අත්අඩංගුවට ගන්නා ලෙසට වරෙන්තු නිකුත් කර ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නාරාහේන්පිට පිහිටි ලංකා පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි.
සේනාරත්න මහතා පසුගිය කාලයේදී සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී හෘදය සැත්කමකට මුහුණ දුන් අතර නිරතුරුව පරීක්ෂණයන් සිදුකර ගන්නා ලෙසට ඒ මහතාට වෛද්‍ය උපදෙස් ලැබී තිබිණ.
ඒ අනුව සේනාරත්න මහතා මේ වනවිට ලංකා රෝහලේ නේවාසිකව සිටින බව එම නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි.
ඉකුත් යහපාලන ආණ්ඩු සමයේදී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන තිබියදී මතුවූ හදිසි රෝගී තත්ත්වයක් මත ලංකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගත් අතර ඒ අයුරින්ම යමින් සේනාරත්න මහතාද මෙසේ ලංකා රෝහලේ නේවාසිකව සිටින බව ද දැනගන්නට ඇත.










