ගිනිගත්හේන හැටන් පාරෙ දියගල හන්දියෙන් හැරිලා ආව අපි මීදුම අතරින් නෝර්ටන් බි්‍රජ් නගරය පහුකරනකොට වෙලාව හරියටම උදේ අටයි. ජනාකීර්ණ බවින් අඩු හින්දම නගරය පුරා තිබුණෙ තරමක පාළු ගතියක්. ඒත් නගරය මැද්දෙ ඉදිකරලා තියෙන ස්මාරකය ළඟ කීප දෙනෙක් නැවතිලා ඡායාරූප ගන්නවා. ලංකාවේ සිදුවුණු බිහිසුණුම ගුවන් අනතුර සිහිගන්වන ස්මාරකය තමයි ඒ. 1974 අවුරුද්දෙදි සප්ත කන්‍යා කන්දේ හැප්පිලා 191 දෙනෙකුට මරු කැඳවමින් අනතුරට පත්වුණු ගුවන් යානයේ රෝදයක් සහිතව හදලා තියෙන ස්මාරකය මේ පාරෙන් ශ්‍රී පාදය පැත්තට යන ඕනැම කෙනෙක් දැකලා ඇති. අද අපේ ගමනාන්තය නෝර්ටන් බි්‍රජ් නම් නෙවෙයි. මස්කෙළියට ආසන්නයේ පිහිටලා තියෙන රාවණා රජ්ජුරුවන්ගෙ ගුවන් තොටක් යැයි කියන රාවණාගල කන්ද මුදුනට යන අතරෙදියි අපි නෝර්ටන් බි්‍රජ් නගරය පහු කළේ.
රාවණාගල ගමනට අපිත් එක්ක එකතු වෙන ගමන් සගයා පියසෝම අයියා ඉන්නෙ මේ පාරෙන් ශ්‍රී පාදය පැත්තට යද්දි මුණගැහෙන කිරිවන්එළියෙ ලක්ෂපාන ඇල්ලට කිට්ටුව. කලින් කතාකරගත්තු විදියටම අපි එද්දී ඔහු කිරිවන්එළියට ඇවිත් හිටියේ ත්‍රීවීල් එකකින්. “ෆෝ වීල් වාහනයක් නැතුව ඒ කන්ද නඟින්න බෑ. වෑන් එකක් යන්න අමාරුයි. අපි දැන් දවස් තුනකට කලිනුත් ගිහින් ආවා ත්‍රීවීල් එකෙන්. අමාරුවෙන් හරි ඒකෙ යන්න පුළුවන්. වෑන් එක දාලා ත්‍රීවීල් එකේ යමු.” පියසෝම අයියා එහෙම කියද්දීම අපට තේරුණා ගමන ටිකක් අමාරු බව.
කියපු විදියට වෑන් එක පියසෝම අයියා දන්න කියන කඩයක් ළඟ පාර අයිනෙ නවත්තලා ත්‍රීවීල් එකෙන් අපි ගමන පටන් ගත්තා. දකුණු පැත්තෙන් පෙනුණෙ මුදුන් තවමත් මීදුමෙන් වැහිලා තියෙන සප්ත කන්‍යා කඳුවැටිය. කන්දට පහළින් නිම්නයේ පෙනුණු ලක්ෂපාන ඇල්ලේ දර්ශනයත් හරිම ලස්සනයි. කිරිවන්එළියේ ඉඳන් ශ්‍රී පාද පාරෙ තවත් කිලෝමීටර් 9ක විතර දුරක් ගෙවා ගෙන අපි ලකම් (Luccumbe) කඩමණ්ඩියට ආවා. ගමනේ දුෂ්කර කොටස මෙතැන ඉඳලයි පටන් ගන්නේ.
රාවණාගලට හැරෙන පාර හොයාගන්න එක නම් අමාරු නැහැ. මාවුස්සාකැලේ වතුයාය, නයන්සා කොටස, රාවණාගල කියලා සඳහන් කරපු නාම පුවරුවක් පාර අයිනෙම වම් පැත්තෙන් තියෙනවා. පටන් ගත්තු තැන ඉඳන්ම ගමනේ දුෂ්කර බව දැනෙන්න වුණා. ගල් ගැලවිලා අබලන් වුණු පාරෙ ත්‍රීවීලරය ගමන් කළෙත් ගොඩක් අපහසුවෙන්. අපි හතර දෙනෙක් හින්දා වාහනේ බරත් ටිකක් වැඩියි. මේ විදියට තේ වතුයාය මැදින් තැනින් තැන තියෙන ගෙවල් දොරවල් පහුකරගෙන අපි කන්දේ ටිකෙන් ටික මුදුනට ආවා.
මෙහෙම මුදුනට එද්දී ඈතින් ඈතට පෙනුණු අලංකාර දර්ශනයන් නිසා ගමනේ අපහසු බව මොහොතකට අමතක වෙලා ගියා. වට වංගු සහිත පටු පාරෙ හැම වෙලාවකම වාගෙ එක පැත්තකින් තිබුණෙ මහා ප්‍රපාතයක්. බොහොම ප්‍රවේසමෙන් තමයි වාහනය ඉස්සරහට ගියේ. අපහසු ගමන අතරතුර ත්‍රීවීලරය පදවපු අපේ මිත්‍රයා කීප වරක්ම වාහනේ නවත්තලා අවට බලන්නත් ඡායාරූප ගන්නත් අපට අවස්ථාව ලබා දුන්නා.

ඈතින් සප්ත කන්‍යා කඳුවැටියේ එක් අන්තයකුත් ශ්‍රී පාදය දක්වා විහිදෙන කඳුවැටිත් දැකගන්න ලැබුණා. ශ්‍රී පාද කන්දත් මුදුනෙදී දකින්න ලැබෙන බවයි දැනගන්න ලැබුණෙ. අනිත් පැත්තෙන් පෙනුණෙ මාවුස්සාකැලේ ජලාශය. වටපිටාවෙ සුන්දරත්වය දකිමින් තේ වතුයාය මැද අතුරු පාරවල් කීපයකට හැරෙමින් අපි රාවණාගල මුදුනටම ආවා. ලකම්වල ඉඳන් පැයක් විතර ගතවුණා මෙතෙන්ට එන්න. කිලෝ මීටර් හතරක වගේ දුරක් ඇති මෙතෙන්ට ලකම්වල ඉඳලා.
අක්කරයක් විතර විශාල පැතලි ගල් තලාවක් තමයි අපිට ඉදිරියෙන් තිබුණේ. ගල් තලාවට එහායින් ඈතින් ඈතට තේ වතුයාය දැකගන්න ලැබුණා. හරිම නිස්කලංක බවකුයි පරිසරය පුරාම තිබුණේ. මේ මහා ගල් තලාව රාවණා රජ්ජුරුවන්ගෙ ගුවන් තොටුපළක් බව ජනප්‍රවාදයේ කියැවෙනවා. ඒ හින්දයි රාවණාගල කියන්නෙ. රාවණා රජතුමාගෙ ගුවන් තොටුපළවල් හැටියට හඳුන්වන තැන් කීපයක්ම ලංකාව පුරා තිබුණත් ඒ අතරින් රාවණාගලට හිමිවෙන්නෙ වැදගත් තැනක් බවයි මේ ගැන අධ්‍යයනවල යෙදෙන අය පවසන්නේ. ගුවන් පථයක ලක්ෂණ මෙතැන පෙන්නුම් කරන බව ඔවුන් පවසනවා. ගල් තලාවෙ එක පැත්තක් මුළුමනින්ම ගුවනට විවෘත වෙලයි තියෙන්නෙ. මෙතැන වටපිටාව දකින සාමාන්‍ය කෙනෙකුටත් එහෙම හිතෙන එක පුදුමයක් නෙවෙයි.
රාවණා රජතුමාගෙ දඬුමොනර යානයේ රෝද පාරවල් කියලා හඳුන්වන තැන් කීපයක් ගල් තලාවේ දැකගන්න ලැබෙන එකත් විශේෂත්වයක්. එකිනෙකට සමාන්තරව හෑරිලා තියෙන රේඛාවන් විදියට දැකගන්න පුළුවන් මේවා අඟලක් විතර ගැඹුරුයි. සමහර තැන්වල මේවා පස්වලින් පිරිලා. කොහොමත් මේ රේඛාවන් ස්වභාවිකව හෑරුණු ඒවා නෙවෙයි කියලා දකින ඕනැම කෙනෙකුට හිතෙනවා. සමහර තැනක මේවා මීටර් පනහක් වගේ දුරට විහිදිලා තියෙනවා. රාවණා ගුවන් තොටවල් කියලා හඳුන්වන අනිත් තැන්වලට වඩා මෙතැන විශේෂ වෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි මේ සලකුණු. කඳු හෙල් වනාන්තරවලින් පිරුණු මධ්‍යම කඳුකරයේ දඬුමොනර යානය ගොඩබස්වන්න මෙතැන සුදුසුම ස්ථානයක් බවත් හඳුනාගෙන තියෙනවා. රාවණාගල පිහිටලා තියෙන්නෙ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1400ක් විතර උසින්. මේ ගල් තලාවෙ සමහර තැන් පස් තට්ටුවලින් පිරිලා. ඒ හින්දා ගල් තලාව තවත් ඈතට විහිදිලා ඇති කියලා හිතන්න පුළුවන්.
ගල් තලාව පහුකරගෙන තේ වතු මැදින් තරමක් ඉහළට ගිය අපට දකින්න ලැබුණෙ පුංචි කෝවිලක්. එතැනදී වලාකුළු අතරින් ශ්‍රී පාද කන්ද මතුවෙලා පෙනුණා. පෙනෙන තෙක් මානයේ තිබුණේ තේ වතුයාය. ගෙයක් දොරක් පෙනෙන මානයකවත් තිබුණේ නැහැ.
ආපහු රාවණාගල ගල්තලාවට ආව අපිට මුණගැහුණා තේ දළු කඩන පිරිසක්. ඒ අයත් තදින්ම විශ්වාස කළා මෙතැන රාවණා රජතුමාගෙ ගුවන් තොටුපළක් තිබුණා කියද අදහස. රාවණා ගුළි කියලා හඳුන්වන පාෂාණ වර්ගය මේ ආසන්න වතුවලින් හොයාගන්න පුළුවන් බවත් ඒ අය පැවසුවා. ඒ වගේම රාවණාගල අවට ලඳු කැලෑවල ඉඳහිට දිවියන් ගැවසෙන බවත් මේ අය කීව හින්දා යන අය ඒ ගැනත් සැලකිලිමත් වෙන එක හොඳයි. තවත් පැයක විතර කාලයක් රාවණාගල මුදුනේ ගත කරපු අපි ආපහු එන්න පිටත් වුණා. ලකම්වලට එන්න ගතවුණේ පැය භාගයක විතර කාලයක්. මුදුනට යන එක අමාරු වගේම අපට අමතර කාලයක් ගතවුණේ අතරමඟදී වටපිටාව බලන්න දෙතුන් වතාවක් නැවතුණු හින්දා.
කඳුවැටි අතරින් වැටුණු අලංකාර මාවත් ඔස්සේ ගිය තවත් අපූරු ගමනකින් පස්සේ අපි ආයෙත් කිරිවන්එළියට ආවා. පරිසරයේ සුන්දරත්වය විඳින්න රාවණාගල තෝතැන්නක් තමයි. ඒ වගේම එතැනත් එක්ක බැඳුණු ජනප්‍රවාද, භූගෝලීය පිහිටීම, සලකුණු වගේ දේවල් එක්ක තවදුරටත් ගවේෂණයක් කරන්න රාවණාගල හොඳම තැනක් බව කියන්න පුළුවන්.
මහේෂ් ඉන්දික විජේතිලක











