ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පිහිටි රිටිගල දැඩි ස්වභාව රක්ෂිතය අත්භූත ජන විශ්වාස රැසකට මුල්වූ කඳුවැටියකි. යක්ෂ ගෝත්‍රික ජනතාවක් විසූ ප්‍රදේශයක් බව ඇතමුන් පැවසුවද මහරහතුන් වැඩ සිටි පුණ්‍ය භූමියක්ද වේ. අංගම්පොර සටන් කලාවේ මූලාරම්භයද මෙහි බව පැවසේ. මෙම ඉතාමත් රමණීය වන පියස සේම අප හෙළ රජ දරුවන් එදවස කළ විස්මිත නිර්මාණ දැක බලා ගැනීමට ඇවිදිමු ලංකා සංචාරක සමූහයේ අප එහි සංචාරය කළෙමු.
හැමදාමත් ටි්‍රප් එකක් යනකොට එකතුවන කොළඹ කොටුව පාලම යටට උදේ දෙක වෙනකොට එකතුවුණ අපිට වෑන් එකෙන් පැය හතරකින් විතර රිටිගලට එන්න පුළුවන් වුණා. මේ දවස්වල ලංකාවේ හැමතැනම වැස්ස. අනුරාධපුර දිස්ත්‍රික්කයටත් හොඳටම වැස්ස. වියළි කලාප රක්ෂිතයක් වුණ රිටිගල ඇවිද යනකොට අපිට දැනුණෙ නම් තෙත් සදාහරිත වනාන්තරයක ඇවිද යනව වගේ හැඟීමක්. උදේම සංචාරය ආරම්භ කරපු නිසා පරිසරය හරිම නිදහස් සැහැල්ලු බවකින් යුක්ත වුණා. හිරුඑළිය මී ගස් අතරින් තැනින් තැන පොළොව සිප ගත්තා. වනය තුළ තිබෙන නටබුන් මහත් අභිමානවත්ව තවමත් නොනැසී ඒ විදියටම තියෙනවා.

1942දී රිටිගල දැඩි රක්ෂිතයක් ලෙස නම් කර ඇති අතර එහි ශාක හා සත්ව විශේෂ රැක ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු වන්නට විය. පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා රිටිගල සංරක්ෂණය කිරීම නැවත වරක් 1960දී ආරම්භ කර ඇත. වියළි කලාපීය දේශගුණ තත්ත්වයක් වුවත් අවුරුද්ද පුරාම නොසිඳී ගලා එන සියුම් ජල උල්පත් තිබීම මෙහි ඇති විශේෂත්වයකි. උද්භිද විද්‍යාත්මකව වැදගත් වන රිටිගල සුවිශේෂී වන්නේ ශාක විශේෂ රාශියක් මෙම වනයේ ඇති නිසාය. පලු, වීර, මොර, ගල් අන්නාසි, දෙහි වැනි නොයෙකුත් පලතුරු හා ඉතාම දුර්ලභ වර්ගයේ අශෝක වැනි මල්වලින් සැදුම් ලත් මේ වන රොදෙහි තිත් කොහා, කහ කුරුල්ලා, වලි කුකුළා, ගිරවා, මයිනා, නීල කොබෙයියා, බට කොහා, දෙමළිච්චා වැනි පක්ෂීන්ගෙන් ගහනය. එමෙන්ම විවිධ සමනල් වර්ග මෙන්ම අලි, කොටි, වලස්, මුව, ගෝන ආදී සිවුපාවෝද පිඹුරා, නයා, පොළඟා හා උරග සත්ව විශේෂ ද රිටිගල කන්දට විවිධත්වයක් එකතු කර ඇත.
ඔබ මෙහි සංචාරය කරන්නේ නම් උදෑසනම ගමන් ආරම්භ කරන්න. කුඩා කණ්ඩායමක් නම් වඩාත් උචිතය. මන්ද යත් මෙම පරිසර කලාපයේ ඇවිද යනවිට නිශ්ශබ්දව ගමන් කිරීමෙන් ඔබට මෙහි වටිනාකම හා අගය දැනෙනු ඇත. දැඩි රක්ෂිතයේ සංරක්ෂණ භූමි තුළ පමණක් ඔබට සංචාරය කිරීමට සිදුවේ. එයින් එපිට කඳු තරණය කරන්නේ නම් විශේෂ අවසර වනජීවී කාර්යාල තුළින් ලබා ගත යුතුමය. අවසර නොමැතිව ඇතුළුවන්නන්ට නීතිමය වශයෙන් දඬුවම්වලට යටත් වීමට සිදුවේ. රිටිගල බොහෝ තැන් ඇවිද ගිය අපි ආඬියාගල ආරාමයේද සංචාරය කළෙමු. ආඬියාගල ආරාමය රිටිගල රක්ෂිතයට අයත් තවත් එක් රක්ෂිතයක් තුළ තිබෙන ආරාමයකි. ලෙන් විස්සක් පමණ ආරාමයේ කුටි තුළ භික්ෂූන් තිහක් පමණ භාවනානුයෝගීව වැඩ සිටිති. ඉතාමත් අලංකාර ලෙස තනවා ඇති කුටි පරිසරයේ ගහ කොළ සතා සිවුපාවුන්ට හිතකර ලෙස නිමවා ඇත. ආරාමයට ඉහළින් ඇති කොඩිගල කන්දද තරණය කළ හැකි කන්දකි. අප එයද තරණය කළෙමු. ඈතින් පිදුරංගල, සීගිරිය, හා වැව්, දාගැබ් ඉතාමත් පැහැදිලිව මෙම කොඩිගල කන්දට දර්ශනය වෙයි.

මඳ වැස්සත් එක්ක කඳු නැඟ රක්ෂිත තුළින් ඇවිද ගිය අපිට මෙ සංචාරය තවත් නවමු අත්දැකීමක් විය. කාලවේලාවත් ඉක්මනින් ගොස් ඇත. කලින් දා කතිකා කරගත් ආකාරයට කලාවැව අබියස තිබෙන හේනක රැය පහන් කරන්න ගියත් නොසිතූ ලෙස වල් අලි නිසාවෙන් එය මඟ හැර වෙනත් විකල්පයකට යන්න සිදු විය. කලාවැවේ වැව් බැම්මේ ඉන්න පුළුවන් වුණත් අධික වර්ෂාව නිසා විජිතපුර පන්සලේ තමයි කඳවුරු බඳින්න වුණේ. විජිතපුර පන්සලේ වන්දනාකරුවන්ට උයා පිහාගෙන රාත්‍රිය ගත කරන්න සියලුම පහසුකම් සලසලා තියනවා. මෙම විජිතපුර පන්සලද ඉතාමත් ඈත ඉතිහාසයකට උරුමකම් කියන පින් බිමකි. රජ දවස සටන්වලදී කඩු මුවහත් කළ කළු ගලක් නිසා කඩුගෑගල විහාරය ලෙසද හඳුන්වයි. අපි පහුවදා උදේම අවුකන විහාරයට යන්න පිටත් වුණා. කලාවැව පසුකර ටික දුරක් යනකොට කලාවැව පිටාර මට්ටමට ඇවිත් මුළු අවුකන ග්‍රාමයේම පහත් බිම් ජලයෙන් යට වෙලා. අවුකන මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යට වෙලා. ගුරු ගෝල සටනක ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය කෙරුණු වසර 1500 පමණ පැරණි මෙම විස්මිත බුදු පිළිමය නොදැක කෙසේ නම් ආපසු යන්නද. වෑන් එක මඟ නතර කරලා කැලයක් මැදින් ගිහින් කෝච්චි පාරට ඇවිත් කෝච්චි පාර දිගේ වෙල් ඉපනැලි, ගෙවල් මිදුල්වලින් ගිහින් අපි අවුකන විහාරය වැඳ පුදා ගත්තා. “මේ තරම් සියුමැලි ද කළුගල්” ගීතය නම් හැම වෙලාවෙම මතක් වුණේ සැබැවින්ම මෙහි ඇති විස්මිත බව නිසා. මෑත කාලීනව කළ සංරක්ෂණ වැඩ පිළිවෙළ යටතේ පිළිමයට ඉහළින් වහලක් සවිකර ඇත. එය ඉතාමත් අගනේය.
සංචාරයේ අවසන් අදියරේ කොළඹ බලා එනවිට ජාතික නාමල් උයන හා දකුණු ආසියාවේ විශාලතම රෝස තිරිවාණා නිධියද නරඹමින් ඒ අසලම තිබෙන වැවකින් නාලා කෑමත් කාලා දඹුල්ල විහාරයත් වැඳගෙන මහා වැස්සේම ගෙදර ආවේ අනුරාධපුර සංචාරයේදී අප රැගෙන ගිය පොලිතින් සහ බෝතල්ද නැවත රැගෙන එමිනි.
ඉදුන් සම්පත් දැරණියගල











