දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා ලන්ඩනයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අතර හමුවක් ඊයේ (20) පැවැත්විණි.
පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.
පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජේම්ස් ක්ලෙවලි මහතා (James cleverly) විසින් චර්ච් හවුස්හි දී සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 18 වැනිදා එක් වූ අතර එහිදී ලෝක නායකයින් සමග සුහදව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසිණි.
මේ අතර ලන්ඩන් නුවරට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) පස්වරුවේ ලන්ඩනයේ බෞද්ධ විහාරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.
අනතුරුව මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක, ලන්ඩන් බෞද්ධ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝගොඩ සීලවිමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.
පූජ්‍ය බෝගොඩ සීලවිමල නායක හිමිපාණන් වහන්සේ මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආශිර්වාද පළ කළහ.
ජනාධිපති මාධ්‍ය අංශය
2022-09-21










