පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නැවත ආරම්භ කර ඇති පරීක්ෂණවලදී හිටපු ජනාධිපති මෙන්ම හිටපු ආරක්ෂක ඇමැතිවරයාද වූ මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන්ද, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන්ද ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
ඒ සදහා මේ වනවිට නීතිපතිවරයාද රහස් පොලිසිය වෙත උපදෙස් ලබා දී තිබේ.
පාස්කු ප්‍රහාරය සිදූවන විට ඒ පිළිබදව කලින් බුද්ධි අංශ විසින් දැනුවත් කිරීම් කර තිබියදීත් ආරක්ෂක ඇමැති ලෙසත්, ජනාධිපතිවරයා ලෙසත් මෛත්‍රිපාල සිරිසේන මහතා සිය වගකීම ඉටු කර නොමැති බවට විශාල චෝදනාවක් පසුගිය කාලයේ එල්ල වී තිබිණ.
ප්‍රහාරය එල්ල වන විට සිරිසේන මහතා සිංගප්පූරුවේ පෞද්ගලික සංචාරයක නිරත වී සිටි අතර අවම වශයෙන් එසැණින් දිවයිනට පැමිණීමට හෝ සිරිසේන මහතා කටයුතු නොකිරීම දැඩි විවේචනයට ලක්වූ කාරණයක් විය.
වික්‍රමසිංහ මහතාද කියා සිටියේ අදාළ බුද්ධී තොරතුර සම්බන්ධයෙන් තමන් දැනුවත් වී නොසිටි බවත්, අවම වශයෙන් ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට හෝ තමන් කැදවා නොතිබූ බවත්ය.
සිරිසේන, වික්‍රමසිංහ යන මහත්වරුන්ට අමතරව කතානායකවරයා ඇතුළු විශේෂ පුද්ගලයන් 11 දෙනකුගෙන් රහස් පොලිසිය මෙසේ ප්‍රශ්න කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.










