අයිඩියල් මෝටර්ස් විසින් ‘Ideal Moksha’ නමින්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු පූර්ණ ඉලෙක්ට්‍රික් මෝටර් රථය වෙළඳපොළට හඳුන්වා දීම අද (2022 ජුලි 28) දින කොළඹ දී සිදු කෙරිණ.
ලෝකය පුරා ඉහළ ජනප්‍රියත්වයක් දිනූ ඔස්ටින් මිනි මොක් රථයෙන් ආභාසය ලබා නිපදවනු ලැබූ Ideal Moksha ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළඳපොළ තුළ පෙරළියක් ඇති කරන්නට සමත් මෝටර් රථයකි. එමෙන්ම, වර්තමානයේ පවතින ප්‍රවාහන ගැටලුවට වඩාත් තිරසාර සහ පරිසර හිතකාමී විසඳුමක් ලෙසින් ද මෙය හඳුන්වා දිය හැකිය.
උසස්ම තාක්ෂණය සහ නිර්මාණ සංකල්ප භාවිතය සමඟින් වඩාත් තෘප්තිමත් රිය පැදවීමේ අත්දැකීමක් ලබා දෙන නිසාම මෙම රථයට ‘Moksha’ යන නම යොදා ඇත. ශ්‍රී ලංකාවේ මාර්ගවලටත් හොඳින්ම ගැළපෙන මෙම මෝටර් රථය පෙනුම, ඉඩකඩ, සුවපහසුව සහ සම්බන්ධතාව අතින් ද කැපී පෙනෙයි.
ඕනෑම සමාජ තරාතිරමක අයෙකුට දැරිය හැකි මිලකට ලබා ගත හැකි ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් වන Ideal Moksha ශ්‍රී ලංකාවේ ගෘහස්ථ භාවිතය සඳහා වඩාත් හොඳින් ගැළපේ. මිලියන 1.5ක් ලියාපදිංචි ත්‍රිරෝද රථ සහ මිලියන 4.5ක් ලියාපදිංචි මෝටර් සයිකල් භාවිතා වන ශ්‍රී ලංකාව වැනි රටකට මෙය පිරිමැසුම්දායී මෙන්ම ආරක්ෂාකාරී, ස්මාර්ට් ප්‍රවාහන විසඳුමකි.
පූර්ණ ස්වයංක්‍රීය මෝටර් රථයක් වන මෙහි ගියර් මාරුවක් නොමැතිව ආරම්භයේ සිටම 100%ක ව්‍යවර්ථයක් ලබා දෙයි. පහසුවෙන් අවබෝධ කරගැනීමටත් සුවපහසු රියදුරු අත්දැකීමක් විඳගැනීමටත් Ideal Moksha ඔබට ඉඩකඩ සලසයි. ඉන්ධන අවශ්‍යතාවක් නොමැති නිසා ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් පවතින ලොකුම හිසරදයකින් මිදීමට ද පාරිභෝගිකයාට හැකිවේ.
මේ සියලු සංකලනයන් සමඟ ඔබ වෙත පැමිණි Ideal Moksha, ශ්‍රී ලංකාවේ ගමන්බිමන් සංස්කෘතියට නව ප්‍රවේශයක් ලබා දෙන බවට සැක නැත. මෝටර් රථයක් ගැන සිහින දකින සාමාන්‍ය පුද්ගලයාගේ සිට වෙළඳ ක්ෂේත්රයේ විධායක නිලධාරියෙකු දක්වා පරාසයක ඕනෑම අයෙකුට ගැළපෙන මෝටර් රථයක් ලෙස ද Ideal Moksha අවිවාදයෙන්ම හඳුන්වා දිය හැකිය.
තිරසර ප්‍රවාහන විසඳුම් සම්බන්ධයෙන් කැපී පෙනෙන භූමිකාවක් ඉටු කරන ප්රමුඛ පෙළේ ව්‍යවසායකයෙකු වූ, අයිඩියල් සමූහයේ නිර්මාතෘ/සභාපති, නලින් වෙල්ගම මහතා සහ කාලගුණ විපර්යාස පිළිබඳ උනන්දුවක් දක්වන ප්‍රවීණයන් පිරිසකගේ මෙහෙයවීමෙන් Ideal Moksha නිර්මාණය විය.
මෙහි සියලු නිෂ්පාදන කටයුතු සිදු කරන ලද්දේ අයිඩියල් සමාගමට අයත් රත්මලානේ පිහිටි හරිත වැඩබිම් පරිශ්‍රයේ දීය (මෙම වැඩබිම පූර්ණ වශයෙන් සූර්ය ශක්තියෙන් බලගන්වා ඇත).
මේ පිළිබඳ අදහස් දක්වමින් වෙල්ගම මහතා,
“Ideal Moksha වෙළඳපොළට හඳුන්වා දීමත් සමඟ, ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් නිපදවීමේ මගේ සිහිනය සැබෑ කරගන්නට අද දවසේ මට හැකියාව ලැබුනා. ප්‍රවේශ මට්ටමේ මොටර් රථයක් වන මෙහි, ලෝකයේ හොඳම මෝටර් රථ තාක්ෂණයන්ට අදාළ නව්‍ය විශේෂාංග ගණනාවක් ද ඇතුළත් කොට තිබෙනවා. මෙවැන්නක් මගේ මවු රටට හඳුන්වා දෙන්නට ලැබීම, මගේ 35 වසරක මෝටර් රථ ව්‍යාපාරික අත්දැකීම් අතර සුවිශේෂී සන්ධිස්ථානයක්. එමෙන්ම මෙය ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඉලෙක්ට්‍රික් වාහන යුගයේ සමාරම්භය ද සනිටුහන් කරනවා”
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ නලීන් වෙල්ගම මහතා,
“අපේ තවත් නිෂ්පාදන දෙකක් අද එළිදක්වා තිබෙනවා. ඉන් එකක් තමයි විදුලියෙන් ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රික් මෝපෙඩ් රථය. ඒත් එක්කම එන්ජිමක් සහිත ස්කූටර් එකක් අප ඉලෙක්ට්‍රික් එකක් බවට පරිවර්තනය කර තිබෙනවා. එය retrofit නමින් හඳුන්වාදී තිබෙනවා. ශ්‍රී ලංකාවේ නිවාස ලක්ෂ 55ක් පමණ තියෙනවා. එම නිවෙස්වලින් බහුතර ප්‍රමාණයක් සාමාන්‍යයෙන් විදුලි ඒකක 100-200ත් අතර ප්‍රමාණයක් තමයි භාවිතා වෙන්නේ. එම පිරිසට තමයි විශේෂයෙන් මෝපෙඩ් රථය සහ විදුලියට පරිවර්තනය කළ ස්කූටරය හා Moksha මෝටර් රථය උචිත වෙන්නේ. ඒ අයට අපි සම්පූර්ණයෙන්ම විදුලි බිලෙන් නිදහස් විය හැකි පරිදි තමන්ගේ නිවෙස්වල සවිකරගත හැකි සෝලා පද්ධතියක් හඳුන්වාදීමටත් කටයුතු යොදා තිබෙනවා. එය පාරිභෝගිකයාට අවශ්‍ය ප්‍රමාණය තීරණය කිරීමෙන් පසු එම සෝලා පද්ධතිය තමන්ගේ නිවසේ වහලය මත සවිකර ගැනීමෙන් පසුව ඔවුන්ගේ විදුලිබිල ශුන්‍ය කරගත හැකි වෙනවා. එමගින් ඔවුන්ගේ දෙයිනික ජීවිතයේ වැඩකටයුතු කර ගැනීමට සහ වාහනයේ නඩත්තු කර ගැනීමට විශාල රුකුලක් වෙනවා“
මෙය අයිඩියල් මෝටර්ස් සමාගමේ ඉදිරි ගමනේ එක් ආරම්භයක් පමණි. පූර්ණ ඉලෙක්ට්‍රික් මෝපඩ් සහ retrofit kit ඇතුළත් නිසා දහන එන්ජිම වෙනුවට ඉලෙක්ට්‍රික් එන්ජිමකින් මෙය සමන්විතය.
Ideal Moksha සහ අනෙකුත් ඉලෙක්ට්‍රික් වාහන විසඳුමේ එක් කොටසක් පමණි. අයිඩියල් සමූහය හුදෙක්ම විදුලි පිරිවැය අවම කිරීමට කටයුතු කරන සමාගමක් පමණක් නොව තිරසර බලශක්ති මූලාශ්රයන් කෙරෙහි ද දැඩි උනන්දුවක් දක්වන සමාගමකි. ඒ අනුව අයිඩියල් සමූහය විසින් Ideal Moksha ලෙස පාරිභෝගික ඔබ වෙත ඉදිරිපත් කරන්නේ තිරසර බලශක්තිය යොදා නිපදවනු ලැබූ පූර්ණ හරිතවත් ප්‍රවාහන විසඳුමක් වන අතර, මාසිකව කිලෝවොට් 100 – 200 විදුලි ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරනු ලබන, මිලියන 5.5ක ගෘහස්ථ පාරිභෝගික ප්‍රජාවක් මෙමඟින් ඉලක්ක කරනු ලබයි.
වහල මත සවි කළ හැකි කිලෝවොට් 4ක සූර්ය පැනලයක් ද මෙම පැකේජයට ඇතුළත් නිසා සාමාන්‍ය පාරිභෝගිකයෙකුට තමන්ගේ දෛනික අවශ්‍යතා සඳහා විදුලිය වැය වීම ද අවම කරගැනීමට මෙමඟින් අවස්ථාව උදා වේ. අයිඩියල් සමූහය යනු එවැනි සංවිධිත, ඒකාබද්ධ චින්තන රටාවක් තුළින් ගැටලුවලට විසඳුම් ඉදිරිපත් කරන සමාගමකි. Ideal Moksha යනු එහි පළමු පියවරයි. නමුත් එය නිසැක අනාගත පෙරළියකට හේතුවනු නොඅනුමානයි.















