හාල් අවුල හොඳටම දිග් ගැස්සෙන ලකුණු පහළ වෙමින් තිබේ. ඒ සම්බන්ධව වඩාත් වගකිව යුතු බොහෝ පාර්ශ්ව කතා කරන්නේ හිතාගන්නට බැරි වෙන ආකාරයෙන්ය. මරඳගහමුල සහල් නිපදවන්නන්ගේ සංගමය සහ මරඳගහමුල ව්‍යාපාරිකයන් මේ වන විට හාල් පිළිබඳ දරන්නේ සමස්ත අප දරන මතයට වඩා බොහෝ වෙනස් මතයකි. දැන් සහල් මිල හිතුවක්කාර ලෙස ඉහළ යවමින් තිබේ. මේ ඉහළ යැවීම පිටුපස ඇත්තේ පොහොර අර්බුදයටත් වඩා වෙනස් ඉතා බරපතළ කතන්දරයකි. ඒ කතන්දරය කුමක්දැයි සොයා අපි මරඳගහමුලට ගියෙමු. සාමාන්‍යයෙන් මරඳගහමුල සහල් මිල කුමක්දැයි මේ ලිපියේ සටහන් කළ නොහැකිය. එසේ සටහන් කළ නොහැක්කේ මේ ලිපිය මා ලියන දිනයත්, පුවත්පතේ පළවන දිනයත්, ඔබ මේ ලිපිය කියවන දිනයත් අතර කාලය තුළ සහල් මිල කොපමණ ප්‍රමාණයකින් වැඩි වේ දැයි අප නොදන්නා නිසාය. දළ වශයෙන් සහල් මිල රුපියල් 300ට ආසන්න වී අති බව පමණක් මේ දිනයට අදාළව අප සටහන් තබමු. බොහෝ විට මේ පුවත පළවන දිනය වන විට සහල් මිල සාමාන්‍යයෙන් රුපියල් 320, 340 දක්වා ඉහළ නඟිනු ඇතැයි විශ්වාස කරමින් තිබේ. නමුත් ඔබ කියවන දිනය වන විට සහල් මිල රුපියල් 350 පසුකර යෑමටද ඉඩ තිබේ. නමුත් මේ ලිපියට අදාළව තොරතුරු හොයන්නට මුලින් අපි පටන් ගන්නා දිනය වන විට සාමාන්‍යයෙන් සම්බා සහල් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 265 මට්ටමේ රැඳී තිබුණේය. නාඩු, රතු කැකුළු රුපියල් 250ට අඩුවෙන් මිලදී ගැනීමට හැකියාව තිබිණි. ඒ අතර සුදු කැකුළු සහල්ද රුපියල් 250-265 අතර මිලක් ලෙස සටහන්ව තිබිණි. නමුත් මේ ලිපිය පුවත්පතට එවන්නට සූදානම් වන මොහොත වන විට මිල මීට වඩා වෙනස් වී තිබේ. ඒ අනුව දළ වශයෙන් සහල් කිලෝවක මිල රුපියල් 300 දක්වා ඉහළ ගොස් ඇති බව පමණක් මෙසේ සටහන් තබමු.
මෙසේ සහල් කිලෝවක් රුපියල් 300 වන්නේ කෙසේද? මීට බලපෑ සාධාරණ යැයි අපට හැඟෙන කාරණාව වන්නේ පොහොර සෙල්ලමයි. පොහොර මිල ඉහළ යෑම, රසායනික පොහොර නොගෙන්වීම, ගොවිතැනට අවශ්‍ය පොහොර නොමැති වීම යන කාරණා මත ගොවීන් ගොවිතැනෙන් ඈත්ව සිටියේය. මෙසේ ගොවීන් ඈත්වීමත් බොහෝ විට ගොවිතැන් සිදු නොවීමත්, ගොවිතැන් සිදුකළත් අවශ්‍ය පොහොර වර්ග නොලැබුණු නිසා අස්වැන්න අඩුවීමත් යන කාරණා මත මේ වන විට සහල් තොග වෙළෙඳපොළට ලැබෙන්නේ ඉතා අඩු වශයෙනි. මරඳගහමුල සහල් වෙළෙන්දන් පවසන ආකාරයට ඔවුන්ට සහල් තොග ලැබෙන්නේ දැන් ඉතා අඩුවෙනි. සාමාන්‍යයෙන් මරඳගහමුල සහල් වෙළෙඳපොළ නිර්මාණය වී ඇත්තේ තිස්සමහාරාම, පොළොන්නරුව, අනුරාධපුරය, අම්පාර, කුරුණෑගල ආදී ප්‍රදේශවලට ගොස් වී මිලදී ගෙන එම වී තොග මරඳගහමුලට ගෙනැවිත්, මරඳගහමුලදී වී කෙටීමේ කටයුතු සිදුකොට, එසේ සහල් බවට පරිවර්තනය කරන ලද සහල් අලෙවියෙනි. මුළු බස්නාහිර පළාතටම බොහෝ විට සහල් ලැබෙන්නේ මේ මරඳගහමුල සහල් වෙළෙඳපොළ ආශ්‍රිතවය.
දැන් ප්‍රශ්නය දරුණු වී ඇත්තේ පහුගිය දිනෙක අමාත්‍යවරුන් විසින් සහල් ප්‍රශ්නයක් ඇති වන බවට කළ ප්‍රකාශයත් සමගය. ඒ, මෙතෙක් අප ඇසූ ප්‍රශ්නයට වඩා සම්පූර්ණයෙන් වෙනස් කතන්දරයකි. දැන් මේ වන විට වී අලෙවිය සිදුවන්නේ හිතාගන්න බැරි විදියකටය. ඒ, වී මිලදී ගැනීම සඳහා බොහෝ විට ඍජුවම වී ගෝනි දෙක තුන සහිත නිවෙසකට ගොස් ඒවා මිලදී ගන්නා කොළඹ වැසියෝ බොහෝ සිටින නිසාය. යමක් අතේ මිටේ අති බොහෝ දෙනෙක් අද සිදුකරන්නේ වී මිලදී ගෙන ඒ වීවලින් සහල් කොටාගෙන තමන්ගේ නිවෙසේ හාල් හෝ වී හෝ ගබඩා කර තබාගැනීමය. සාමාන්‍යයෙන් හාල් හෝ වී ගබඩා කරගැනීම සිදුවුණේ සාමාන්‍ය වී ගොවි තැන කරන වී ගොවීන්ගේ නිවෙස්වල පමණි. ඒ සඳහා අටු කොටු සූදානම් කොට තිබුණු නමුත්, දැන් ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල වැනි ප්‍රධාන නගරවල යමක් කමක් ඇති, ඇති හැකි ජනතාව තමන් සතුව වී තොග ගබඩා කරගැනීම ආරම්භ කර තිබේ. එක් පසෙකින් නිවෙසට ගොස් වී මිලදී ගන්නා වෙළෙන්දන්ද, අනෙක් පසින් කුඹුරට ගොස් වී මිලදී ගන්නා මහා පරිමාණ වෙළෙන්දෝද දෙපසක සිට වී තොග තමන් වෙත ලබාගනිමින් ඉන්නා බව දැනගන්නට තිබේ. මෙසේ වී මිලදී ගැනීම නිසා දැන් වී මිල හිතාගත නොහැකි තරම් ඉහළ ගොස් තිබේ. එක පැත්තකින් වී මිල ඉහළ යන්නේ, නිවෙසට ගොස් වී මිලදී ගන්නා කොළඹ අය නිසාය. මේ අය සම්මත වී මිලක් ගැන අවබෝධයක් නැති, වී මිලදී ගැනීමේදී ඉතා අඩු වී තොග ප්‍රමාණයක් මිලදී ගන්නා මිල පිළිබඳ ඒ තරම් සැලකිලිමත් විය යුතු කණ්ඩායමකි. එසේම මහා පරිමාණ වී ගොවීන් කෙළින්ම කුඹුරට ගොස් වී මිලදී ගන්නේද තමන් සතු මුදල් විශාල වශයෙන් ආයෝජනය කරමිනි. එයට ප්‍රශ්නයක් නැත්තේ වී තොග ඉදිරි කාලය සඳහා පාවිච්චි කරන්නට මේ මොහොතේ මිලදී ගන්නා නිසාය. මේ මිල ඉහළ යෑමත් සමග ඉදිරියේදී වී කෙටීමෙන් පසු ඒවා අලෙවි කරන්නේ තව අවුරුදු දෙක තුනකින් නම් ශුද්ධ ලාභ ලැබෙන බව ඔවුන්ට විශ්වාසය. ඒ සඳහා අවශ්‍ය කරන මහා පරිමාණ වී ගබඩා සංකීර්ණ ප්‍රධාන පෙළේ සහල් වෙළෙන්දන් කිහිප දෙනා සතුව තිබේ. ඒ අනුව දැන් වී මිලත් හාල් මිලත් හිතාගන්නට බැරි විදියට අහස උසට යන්නට හේතු නිර්මාණය කරමින් ඇත. මේ මොහොත වන විට මේ අර්බුදය නිසා කුඩා සහ මධ්‍ය පරිමාණ හාල් මෝල් සියල්ලටම වී තොග නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. එසේ වී තොග නොලැබී යෑමෙන් වී සහල් බවට පත්වී වෙළෙඳ පොළට නොපැමිණෙන තත්ත්වයක් ඇතිවෙමින් ඇත. ප්‍රධාන පෙළේ වෙළෙන්දන් තමන් සතු වී වෙළෙඳපොළට නොදා ගබඩා කරගෙන සිටීමත්, වී හෝ සහල් වෙළෙන්දන් නොවන ඇති හැකි පිරිස වී තොග මිලදී ගැනීමත් කියන කාරණා දෙක නිසා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට වී නොලැබී යෑමේ තත්ත්වයක් නිර්මාණය කොට ඇත. ඒ අනුව වී කෙටීමක් දැන් ප්‍රාදේශීය මට්ටමින් සිදු නොවන අතර, සාමාන්‍ය සහල් වෙළෙඳපොළට සහල් තොග ලැබෙන්නේ වෙනදා ලැබුණු ප්‍රමාණයට වඩා තුනෙන් එකක පමණ අඩුවීමක් සහිතවය. සමහර විට මේ අඩුවීමේ ප්‍රමාණය මීට වඩා ඉහළ යා හැකිය. ඒ අනුව මේ තත්ත්වය නිර්මාණය වෙන්නේ වසර අග වන විට සහල් මිල රුපියල් 500 දක්වා ඉහළ යවමින් විය හැකිය. නමුත් මතක තබාගත යුතු කාරණාව වන්නේ මේ සහල් මිල ඉහළ යෑම සම්පූර්ණයෙන්ම සැබෑ වැඩිවීමක් නොවන බවත්, එය සහල් තොග නොලැබීම නිසා නිර්මාණය වූ තත්ත්වයක් බවත්ය. අවශ්‍ය පරිදි ගොවීන්ට පොහොර ලබාදීමෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳිය හැකි නොවන අතර, මහා පරිමාණ ව්‍යාපාරිකයන් වී තොග රැස් කිරීම නතර කළ හැකි නම්, එසේම සාමාන්‍ය පුද්ගලයන් මෙසේ වී තොග තමන්ගේ නිවෙසට ගෙන ගොස් ගබඩා කොට තබාගැනීම නතර කළ හැකි නම් සාමාන්‍ය මිනිහාට බත් කෑ හැකි යුගයක් නිර්මාණය කළ හැකිය. නමුත් මේ ක්‍රමය යටතේ සාමාන්‍ය මිනිහාට බත් කෑම පවා සිහිනයක් වන තැනට ප්‍රශ්නය ඔඩුදිවිය හැකිය.

ජීවන පහන් තිළිණ










