මහජන ඡන්දයෙන් ප්‍රතික්ෂේප වූ පුද්ගලයෙක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ අගමැති තනතුර බාරගැනීම සැබවින්ම විකෘති තත්ත්වයක් බවත්, එවැනි විකෘතීන් වැළැක්වීමට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ අයකුට අග්‍රාමාත්‍ය ධූරය හිමිවීම වැළැක්වීම සඳහා වූ යෝජනාවක් 21 වන ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් විය යුතු බවත් සිවිල් සංවිධාන වෙතින් යෝජනාවක් ඉදිරිපත්ව ඇත.
ඒ අනුව මෙම යෝජනාව සිවිල් සංවිධාන විසින් සමගි ජන බලවේගයට, ජනතා විමුක්ති පෙරමුණට සහ දෙමළ ජාතික සන්ධානය වෙත මේ වනවිටත් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
සාමාන්‍යයෙන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කෙරෙන්නේ උගත්, බුද්ධිමත්, විද්වත්, පවතින ජන්ද ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි වෘත්තිකයන් පිරිසකි. එමෙන්ම වාර්ගික පදනම මත පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකි උගත්, බුද්ධිමත් පිරිස් පාර්ලිමේන්තුවට ගෙන ඒම සදහාද අතීතයේදී ජාතික ලයිස්තුව උපයෝගී කර ගත්තේය.
නමුත් මේ වනවිට ජාතික ලයිස්තුව ඒ ඒ පක්ෂවල නායකයාගේ අභිමතයට අනුව තමන්ට හිතැති පිරිස් මෙන්ම මැතිවරණයෙන් පරාජයට පත්වූ පිරිස් පාර්ලිමේන්තුවට පත් කර ගැනීමේ ප්‍රධාන මූලාශ්‍රයක් වී තිබේ.
ඒ අනුව මෙම තත්ත්වය වළක්වා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර ගත යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් වූ නිර්ණායකද 21 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් විය යුතු බව එම සිවිල් සංවිධානවල මතය වී තිබේ.










