සව්සිරියෙන් පිරි සිරිලංකාව අද තියෙන තැන ගැන අපිට හෙන ආඩම්බරයි. සියලු සැප සම්පත් ඉතිරිලා බවබෝග ධන ධාන්‍ය හැම දේම අපි ගාව තියෙනවා. ඒක නිසා මේ ආඩම්බරකාර ලිපිය ලියන්නේ අවුරුදු 50ක් අපි ආපු ගමන ගැන උදම් අනන්න ආඩම්බර වෙන්න හිතාගෙන. ලංකාවට නිදහස ලැබෙන්නේ 1948. හැබැයි ඉතින් 1948 ලංකාවට ලැබුණු නිදහස නාමික නිදහසක් කියලනෙ කියන්නේ. නමට නිදහස් වෙලා වැඩක් නෑ කියලා අපි 1972 හරියට නිදහස ලබාගත්තා. නමට නිදහස තිබිච්ච කාලෙ ඒ කියන්නේ 1948 ඉඳන් 1972 වෙනකල් අපි හෙන ආතල් එකේ හිටපු මිනිස්සු. අපිට ඇත්තටම ප්‍රශ්න තිබුණෙ නෑ. කෑම බීම ප්‍රශ්න, ජීවත් වෙන එක ගැන ප්‍රශ්න, පෝලිම් මොනවත් නෑ, ඩොලර් එක අහසට උස නෑ. බොහෝ දේවල් අපිම සපයාගත්තා. කෘෂිකාර්මික ආර්ථිකයක් තිබුණා. මිනිස්සු වැඩිය රට ගියෙත් නෑ. අපේ රටේ අම්මලා ලංකාවෙ හිටියා. බවබෝග ටික අපිට පුළුවන් විදියට වවාගත්තා. හේනෙන් කුඹුරෙන් ධන ධාන්‍ය ටික ලැබුණා. වත්තෙ පිටියෙ කොස් පොලොස් ටික කෑවා. මේ ඔක්කොමත් එක්ක ජීවත් වෙච්ච අපට 1972දී වුවමනා වුණා හරියට නිදහස් වෙන්න. ඒ කියන්නේ 1948 ඉඳන් 1972 වෙනකන් රැජිනගේ කිරීටය යටතේ පාලනය වෙච්ච නිසා අපිට ඕනෙ වුණේ ඒ සියල්ල අයින් කරලා දාලා සියලු සිරින් පිරි නිදහස් රටක් බවට පත්වෙන්න. අපිට 1972 නිදහස් වෙන්න ලැබුණා. හරියට නිදහස් වුණා.
මේ 72 හරියට නිදහස් වුණාට පස්සේ අපිට මොනවද ලැබුණේ? 1972 හරියට නිදහස් වුණාට පස්සේ අපිට ඇත්තටම අද තියෙන තරම් ප්‍රශ්න තිබුණේ නෑ. එදා අපිට කෑම බීම ටික තිබුණා. ඩොලර් එක අහස උසට නැගලා තිබුණේ නෑ. මේ වගේ ප්‍රශ්න තිබුණෙ නෑ. ඒ වෙනකොට මැතිනිගෙ ආණ්ඩුවට තුන් හවුල කියලනෙ කිව්වේ. ඒ තුන් හවුල කියපු ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සම සමාජ පක්ෂය වගේම කොමියුනිස්ට් පක්ෂයත් එකතු වෙලා හිටියා. ඒගොල්ලන්ට විශාල බලයක් ලැබුණා. තුනෙන් දෙකේ බලයක් එක්ක එන්.එම්.ලා, කොල්වින්ලා, පීටර් කේනමන්ලා, දොස්තර වික්‍රමසිංහලා ඔක්කොම ආණ්ඩුවත් එක්ක හිටියේ. ඒක නිසා 72 ව්‍යවස්ථාව ගේන්න පුළුවන් වුණා. ඒ ව්‍යවස්ථාවත් එක්ක අපට සර්ව සම්පූර්ණ නිදහසක් ලැබුණා. ලංකාවට නමකුත් ලැබුණා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විදියට. මේ ජනරජයක් බවට පත්වුණු ලංකාවටත් 72 මැතිනිය විසින් ගත්ත සමහර තීරණ නිසා පෝලිම්වල ඉන්න සිද්ධ වුණා. මැතිනි ඉන්දියාවත් එක්ක තිබුණු ගනුදෙනුවත් එක්ක ගාන්ධි පවුල එක්ක තිබුණු හිතවත්කම මත ඉන්දියානු ස්වදේශීය සංකල්පය ලංකාවට ගේන්න උත්සාහ කළා. ඉන්දියාවේ ස්වදේශීය සංකල්පය ඉන්දියාව ඇතුළේ හැමදේම තියෙනකොට, හැමදේම කරනකොට, හැමදේම හදනකොට, විශාල රටක් වෙච්ච ඉන්දියාව මේ සංකල්පෙන් ගොඩ ගියා. ලංකාව? ලංකාවට වුණේ හාල් සම්බන්ධව ප්‍රශ්නයක් ඇතිවෙලා, හාල් පොලු දැම්මා. කඩවල කෑම බීම නැතිවෙලා ගියා. පාන් ගෙඩියක් කන්න පෝලිමේ ඉන්න සිද්ධ වුණා. සමහර වෙලාවට රෙදි ගන්න පෝලිමක ඉන්න වුණා. ගොඩක් වෙලාවට හාල් පොලු මිරිස් පොලු වැටුණා. කිරි පිටි නැතිවෙලා ගියා. අද වගේමයි ප්‍රශ්නය. එදත් පෝලිම් තිබුණා. පෙට්‍රල් පෝලිම වෙනුවට එදා තිබුණේ පාන් පෝලිම. ඒ කාලෙ හාල් පෝලිම් තිබුණා. දැන් හාල් පෝලිම් නෑ තවම. හැබැයි අගෝස්තු සැප්තැම්බර්වලින් පස්සේ අපට හාල් පෝලිමුත් එයි කියලා තමයි කියන්නේ.
මේ සියල්ලමත් එක්ක අපි අන්ත අසරණ වෙලා පෝලිම්වල හිටියා. ඒක ඇත්ත. ඉතින් ඒ වුණාට මේ තරම් රට ඇතුළේ දේශපාලන අස්ථාවර බවක් තිබුණේ නෑ. දේශපාලනික ප්‍රශ්න තිබුණෙ නෑ, දේශපාලකයො හොරකම් කරලා තිබුණෙ නෑ. ලෝකෙට අපි බංකොලොත් කියලා තිබුණේ නෑ. අද අපි ලෝකෙට බංකොලොත් කියලා නිල වශයෙන් කියලා ඉවරයිනෙ. මැතිනි හැදුවෙ බංකොලොත් නොවෙන රාජ්‍යයක් බිහි කරන්න. අපි දැන් හදාගෙන තියෙන්නේ බංකොලොත් වෙච්ච රාජ්‍යයක්. කොහොම නමුත් අපි හිතමුකො 72 අපි හිටියෙ පහළම අඩියක කියලා. කිසි දෙයක් නැති ලෝකෙක කියලා. 72 කිසිම දෙයක් නැතුව නන්නත්තාර වෙලා හිටිය අපි 2022 වෙද්දී අපි කොහොම ඉන්න ඕනෙද? අවුරුදු 50ක් නෙ. අවුරුදු 50ක සංවර්ධනය. අද කොහොමද? පාරට බැහැලා බලන්නකො අවුරුදු 50ක සංවර්ධනය. එදා පාන් පෝලිම් වගේම අද ගෑස් පෝලිම්. එදා නොතිබ්බ පෙට්‍රල් පෝලිම් අද හැම තැනම. පෙට්‍රල් ගහගන්න මිනිසුන්ට විදියක් නෑ. සල්ලි නෑ. එදත් කඩවල බත් තිබුණෙ නෑ. අදත් කඩවල බත් නෑ. එදා පාන් ගෙඩිය කන්න විදියක් නෑ. අදත් පාන් ගෙඩිය කන්න විදියක් නෑ. ප්‍රශ්න තියෙනවා ඕනෙ තරම්. අර්බුද තියෙනවා ඕනෙ තරම්. මේ අර්බුද ගැටලු අස්සේ මිනිස්සු ඉන්නේ අන්ත අසරණ වෙලා. මේ අසරණ වීම කියන එකට ඇත්තටම කවුද වගකියන්න ඕනෙ කිව්වාම 72 ඉඳන් 2022 දක්වා ශ්‍රී ලංකාව පාලනය කරපු පාලකයො සියලු දෙනා මොනවද කළේ කියලා අපිට අහන්න සිද්ධ වෙනවා. 72 මෙච්චර ප්‍රශ්නයක් නොවිච්ච ඩොලර් ප්‍රශ්නය, අද වෙද්දි අපට දරාගන්න බැරි ප්‍රශ්නයක් බවට පත්වෙලයි තියෙන්නේ. ඩොලර් එක අහස උසට නැග්ගාම අපි කොහොමද කාලා ඇඳලා ජීවත් වෙන්නේ? මේක තමයි අපිට ඊළඟට එන ප්‍රශ්නය. මොකද ඩොලර් එකත් එක්ක සියලු දේවල් ඉහළ යනවා. සියලු දේවල මිල ඉහළ යනවා. පෙට්‍රල් මිල අද වෙද්දී රුපියල් 420ක් විතර වෙලා. රුපියල් 1000කට පෙට්‍රල් ලීටර් 2ක් විතර ගන්න පුළුවන් තත්ත්වෙට පත්වෙලා ඉවරයි. 72 ඉඳන් 2022 දක්වා රට සංවර්ධනය වුණාද කියන එකට අපට තියෙන්නේ පොඩි උත්තර ටිකක් විතරයි. 72 ඉඳන් 2022 දක්වා බලනකොට අපිට දැන් එයාර්පෝට් එකක් තියෙනවා කටුනායක. තව එකක් තියෙනවා මත්තල. අධිවේගී මාර්ග ටිකක් තියෙනවා. ඒවා 72 නොතිබුණු දේවල්. මොකද කටුනායක අධිවේගී මාර්ගයවත්, දක්ෂිණ අධිවේගී මාර්ගයවත් අලුතෙන් හදපු වයඹ අධිවේගී මාර්ගයවත් ඒ කාලෙ තිබුණේ නෑ. ඒවා මිනිසුන්ට හීන. ඒක ඇත්ත. හැබැයි දැන් අධිවේගී මාර්ගවල යන්න මිනිසුන්ට වාහන ගන්න විදියක් නෑ. වාහනයක් හැප්පුණොත්, කැඩුණොත් හදාගන්න විදියක් නෑ. වාහනයකට පාට්ස් මිලදී ගන්න විදියක් නෑ. වාහනයකට තෙල් ටික ගහගන්න විදියක් නෑ. ඉතින් මෙහෙම රටකට අපි කියනවා නම් දියුණුයි කියලා, අපිට මීට වඩා වෙනස් රටකට කියන්නේ මොකක්ද කියලා ඔබෙන් අහන්න වෙනවා.
72 ඉඳන් 2022 දක්වා අවුරුදු 50ක් තිස්සේ අපි සංවර්ධනය කරපු රට කෝ? අපි හම්බකරපු සල්ලි කෝ? අපි 72 ඉඳන් 2022 දක්වා මේ ගමන ඇවිල්ලා අද ලෝකෙට බංකොලොත් කියනවා. 72 ඉඳන් 2022 දක්වා අවුරුදු 50ක් තිස්සේ අපි කළේ ලෝකෙන් ණය ගත්ත එක. මේ අවුරුදු 50 තිස්සේ අපි කළේ ලෝකෙන් හිඟාකාපු එක. මේ කාලය තුළ අපට ලැබුණා නම් ලැබුණේ පිටරටවල ආධාර විතරයි. ඒ කිසි දෙයක් සංවර්ධනයට යොදාගත්ත නැති අපි අද අවුරුදු 50ක් ගිය තැන ලෝකෙට නිල වශයෙන් ප්‍රකාශ කරලා ඉවරයි බංකොලොත් රාජ්‍යයක් බවට.
මේ වෙලාවෙ ගෙවල් අස්සේ තිබිලා ලැබෙනවා. ගෑස් සිලින්ඩර්, පෝර මිටි. මිනිසුන්ට ලැබිය යුතු දේවල් මිනිස්සු පෝලිම්වල ඉද්දී දේශපාලකයො තමන්ගෙ ගෙවල්වල ගොඩගහගෙන. මේ වගේම ප්‍රශ්න 72ත් තිබුණා කියලා කියනවා. සමහර අයගෙ ගෙවල්වල කිරි පිටි තිබිලා තියෙනවා හරක්ට කන්න දෙන්න ගෙනාපුවා. රටේ කිරි පිටි නැති වෙලාවෙ ඒ අය තමන්ගෙ හරක්ට දීලා තියෙන්නෙ කිරි පිටි. ඒ කියන්නේ කිරි පිටි දීලා පෝෂණය කරපු හරක් තමයි මේ වෙලාවෙ මේ දේශපාලකයන්ට ඡන්දෙ දීලා මේ තත්ත්වෙට පත්කරලා තියෙන්නේ. මොකද දේශපාලකයො කොහොමත් හරක්ට හිතවත්නෙ. මොකද හරක්නෙ මේ දේශපාලකයන්ව පත්කරන්නේ. ඒ වගේම එදා දේශපාලකයන්ගෙ ගෙවල්වලට ප්‍රහාර එල්ල වෙද්දී 77 අලුත් ආණ්ඩුව පත්වුණාට පස්සේ මේ වගේම ගෙවල්වලට ගහලා ගෙවල් කඩපු ක්‍රමයක් තිබුණා. ගෙවල් කඩා දැම්මට පස්සේ සමහරුන්ගෙ ගෙවල්වල අල ලූනු ගෝනි තිබුණා කියලා කියනවා. සමහර ගෙවල්වල පරිප්පු ඕනෙ තරම් තිබුණා කියලා කියනවා. මේ සිදුවෙලා තියෙන්නේ සාමාන්‍ය මිනිසුන්ගෙ දේවල් කොල්ලකාපු එක. ඒ කියන්නේ 1972. 2022 දක්වා අවුරුදු 50ක් තිස්සේ මේගොල්ලො නොකඩවා කරපු එකම දේ තමයි මිනිසුන්ගෙ දේ හොරාකාපු එක. මිනිසුන්ට ලැබිය යුතු දේවල් ඒගොල්ලො තමන්ගෙ ගෙවල්වල ගොඩගහගත්ත එක. එහෙම ගොඩගහගත්තට පස්සේ ඒගොල්ලන්ට මිනිසුන්ගෙ ප්‍රශ්න, වේදනාවන් දැනෙන්නෙ නෑ. මේ වසර 50 තිස්සේ මේ රටට ලැබුණු ආධාරවලින්, ලබාගත්තු ණයවලින් හරියට ව්‍යාපෘති ක්‍රියාත්මක කළා නම්, සංවර්ධනය නිවැරැදිව කළා නම්, අවශ්‍ය දේවල් ටික හදාගත්තා නම් අද අපේ සෞඛ්‍ය, අධ්‍යාපනය, ජන ජීවිතය මීට වඩා ඉතා ඉහළ තැනක තියෙන්න ඕනෙ. ඒත් අද වෙද්දී අපේ සෞඛ්‍යට මොකද වෙලා තියෙන්නේ? 72 ඉඳන් අවුරුදු 50ක් තිස්සේ අපි සෞඛ්‍ය කොච්චර දියුණු කරලද කියනවා නම් පැනඩෝල් පෙත්තක් මිලදී ගන්න විදියක් නෑ. ඉස්පිරිතාලෙට ගියාම එක්ස්-රේ එකක් ගන්න කාඩ් එකක් නෑ. කඩදාසි කොළේ ඉඳන් සියලු දේවල් ඉස්පිරිතාලෙ නැති වෙලා. හැම රෝහලක්ම තියෙන්නේ බංකොලොත් තත්ත්වෙ. මේ මොහොතේ සමහර රෝහල්වල තියෙන්නේ වතුර බෝතල් විතරයි. සමහර රෝහල්වල ඒකත් නෑ. ඉතින් මේකද අපි අවුරුදු 50ක් තිස්සේ දියුණු කරපු සෞඛ්‍ය? අපි දියුණු කරපු අධ්‍යාපනයට අද මොකද වෙලා තියෙන්නේ? අද කඩදාසි ටිකක් නෑ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරන්න. ළමයින්ට විභාග පවත්වන්න ක්‍රමවේදයක් නෑ. පාසල් පද්ධතිය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා. සමහර පාසල්වල ජාතික පාසල් කියලා බොරුවට ළමයින්ට කිව්වට නිල වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඒවා හඳුන්වන්නේ පළාත් සභා පාසල් විදියට. එහෙනම් මේ සියල්ල බොරු. මේ සියල්ල වංචාවක්. අවුරුදු 50ක් ගිය තැන විභාග තියාගන්න කඩදාසි නැතුව විභාග කල්දාන තැනට රට පත්වෙලයි තියෙන්නේ. අවුරුදු 50ක් ගිය තැන විභාගයට යන්න ළමයින්ට තෙල් ගහන්න බැරුව ළමයි නන්නන්තාර වෙන තැනට පත්වෙලයි තියෙනනේ. අවුරුදු 50ක් ගිය තැන ළමයින්ට විභාගයට පාඩම් කරන්න අවශ්‍ය විදුලිය දෙන්න බැරුව ළමයින්ට කටඋත්තර නැතිවෙන තැනට රට පත්වෙලයි තියෙන්නේ. මේ තත්ත්වෙට රට පත්කරන්න අවුරුදු 50ක් තිස්සේ ඔය පාලකයො ඇවිල්ලා වැටුප් අරගෙන, වරප්‍රසාද අරගෙන, යාන වාහන අරගෙන, ධන ධාන්‍ය රැස් කරගෙන සියලු දේවල් තමන්ට අවශ්‍ය පරිදි හදාගෙන අපට මොනවද දුන්නේ? ඒ අවුරුදු 50 තිස්සේ තමන්ගෙ ජීවිතය සුඛිත මුදිත කරගත්තු දේශපාලකයො කීදෙනෙක් ඉන්නවද? මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ වගේ සියලු දේශපාලකයො මේ කාලෙ දේශපාලනය කරපු අය. ඒගොල්ලො මේ අවුරුදු 50 ඇතුළේ හැදුණා, පෝෂණය වුණා. මහින්දගෙ පවුල, රාජපක්ෂ පවුල සම්පූර්ණයෙන් සුරංගනා ලෝකයක් මවාගත්තට අපේ රට අපායක් බවට පත්වුණා. ඒ අපායක් බවට පත්කරපු දේශපාලකයන්ට ඊළඟ අවුරුද්දෙත් ඡන්දෙ දීලා මේ 50 වසර සැමරුම තව සියක් වසරක් සමරන්න මේ විදියට ලිපි ලියන්න මේ විදියට ජනරජයක් වීමේ අභිමානය සමරන්න ලැබෙනවා නම් කිරිපිටි කන්න දීලා හදාගත්ත හරක් වැඩියෙන් බෝවෙලා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. එදා මිනිසුන්ට දෙන්න ගෙනාපු කිරිපිටි ටික හංගගෙන, හරක්ට දීපු දේශපාලකයො කවුද කියන එක හරියට හොයාගන්නත්, එදා ඒ විදියට කිරිපිටි දීලා හරක් කීයක් මේ වෙනකොට ලංකාවෙ බෝවෙලා ඉන්නවද කියන එක නිවැරැදිව තීරණය කරන්නත් ඔබට අවස්ථාව තියෙනවා. හරියටම ගාන කිව්වොත් ඔබට අපි තෑග්ගක් දෙනවා. බලන්නකො හරියට ගාන හදලා. කීයක් ඉන්නවද කිරිපිටි දීලා හදපු හරක් මේ වෙනකොට ලංකාවෙ?
ජීවන පහන් තිළිණ










