අද රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වාම දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටිනවා. අප නොසිතන ආකාරයට එය ජනතාවට බලපාමින්, ඔවුන්ගේ ජීවිත අහිමි කරන තැනට පත්වෙමින් ඇති ආකාරයද දැකගත හැකියි. රෝගීන් රෝහලට රැගෙන යන්නට, දරුවන් පාසල් රැගෙන යන්නට, රැකියාවට යන්නට, වෙනත් අත්‍යාවශ්‍ය කටයුත්තකට පිටත් වෙන්නට නොහැකි ලෙස රටම එක තැනක නතරව අකර්මණ්‍ය කරන්නට මේ උග්‍ර ඉන්ධන හිඟය අද වන විට හේතුවී තිබෙනවා.
ඉන්ධන ලබාගැනීමට පෝලිම්වල දින ගණන් ගතකරමින් සිටියදී අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් බොහෝ දෙනකු ගැන පසුගිය දින කිහිපයේදීම වාර්තා වුණා. ඒ සිදුවීම්වලින් කිහිපයක් ගැනයි අපි අද සොයා බලන්නට තීරණය කළේ.
ඇය වෘත්තියෙන් ගුරුවරියක්. ඇගේ කුඩා දරුවා අසනීප වෙලා දින ගණනක් ගතවුවත් දරුවා රෝහලට ගෙනයෑමට ඇයට හැකියාවක් නැතිවුණේ තම මෝටර් රථයට ඉන්ධන ලබාගැනීමට නොහැකි වීම නිසයි. තමන් මුහුණපෑ දුෂ්කරතාව ගැන ඇය මෙලෙස පවසා සිටියේ ගලුමුවදොර අරගල භූමියේදියි.
“මගේ දරුවා යූරින් ඉන්ෆෙක්ෂන් එකක් වෙලා ප්‍රතිකාර ගන්න දරුවෙක්. දරුවා රෝහලට ගෙනියන්න ගම්පහ නෙල්ලිගහමුල ෂෙඩ් එකේ දවස් හතරක් පෝලිමේ හිටියා. නමුත් එක්කෙනෙක්වත් මගේ දරුවා ඉස්පිරිතාලෙට ගෙනියන්න පෙට්‍රල් ටිකක් දුන්නේ නැහැ. නමුත් යක්කලදි සහෝදරයෝ තුන්දෙනෙක් ඉදිරිපත්වෙලා පෙට්‍රල් ලීටර් එකහමාරක් හොයලා දුන්නා. ඒත් රාගම ලීසන්ස් හොස්පිට්ල් එකට ගිහින් එන්න ඒ ඉන්ධන ප්‍රමාණය මදි. බස්වල එන්න බැහැ. රෑට එන ස්පෙෂලිස්ට් ඩොක්ටර්ස්ලා බලලා ඉවරවෙනකොට රෑ අට නවය වෙනවා. ඒ නිසා ආපහු ගම්පහට එන්න බස් නැහැ. ඒක නිසා පෙට්‍රල් හොයාගෙන අපි හැමතැනම ඇවිද්දා….”
“ජාවාරම්කාරයෝ කෑන් පිටින් පෙට්‍රල් කරේ තියන් යනවා. මේ ළමයට අසනීපයි, මේ ළමයට බෙහෙත් ටිකක් ගන්න යන්න රුපියල් 2000ක හරි පෙට්‍රල් ටිකක් දෙන්න කියලා වැඳලා ඉල්ලලාත් දුන්නෙ නෑ. බයිසිකල්වල තියෙන ටැංකි ගලවාගෙන ගිහිල්ලා දහදොළොස් පාරක් ඒවා බූලිවලට පුරවලා එනකන් පොලිසිය අත්දෙක බැඳගෙන බලන් හිටියා…”
“චණ්ඩියෙක් වගේ කෙනෙක් ඇවිල්ලා කියනවා තොපි මෙතැනින් එහාට පලයව්. නැත්නම් තොපිට ගහනවා කියලා. එතකොට පොලිසියෙ අය පිටිපස්සෙන් ඉඳගෙන එයාගේ හයිය අරගෙන කෑගහන්න ගත්තා. මම අහන්න කැමතියි වීරගුල පොලිසියේ ඉන්නේ ගෑනුද කියලා…”
“අනේ නංගියෝ පෙට්‍රල් නැහැ. හෙට උදේට ඔයා එන්න ඔයාට ෆුල් ටෑන්ක් ගහලා දෙන්නම් කියලා කිව්වා. ඊට පස්සේ මමයි මහත්තයයි ඇහුවා ඔයාලට දැන් දෙන්න නැති පෙට්‍රල් හෙට උදේට කොහෙන්ද කියලා. තෙල් තියෙනව නම් මේ ඉන්න මිනිසුන්ට සාධාරණව බෙදලා දෙන්න කියලා. ඒක කළෙත් නැහැ. ඊට පස්සේ අපි දෙන්නා ගියා දරුවා උදේ ඉඳලා බඩගින්නේ හින්දා ආප්ප දෙකක් අරන් දෙන්න. ආප්ප දෙකක් අරන් දීලා ආයෙත් එනකොට නෙල්ලිගහ ගාව තියෙන ෂෙඩ් එකෙන් පරුෂ වචනයක් කියලා ‘වරෙන් තොට පෙට්‍රල් දෙන්න’ කියලා මට බැන්නා. මම ගුරුවරියක් මම වාහනයෙන් බැස්සා. මම බැහැලා කිව්වා ‘හරි මම ආවා දීපල්ලා පෙට්‍රල් කියලා’. මම බය නැහැ. මම මැරෙන්නත් බය නැහැ. මම ඒකයි අරගලයටත් ආවේ. පොලිසිය ඇතුළෙ බලාගෙන ඉන්නවා. මහත්තයා මාව කාර් එක ඇතුළට ගත්තා. උන් අනිත් පැත්තෙන් ඇවිත් මහත්තයාට ගැහුවා. ගහලා ගහලා හොස්පිට්ල් ඇඩ්මිට් කළා. දවස් තුනකින් ටිකට් කපලා තමයි මේ අරගල භූමියට ආවේ. ළමයින්ට උගන්වන කටයුතුත් නතර වුණා. අපිට මෙහෙම කරන්නේ අරගල භූමියේ කැගහන හින්දද? මේක හරි ප්‍රශ්නයක්. ළමයට අසනීප වුණාම පෙට්‍රල් දෙන්න බැරි මම මේ අරගලයේ ඉන්න හින්දද? මුන් හිතුවාට මේ අරගලය බාල්දු කරන්න එහෙම වෙලා නැහැ. අපි මේ ගමන ඉදිරියටම යනවා. බයත් නැහැ, නවත්තන්නෙත් නැහැ…”
ඒ දරුවාට එවැනි අසාධාරණයක් සිදුවෙද්දී තවත් පුංචි දරුවෙක් මෙලොවින් සමුගෙන ගියේ ඉන්ධන අර්බුදය හේතුවෙන්මයි. මේ කනගාටුදායක පුවත වාර්තා වුණේ පසුගිය 27 වැනිදා කල්පිටිය රෝහලෙන්. 26 වැනිදා මේ දරුවාට මීමැස්සෙක් විද තිබුණා. ප්‍රතිකාර සඳහා දරුවා තම යතුරුපැදියෙන් කල්පිටිය රෝහලට රැගෙන යෑමට ඉදිරිපත් වුණේ දරුවාගේ පියාගේ වැඩිමහල් සොහොයුරා. එහෙත් ඔහුට වැඩි දුරක් යෑමට හැකි වුණේ නැහැ. ඉන්ධන අවසන් වූ යතුරුපැදිය අතරමඟ නැවතුණා. ඒ සැණින් ඔහු දරුවාගේ මවුපියන්ට ඒ බව දැනුම් දීමට කටයුතු කළ අතර, දරුවා ඒ වන විටත් සිටියේ අසාධ්‍ය තත්ත්වයේ. දරුවා රෝහලට රැගෙන යන්නට වාහනයක් සෙව්වත් ඔහුගේ පිහිටට කිසිවකු ඉදිරිපත් වී තිබුණේ නැහැ. ඒ හේතුවෙන් මේ කිසිවක් නොදත් සිඟිත්තා මෙලොව හැර ගියේ වගකීම් විරහිත බලධාරීන්ගේ අකාර්යක්ෂම පරිපාලනයේ ප්‍රතිඵලයක් විදියටයි.
ඉන්ධන අර්බුදය හේතුවෙන් අපට අහිමි වූ පළමු ජීවිතය මෙය නොවේ. මීට පෙරද මෙවැනිම සිදුවීමක් දියතලාව රෝහලෙන් අසන්නට ලැබුණා. පසුගිය මැයි 21 වැනිදා දියතලාව රෝහලේදී බිළිඳකු මියගියා. ඒ මරණයටද හේතු වී තිබුණේ ඉන්ධන අර්බුදයයි. දියතලාව රෝහලේ සේවය කරන වෛද්‍ය ශානක රොෂාන් පතිරණ මහතා මේ කනගාටුදායක සිදුවීම ගැන සිය ෆේස්බුක් පිටුවේ මෙලෙස සටහනක් තබා තිබුණා.
“මෙය, මා දියතලාව රෝහලේ සිදුකළ 86 වැනි පශ්චාත් මරණ පරීක්ෂණ සහ වේදනාත්මකම මරණයයි. දින දෙකක් වයසැති මේ පොඩි දුව මවුකිරි බීම අඩුවී කහ වීම හේතුවෙන් ලේවල සීනි අඩු වීම නිසා ගැහෙන්න පටන් අරගෙන තිබුණා. ඒ වෙලාවේ දරුවාව හල්දුම්මුල්ල රෝහලට ගේන්න දරුවාගේ තාත්තාගේ ත්‍රිරෝද රථයට ඉන්ධන හොයාගන්න පැයක් විතර ප්‍රමාද වී තිබුණා. ඒ නිසා දරුවා රෝහලට එනකොට ලේවල සීනි මට්ටම 22mg /dl විතර අඩුවෙලා. දියතලාව රෝහලට ගේද්දී දරුවා හුස්ම අදිනවා. දියතලාව රෝහලේ ETU එකේදී දරුවා නැති වුණා…. ”
වෛද්‍ය ශානක පතිරණ මහතා මෙම සිදුවීමෙන් ලත් කම්පනය තවදුරටත් මෙලෙස සටහන් කර තිබුණා.
“අර පැය පරක්කු වුණේ නැත්නම් දරුවා බේරගන්න තිබ්බා. දෙයක් තමන්ට වෙන්න ඕනේ ඒකේ දුක තේරෙන්න. මාස 09ක් බඩේ තියාගෙන දවස් 2ක් තුරුලේ තියාගෙන පෙට්‍රල් ලීටරයක් නැතිව දරුවෙක් නැති වුණා කියන දුක ජීවිත කාලයටම හිතට වධ දේවි. මිනිය කපන්නත් දුකයි. සියලු අවයව හොඳට හැදුණු දරුවෙක්. හෙණ ගහනවා මේ කාලකණ්ණි දේශපාලුවන්ට. පස්සේ හිතුණා මේ කාලකණ්ණි රටේ ජීවත් වෙන්නේ නැතුව ඒ ළමයා ගිය එක හොඳයි කියලා…”
මේ බිළිඳාගේ මරණ පරීක්ෂණය සිදුකළ හදිසි මරණ පරීක්ෂක ඩී.එම්. දිසානායක මහතා දක්වා තිබුණේ මෙවැනි අදහසක්.
“මම ළදරු මරණ පරීක්ෂණ විශාල ප්‍රමාණයක් සිදුකර තිබෙනවා. ඒ අතරින් මා සිදුකළ ඛේදජනකම හා අවාසනාවන්තම මරණ පරීක්ෂණයක් විදියට මේ මරණය හඳුන්වන්න පුළුවන්. මොකද රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් වාහනයක් සොයා ගැනීමට නොහැකි වීම නිසා මෙම මරණය සිදුව තිබෙනවා. තෙල් ගැටලුව ඇති නොවුණා නම් මේ ජීවිතය බේරගන්න තිබුණා. මෙවැනි දේවල් රටේ නොවිය යුතුයි…”
ඉන්ධන අර්බුදය අපට මාස ගණනක් ගතවී තිබියදී පසුගිය 16 වැනිදාත් තවත් මරණයක් පිළිබඳ අසන්නට ලැබුණේ පානදුර හිරණ ප්‍රදේශයෙන්. හිරණ ඉන්ධන හලක ත්‍රිරෝද රථ පෝලිමේ රැඳී සිටි 53 හැවිරිදි මෙම පුද්ගලයා හෘදයාබාධයකට ලක්ව තිබූ අතර, ඒ වන විට ඔහුගේ පුත්‍රයාද එම ඉන්ධන හලේම යතුරුපැදි පෝලිමේ රැඳී සිට තිබුණා. සිදුවීම සැලවී පුත්‍රයා තම පියා වැටී සිටි තැනට පැමිණියත් ඔහු ඒ වන විටත් මෙලොව හැරගොස් තිබුණා.
පුත්‍රයා තම මවට දුරකතන ඇමතුමක් ගෙන සිද්ධිය ගැන පවසා තිබුණේ මෙලෙසින්.
“ඇම්බියුලන්ස් එක එනවා. තාත්තාගේ සද්දයක් නෑ. අම්මේ එයා හිටියේ තෙල් පෝලිමේ. මම බයික් පෝලිමේ හිටියේ. තාත්තා අතුල මාමත් එක්ක මෙතැන ඉඳලා තියෙන්නේ. අතුල මාමට ඇහිලා තාත්තා වාහනේ ඇතුළේ හුස්ම අදිනවා. තාත්තට පපුවේ අමාරුව හැදිලා වෙන්න ඇති අම්මේ…”
මේ විදියට ජීවිතවලින් වන්දි ගෙවන්නේ ඔවුන් මොන වරදක් කළාටද? ඉන්ධන පෝලිම්වල දින ගණන්, සති ගණන් ගතකරන මිනිසුන් මොන තරම් අසරණද? කුසට හරි හමන් අහරක් නැතිව, ඇසට නින්දක් නැතිව ඔවුන් මේ ගෙවන්නේ කාගේ පවක්ද?
මෙවැනි හද කකියවන මරණ රාශියක්ම පසුගිය දින කිහිපයේදීත් වාර්තා වුණා. පූගොඩ මාර්ගයේ වීල්බැරෝවකින් ගෑස් සිලින්ඩරයක් රැගෙන යමින් සිටි 64 හැවිරිදි පුද්ගලයෙක් මහ මඟ ඇදවැටී මියගොස් තිබූ අතර, දින තුනක් තිස්සේ බණ්ඩාරගම ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක රැඳී සිටි 42 හැවිරිදි පුද්ගලයකුද හදිසියේ මියගොස් තිබුණා.
මේ ආකාරයට අකාලයේ අප රටට අහිමි වූ සෑම පුංචි දරුවකුගේම, සෑම වැඩිහිටියකුගේම ජීවිතවලට රටේ පාලකයන්, දේශපාලකයන් වගකිව යුතුයි. දශක ගණනාවක් තිස්සේ පාලකයන් ගත් අදූරදර්ශී තීරණවල වන්දියයි ඒ සියලු දෙනා තම ජීවිතවලින් ගෙවා දැමුවේ.
හෙට දවස වෙනකොට තවත් කී දෙනෙක් මහ පාරේ මැරී වැටේදැයි කාටවත් කියන්න බැහැ. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟය, ඖෂධ හිඟය, භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යෑම යන මේ සියලු ප්‍රශ්න සිතේ තබාගෙන මිනිස්සු ජීවත් වෙන්නේ මහා පීඩාවකින්. එවැනි පසුබිමක ඔවුන්ගේ මානසික පීඩනය, දරාගැනීමේ හැකියාව පත්වෙන්නේ දැඩි අනතුරුදායක තත්ත්වයකටයි.
කොටින්ම කියනවා නම් හෙට දවස අප සෑම දෙනාටම අවිනිශ්චිත වාතාවරණයක් උදාකර දී තිබෙනවා. මේ තත්ත්වය නිසා හෙට ඔබේ ආදරණීය බිරිය, ස්වාමි පුරුෂයා, දරුවා, අම්මා, තාත්තා, මේ ඕනෑම කෙනෙකු කනගාටුදායක ඉරණමකට ගොදුරු වෙන්නටත් පුළුවන්. මෙය අප හිතනවාට වඩා භයානක ඛේදවාචකයක්. පාලකයන් විසින් විනාශ කළ රටක ජනතාවගේ හෙට දවස අදට වඩා සොඳුරු වේ යැයි කාට නම් කිව හැකිද? ඉතින්, තවත් මේ අදූරදර්ශී පාලකයන්ගේ අත්තනෝමතික තීන්දු තීරණ ඉවසාගෙන තෙල් පෝලිම්වල මැරී වැටෙන තුරු ඉවසාගෙන ඉන්න ඔබ සූදානම්ද? හෙට දවසේ තවත් කී දෙනකු මේ පොලිම්වලදී මැරී වැටේවිද? ඖෂධ නැතිව තවත් දරුවන් කී දෙනකු රෝහල්වලම මියැදේවිද? මේ සුන්දර දේශය ඛේදාන්තයක් වෙන්නට ඉඩ හැර ඇස් කන් පියාගෙන තවදුරටත් ඉන්න ඔබ සූදානම්ද? එසේ නොමැති නම් මේ සියල්ලට එරෙහිව එකා වන්ව නැගී සිට, අනාගත පරපුරට යහපත් රටක් දායාද කරන්නට කැපවෙන්නට ඔබ සූදානම්ද? තීරණය ඇත්තේ ඔබ අතේමයි…

නිලන්ති රේණුකා









