‘සරසවිය’ කියන්නේ මීට දශක කිහිපයකට පළමුව ශ්‍රී ලාංකේය සිනමා ලෝලීන් අතර උණු කැවුම් ගානට අලෙවි වුණු, නළු නිළියන්ගේ රසවත් වංහුං සපිරුණු පත්තරයක්.
ඒ වාගේම ඒ දවස්වල එහි කාගේත් සිත්ගත් හරිම ජනප්‍රිය ආටිකල් එකක්ද තිබුණා. ඒ තමයි, ‘එයා දැන් කෝ…’ කියන විශේෂාංගය. ඒ විශේෂාංගය යටතේ හැම සතියකම වාගේ ලියැවුණේ සිනමාව තුළ මහත් ආන්දෝලනයක් කොට හිටි අඩියේම නිහඬ වූ ජනප්‍රියම නළු නිළියන්ගේ පැටිකිරිය ගැනයි.
තරමක් දුර ඈත අතීතයක් ඇති ඒ ලස්සන පත්තර කතන්දරයට ඔන්න අපි මෙතැනින් තිත තියනවා. එහෙම තිත තියන්නේ වෙනත් තාලේ කතන්දරයකට ආරම්භය දෙන්නයි. ඒ කතන්දරයට මුල් වන්නේද පසුගිය කාලේ අපේ රටේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ජනප්‍රිය කාන්තාවකගේ චරිතයක් සහ ඊට අදාළ සිදුවීම් ගැනයි. චිත්‍රපටවල රඟපෑවේ නැතුවාට ඇයද එක්තරා නිළියක්. සරසවිය පත්තරය රසගැන්වූ නිළියන්ට වඩා හොඳ අපූරුවට ඇයට රඟපාන්න පුළුවන්. එලෙසම ඈ සුන්දරයි. මනලෝලයි. ඇගේ අත්ගුණයද කවුරුත් කී ලෙස සිත් වශීකරවනසුලුයි. ඒ හින්දාම වෙන්නැති ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ලෝකය, දේශපාලනය තුළ මෙන්ම යුද හමුදා බළකායන් තුළද යම් නමක් තැබූ බොහොමයක් පිරිමින් එරමිණියා ගොතමින් සුවච කීකරු ආකාරයට ඈ වටා ඉඳගත්තේ.
ඒ සියල්ල අතර හිටි අඩියේ එල්ලවූ යම් සතුරු ප්‍රහාරයක් නිසා නොසිතූ ලෙස ඈ නිහඬ වුණා. සාත්තර කලාව හොල්ලමින් ඈ කළ විජ්ජාවන් සපිරි ආන්දෝලනාත්මක රංගනයන්ගෙන් ඇය සමුගත්තා. අවසානයේ කාලි මෑණියන්ගේ දේවානුහසින් රන්මසු ගස් පිටින් සිය ගිණුම මත බැර කළ මේ ඉන්ද්‍රජාල තාරකාව ගැන කිසිදු තොරතුරක් දැනගන්න ලැබුණේ නැහැ.
ඉතින්, එදා සරසවිය හිටි අඩියේ රංගනයෙන් සමුගෙන සැඟව ගිය තරු තොරතුරු ගැන ලියන්න යොදාගත්ත ශීර්ෂ පාඨය අපි මෙතැනදී මේ තරුව වෙනුවෙන් සටහන් කරන කතාන්දරයටද එකතු කර ගන්නවා.
‘එයා දැන් කෝ…?’
කවුද මේ එයා? කා ගැනද මේ කියන්නේ?
මේ කියන්නේ ඥානක්කා ගැන. ඇත්තමයි එයා දැන් කෝ….?
අපිත් අහන්නේ ඒකයි. ඥානක්කා දැන් කෝ? ඇයට මොකද වුණේ? ඇත්තටම කියනවා නම් රතු පාට රෙදි පටියකින් ප්‍රභූ පන්තියේ වෙසෙන සුර පිරිමින්ව ඉතා සියුම්ව තම ආරූඪයට නතු කරගත්ත, දේවානුභාවයෙන් පෙරනිමිති කියන්නට උපන් හපන්කම් දැක්වූවා යැයි කියන, කාලි මෑණියන්ගේ සාස්තර දියණිය මේ තරම් ඉක්මනට තමා වෙත පැමිණි සතුරු ප්‍රහාරය හමුවේ සිය පරාජය භාර ගත්තාද?
සාමාන්‍යයෙන් පරාද වන්නේ යුද සෙන්පතියන්ය. නැත්නම් රජවරුන්ය. දේශපාලකයන්ය. එහෙමත් නැත්නම් කුමක් හෝ තරගයකට මැදිවූවන්ය. ඥානක්කාට නම් කිසිවකු සමග තරගයක් තිබුණේ නැත. කිසිවකු ඈ සමග තරග වදින්නට ආවේද නැත. අනෙක කාලි මෑණියන්ගේ අනුහසින් සාස්තර කියන අනුගාමිකයන් කවදාවත් පරදින්නේද නැත. ඒ ඔවුන් මනුස්ස වාසයට කිසි විටෙකවත් ළං වන්නට බැරි දෙව්ලොව වසන දෙවි දේවතාවුන් සමග ගනුදෙනුවල නියැළී සිටින නිසාය.
ඉතින් එහෙම බලයක් ඥානක්කාට තිබුණාද?
ඥානක්කා හිතාගෙන ඉන්නට ඇත්තේ එහෙමය. ඥානක්කා විතරක්ම නෙමේය. ඈ පසුපස දැවටී සිටින ඇගේ රතුපාට රෙදි පටියෙහි අනුහස ලබාගත් සුපිරි පිරිමිහුද එහෙම හිතාගෙන සිටියහ. ඒ කවුදැයි නමින් කිහිප දෙනකුව හඳුන්වා දෙනවා නම් හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පරපුර සහ තවත් අභීත යුද සෙන්පතියකු වූ කමල් ගුණරත්න යන පිරිස මෙතැනදී දැක්විය හැකිය.
සංවේදී මානසිකත්වයක් ඇතැයි සිතන්නට අපහසු ප්‍රසිද්ධ සමාජය නියෝජනය කරන එතරම් රළු පිරිමි සමූහයක් ඥානක්කා වටා ගොඩනැගුණේ ඇගේ දේවානුභාවයේ යම් සත්‍යතාවක් තිබුණු නිසා වෙන්නට බැරිද?
එහෙම බලයක් තිබුණා නම් ඒ සතුරු උවදුර තමා වෙත එදා එන බව ඥානක්කාට දිවැසින් නොපෙනුණේ ඇයි? පැමිණෙන සතුරන්ගේ දෙපා කොර වේවා, දෑත් ගල් වේවා, උන් තැනම ඔවුන් ඉද්ද ගැසුවා සේ පොළොව මත හතර ගාතේ දා වැටේවා කියා ඥානක්කාට පතන්නට තිබුණා නොවේද?
ගිනි ඇවිළී ගිය සිය මහල් මන්දිර මත කාලි මෑණියන්ට කියා හදිසියේ ඇතිවන ධාරානිපාත වර්ෂාවක් වස්සවන්නට ඇය යාතිකා නොකළේ ඇයි?
සියල්ල එහෙම වූයේ තමා කාලි මෑණියන් මැවූ දුවක යැයි ඈ විසින්ම කියාගන්නා ඥානක්කාට කිසිම බලයක් නැති නිසා නොවෙයිද?
කොහොමත් සියලු විනාශයන් සිද්ධ වූ පසු ඥානක්කා ෆේස්බුක් එකේ පෝස්ට් කිහිපයක්ම නිර්මාණය කොට තිබිණි.
‘මම කාටවත් වෛර කරන්නෙ නැහැ පුතේ. මේ අපරාධය මට කරපු උන්ට සාප වේවා…’ කියලා මතුරන්න මට යන්නේ තත්පර ගානයි. ඒක කරන්න අණ දුන්න අයට වාගේම ගිනිතිබ්බ අයවත් මට පේනවා. මට ඒ අයව දැනෙනවා. හැබැයි කාලි මෑණියෝ මට දුන්න සාස්තර අනුහසට වෛරය පලිගැනීම එකතු කරලා ඒ දේවානුභාවය අපවිත්‍ර කරන්න මට ඕනෙ නැහැ. ඒ නිසාම මට උන්දැලා නොදැන කරපු ඒ පාපයට සමාව දෙනවා…’
ඒ ඈ කළ එක් ප්‍රකාශයකි.
‘නැවතුණු තැනින් ආයෙම සාස්තර කලාව ආරම්භ කරන්න අදහසක් තිබේදැ’යි ඥානක්කා සමග ෆේස්බුක් කතාවක් තුළ එක් තරුණයකු අසන විට,
‘කිසිම දෙයක් නැවතුණේ නැහැ. මේක මට කරපු පුංචි සරදමක් විතරයි පුතේ. හැබැයි මට ඒ ගැන අබ ඇටේකවත් රිදුමක් නැහැ. ආයෙ හැම දේම පටන්ගන්න කාලි මෑණියෝ මට දෙන අනුහස දකිනකොට මට වින කරන්න හිතූ අසරණයන්ට දැනේවි. ඇයි අපි එතැනට අත තිබ්බේ කියලා…’ යනුවෙන් ඇය පිළිතුරු දී තිබිණි.
ඇගේ ඒ පාරට්ටු කතාව අනුව නම් නැවත ඇගේ සාස්තර මන්දිරයට කාලි මාතාවගේ අනුහසින් ඉදිවෙන්නට තිබූ කාලය දැන් හොඳටම ඇතිය. කවුරුත් හිතුවේ ඥානක්කා මවාපෑ බලයේ හැටියට දවස් හතෙන් හෝ දවස් දාහතරකින් හෝ විසිඑකකින් ඈ තම සාස්තර මන්දිරය නැවත ගොඩනගනු ඇතැයි කියාය. නමුත් සාස්තර මන්දිර ගොඩනගනවා තියා ඥානක්කාව දකින්නටවත් නැත. අඩුම තරමේ තම නාමය කොතැනක හෝ ඇසේවිය යන ඉඟියක්වත් ඇය ප්‍රසිද්ධියේ සටහන් කොට හෝ ප්‍රකාශ කොට නැති බව පමණක් පෙනෙන්නට ඇසෙන්නට ඇත.
‘හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු…’
ඥානක්කාගේ නිහඬ බව තුළ ඇත්තේ එහෙම තියරි එක් වෙන්න බැරිද…?’
සමහර තැන්වලදී සමහර දෙනා එහෙව් තියරි මැද කලඑළියට වඩිති. හැබැයි ඥානක්කාට එය අදාළ වේද කියන්නට බැරිය.
ඥානක්කාගේ මේ තද නිහැඬියාවට හේතුව අරගලකරුවන්ගේ හදිසි ප්‍රහාරය හමුවේ ඇතිවූ බියද? එහෙමත් නැත්නම් නැවතත් තම සාස්තර කලාව කාලි අම්මාගේ පිහිට ආරක්ෂාවෙන් ගොඩනගා ගැනීමට ඈ තුළ වන ආත්ම විශ්වාසය වියැකී යෑම නිසාවෙන් ඈ මෙලෙස වහංවී ඉන්නවාද?
දෙවැනි කාරණය පළමු කාරණයට වඩා බලගතු විය හැකිය. එහෙම කියන්නේ ඇයි කියා පෙන්වන්නට පුළුවන් හොඳම හේතු සාධකයක්ද මේ…?
ඒ, ‘එයා දැන් කෝ?’ කියා සිනමා පත්තරයකින් කලබලයක් ඇතිකොට විටමින් එකක් දුන් පසුව නිළියෙක් හෝ නළුවෙක් නැවත රඟන්නට එන පරක්කුවට කඩාබාන්දු වූ සාස්තර කලාව ගොඩනගන්නට ඉන්ද්‍රජාල මවා පෙන්වූ ඥානක්කා වැනි සුකොමල පන්නයේ සාස්තර අම්මණ්ඩි කෙනකුට බැරිය. නළුවකුට නළියකට කලාව පිහිටන්නේ ඇඟෙන්මය. ඥානක්කාගේ සාස්තර කලාව ඇයට පිහිටියේ ඇඟෙන්ම යැයි සිතන්නට බැරිය. ඊට හේතුව ඇගේ සාස්තර කලාව බොහෝ විට ජනප්‍රිය වූයේ හයිරංකාරයන්ගේ ඩීල් මතය. කාලි මාතාවගේ නම ගාවාගෙන ඈ ගෙනගිය ඒ සරුවපිත්තල සාස්තර කලාව සිය අනුගාමිකයන් තමා වෙත නතු කරගන්නා බන්ධනයක් මිස පූජනීයව එහි සිදුවූ යමක් නැති බව පසුගිය දවසක සිදුවූ සංසිද්ධීන් සමග පැහැදිලිවම පෙනෙන්නට විය.
ඒ නිසා නළු නිළියන් නැවත රඟන්නට පැමිණ එයා දැන් කෝ කියන ප්‍රශ්නයට උත්තර දුන්නාට මැජික් පෙන්වා තමා වෙත පැමිණි ගනුදෙනුකාර භවතුන්ට ඇස් බැන්දුම් කරපු මේ සාස්තරකාරියට එතරම් හපන්කමක් කරන්න බැරිය. අනෙක සාස්තර කලාව ගොඩනගනවා තියා තමාගේ සාස්තර කලාව අවංකයි නම් එහි කාලි අම්මාගේ බලයක් වේ නම් ඇයට සමාජ මාධ්‍යයක් හරහා හෝ තමා ගැන යමක් කියන්නට ඉඩ ඕනෑ තරම් තිබිණි. නමුත් ඇය එවැන්නක්වත් නොකොට නිහඬව සිටින කාරණය කුමක්දැයි දන්නේ නැත. පමණට වඩා වූ ඇගේ මේ නිහඬ බවෙහි පසුබිම මොන තරාතිරමකටදැයි කියා වුවද අනුමාන කරන්නට බැරිය. ඥානක්කාගේ නිහඬ බවෙහි රහස කුමක්ද?
ඈ ඉච්ඡා භංගත්වයට පත්වෙලාද?
කාලි මෑණියන්ගේ ආරූඪයෙන් ඈ මෙතෙක් ලැබූ සාස්තර ආනුභාවයෙහි විශ්වාසය ඈ වෙතින් ගිලිහී ගිහින්ද?
එහෙමත් නැතිනම් ඈ වෙනස්ම තාලේ ඇස්බැන්දුමකට රහසේ සැරසෙනවාද?
කිසිවක් ‘මෙන්න මේක’ යැයි ඇඟිල්ලෙන් පෙන්වා සපථ කළ නොහැකිය. හැබැයි එකක් නොකියා බැරිය.
‘එයා දැන් කෝ…?’ කියන ප්‍රශ්නය ඥානක්කාට අදාළව අහන එකට නම් සාධාරණ හේතු බොහොමයක් ඇති බවය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු










