නව අගමැතිවරයෙක් සහ ආණ්ඩුවක් පත්වී මේ වනවිට පැය 96කට ආසන්න කාලයක් ගතවී තිබුණද මෙතෙක් කිසිදු රටකින් නව ආණ්ඩුව වෙත සුබ පැතුම් එක් නොකිරීම සම්බන්ධයෙන් අද පැවැති ආර්ථික හා ව්‍යාපාරික හමුවකදී බරපතළ ලෙස සාකච්ජා වී ඇති බව දැනගන්නට ඇත.
මෙම හමුවට දිවයිනේ නම ගිය ව්‍යාපාරිකයන් රැසක් සහ ආර්ථික විශේෂඥයන් රැසක් එක්ව සිට ඇති අතර රටේ ආර්ථික වැඩපිළිවෙළ සකස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජා වී තිබේ.
එහිදී එක් ව්‍යාපාරිකයකු පෙන්වා දී ඇත්තේ සාමාන්‍යයෙන් ඔනෑම රටක නව අගමැතිවරයකු පත් වූ වහාම අසල්වැසි රටවල්, කලාපයේ රටවල් සහ අනෙකුත් රටවල්වල රාජ්‍ය නායකයන් සහ අගමැතිවරුන් සුබ පැතුම් එක් කරන බවකි.
නමුත් මේ වනවිට නව අගමැතිවරයකු පත් කොට පැය 96ක් ඉක්ම ගියද අවම වශයෙන් ඉන්දියාව ඇතුලු කලාපයේ අනෙක් රටවල් හෝ කිසිදු සුබපැතුමක් එක් කර නොතිබීම කනගාටුදායක කරුණක් බව එම ව්‍යාපාරිකයා පෙන්වා දී ඇත.
තවමත් ආණ්ඩුවට සුබ පැතුම් එක් කර තිබුණේ මෙරට සිටින තානාපතිවරුන් කිහිප දෙනකු පමණක් බවත්, ඔවුන් එය සාමාන්‍යයෙන් කරන සිදුවීමක් බවත් ඔහු පෙන්වා දී ඇත.
සාමාන්‍යයෙන් නව රජයක් පත් වූ වහාම ඊ්‍ට ඉන්දියාව, පාකිස්ථානය, චීනය, ජපානය, අමෙරිකාව සහ යුරෝපා කොමිසමේ රටවල් සුබ පතනු දැකගත හැකිය.
නමුත් මේ අවස්ථාවේදී ඒ කිසිදු රටක් ලංකාවේ නව අගමැතිවරයාට සුබ පැතුවේ නැත.
මේ හා සමානවම ඉකුත් 2018 වසරේ සිදුවූ දින 52 කුමන්ත්‍රණයේදීද ලොව කිසිදු රටක් එවක අගමැතිවරයා ලෙස පත්වූ මහින්ද රාජපක්ෂ මහතාට සුබපැතුම් එක් නොකළ බවද මෙම ව්‍යාපාරිකයා පෙන්වා දී ඇත.
එය අසුබ ලකුණක් බවත්, ඉදිරියේදී ආර්ථිකමය වශයෙන් රටට හානිකර ලෙස එම තත්ත්වය බලපානු ඇති බවත් එම හමුවට එක්ව සිටි ආර්ථිඤ විශේෂඥයන් පෙන්වා දී ඇති බවද දැනගන්නට ඇත.










