කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2022 මැයි මාසයේ පැවති සියයට 39.1හි සිට 2022 ජූනි මාසයේදී සියයට 54.6ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙය 1954න් පසු වාර්තා වූ වැඩිම උද්ධමන අගය ලෙස සැලකේ.
වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යාම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහි ම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යාම් හේතු වී ඇත.
ඒ අනුව ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මැයි මාසයේ පැවති සියයට 57.4හි සිට 2022 ජූනි මාසයේදී සියයට 80.1 දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මැයි මාසයේ පැවති සියයට 30.6හි සිට 2022 ජූනි මාසයේ දී සියයට 42.4 දක්වා ඉහළ ගොස් තිබේ.
2022 ජූනි මාසයේ දී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 12.80ක් ලෙස වාර්තා වී ඇති අතර ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහි ම අයිතමවල මිල ගණන් පිළිවෙළින් සියයට 6.81කින් සහ සියයට 5.99කින් ඉහළ යාම ඊට හේතු වී ඇත.








