ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට එරෙහිව මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනා දෙකට සහාය පළ නොකර ඉන් කරඇරීමට ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායම තීරණය කොට ඇති බව වාර්තා වේ.
අද පාර්ලිමේන්තුවේදී මෙම ස්වාධින කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරුන් 40 දෙනාගේ සාකච්ජාවක් පැවැත්වී ඇති අතර එහිදී මෙම තීන්දුවට එළඹ ඇති බව දැනගන්නට ඇත.
මේ වනවිට ජනාධිපතිවරයා සමග යළිත් වතාවක් අන්තර්වාර ආණ්ඩුවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සාකච්ජා වටයක් ආරම්භ වී ඇති බැවින් ඊට හානිකර කිසිවක් නොකිරීමට මෙහිදී තීන්දුවක් ගෙන ඇති බවද වාර්තා වේ.
ඊයේ දිනයේදී බැසිල් රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායමේ ප්‍රධානීන් අතර සාකච්ජාවක් පැවැති අතර එයද මෙම තීන්දුව ගැනීම සදහා බලපා ඇති බව දැනගන්නට තිබේ.
එමෙන්ම පසුගිය දිනෙක මෙම ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන වාසුදේව නානායක්කාර මහතාද මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියේ බැසිල් රාජපක්ෂ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර දේශපාලන ඩීල් එකක් පවතින බවත්, එමනිසා එය ඉදිරිපත් කිරීම කල් දමමින් සිටින බවත්ය.
කෙසේවෙතත් වාසුදේව මහතා කළ ප්‍රකාශයට එරෙහිව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාත්, මනෝ ගනේෂන් මහතාත්, එස්.එම්. මරික්කාර් මහතාත් දැඩි විරෝධය පළ කොට තිබිණ.










