙක තුනක්වත් බිත්තරයක් කන පවුලක්. හැමෝම කිව්වේ බිත්තර මස් මාළු කන්න තියා එදිනෙදා ජිවත්වීම පවා මේ වන විට අසීරු වී තිබෙන බවයි.
ගම්මානයේ පදිංචි වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ සෞඛ්‍ය කාඩ්පත් අප වෙන වෙනම නීරක්ෂණය කළා. එහිදී දැකගන්න ලැබුනේ දරුවන්ගෙන් සියයට තිහක් විතර මේ වන විට උග්‍ර මන්ද පෝෂණ තත්ත්වයට පත් වෙලා තිබෙන බවත්, සියයට පනහක් මද මන්ද පෝෂණ තත්වයට පත්ව ඇති බවත් ඉතිරි සියයට විස්සද මන්ද පෝෂණ තත්ත්වයට ළඟාවෙමින් තිබෙන බවයි. බොහෝ පවුල්වල දරුවන් තුන්දෙනයි. තුන් දෙනාම මන්ද පෝෂණ තත්වයේ තමයි පසු වෙන්නේ. ඉතින් ඒ ළමයි වෙනුවෙන් පවුල් සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන හරහා වෙනම ආහාර වැඩසටහන් පැවැත්වීමට උපදෙස් ලබා දී ඇති නමුත් ජනතාව පවසන්නේ ඒ සඳහා යෑමට තරම්වත් පසුබිමක් මේ පවුල් වෙත නොමැති බවයි. ඉතින් බලධාරීන් මේ වෙලාවේ කළ යුත්තේ ගමේ ඉන්න මේ දුප්පත් ජනතාවට කොහෙට හරි එන්න කියලා වැඩසටහන් කරන එක නෙමේ නිලධාරීන් ගමට ගිහින් මේ ජනතාවගේ පෝෂණ තත්ත්වය නගා සිටුවීමට අවශ්‍ය පියවර ගැනිමයි.
කොළඹ ඉදන් බොහෝ නිලධාරීන් අපි දකිනවා ගම ගැන කතා කරනවා ඇහෙනවා. අපි මේ ගමට ගියාම මේ ජනතාව පුදුම වේදනාවකින් කතා කළේ. ඒ නිසා අපි ආරාධනා කරනවා හැමෝටම එන්න මේ අසරණ මිනිස්සු වෙනුවෙන් යම් වැඩපිළිවෙළක් සකස් කරන්න මැදිහත් වෙන්න කියලත්. අපිට දැනගන්න ලැබුණා සූරියවැව ඇතැම් පාසැල්වල උදෑසන රැස්වීමේදී ළමයි විශාල ප්‍රමාණයක් නිසි පෝෂණයක් නොමැතිකම නිසා ක්ලාන්තය දමා ඇද වැටෙන බව. ඒකට හොඳම නිදසුන තමයි පසුගිය දවසේ සූරියවැව නමඩගස්වැව මහා විද්‍යාලයේ උදෑසන රැස්වීම මේ වන විට නවතා දමා තිබෙනවා දරුවන් ක්ලාන්තය හැදී බිම ඇදවැටීම නිසා. ඒ විතරක් නෙමේ පාසලේ ගුරුවරු විසින් පාසලේ වෙනම ආහාර බැංකුවකුත් පවත්වාගෙන යන බවට අපට තොරතුරු අනාවරණය වුණා. එහිදී ගුරුවරු විසින් වැඩිපුර පාසලට කෑම පාර්සලය දෙක බැගින් ගෙනත් ආහාර තබන ස්ථානයේ ගබඩා කර තබන අතර ආහාර නොමැති දරුවන්ට ඉන් කෑම පාර්ශලයක් ලබා ගැනීමට ඉඩකඩ සකස් කර තිබෙනවා. ඉතින් මේ තත්වය කඩිනමින් වෙනස් කළ යුතුයි.










