“අපේක්ෂාව අපරාජිතයි”
මේ පෝස්ටරේ ලංකාවෙ හැම තැනම වගේ තියෙනවා. ඒක ගැන මිනිස්සු එක එක කතා කියනවා.
“එක අකුරක් වැරදියි”
ඒ කියන්නෙ “අපරාජිතයි” කියන තැන “අ” අකුර. ඒ කියන්නෙ අපේක්ෂාව “පරාජිතයි”. ඒ කියන්නෙ වෙනම විදියකින් කියනවා නම් ජවිපෙ පරාජිතයි. අනුර කුමාර පරාජිතයි.
“ඇත්තට ඔවුන් පරාජිතයිද?”
“මෙහෙම රටවල ජේවීපී එකට ඡන්ද ලක්ෂ පහක්වත් ගන්න බැරි වෙච්ච එක අහන්න දෙයක් නෙමෙයි”
රටේ වෙන සමහර දේවල් දැක්කම එහෙම කියන්නෙ ජේවීපී එකට ඡන්දෙ දුන්න අය නෙමෙයි.
හැබැයි මිනිස්සු දන්නවා ජවිපෙ හොඳයි කියලා. ඒත් ඡන්දෙ දෙන්නෙ නෑ. මිනිස්සු අනුර කුමාර දිසානායකගෙ කතා අහනවා. හැබැයි ඔහු කියන දේ කරන්නෙ නෑ. ඒ නිසාම ජවිපෙ මේ වතාවෙත් පරාදයි.
හැබැයි මිනිස්සු හැමදාම කියන්නෙ ජවිපෙ මිනිසුන්ගෙ පක්ෂය කියලා. හැබැයි ඒ මිනිස්සුම ජවිපෙ පරද්දනවා. ඒක එහෙම කරන්නෙත් මිනිස්සුමයි. ඒ ඇයි කියලා ජවිපෙ දන්නෙත් නෑ. හැබැයි දිනන්නෙ නෑ කියන එක ජවිපෙ සාමාජිකයො බොහෝ දෙනෙක් දැනගෙන ඉන්නවා. හැමදාම ජවිපෙ ප්‍රධාන තරගකාරයො දෙන්න අතරට එන්න උත්සාහ කරනවා. හැබැයි ඒ අයට වෙන්නෙ තුන් වැනි බලවේගය කියන තැනින් සෑහීමට පත්වෙන්න. එහෙමනං ජවිපෙ මෙදා පරාජය සාමාන්‍යයයි. කවුරු කොහොම කිව්වත් මේක ජවිපෙ බලාපොරොත්තු නොවුණ දෙයක් නෙමෙයි. හැබැයි මේ පරාජය ජවිපෙ බලාපොරොත්තු වෙච්ච පරාජය නෙමෙයි. මොකද ජවිපෙ මේ වතාවෙ ප්‍රතිඵලයට විශාල බලපෑමක් කරයි කියලා හුඟාක් අය හිතාගෙන හිටියා. සමහර විට ජවිපෙත් ඒක හිතාගෙන ඉන්න ඇති. හැබැයි ජවිපෙ මේ පාරත් පැරදුණා. ඒ පරාජයට හේතු මොනවද නොහොයන්නෙ ජවිපෙට පැරදෙන එක පුරුදු නිසා. ඒත් ජවිපෙ කියන්නෙ මිනිසුන්ගෙ හදවත හරියටම කියවපු පක්ෂයක්. කොහෙන්ද මතුවෙන රෝහණ විජේවීර කියන හිරිමල් තරුණයට මුළුරටක් අල්ලගෙන දැවැන්ත විප්ලවයක් මෙහෙයවන්න පුළුවන් වෙන්නෙ ඒකයි. ඔහු වටේ දැවැන්ත තරුණ බලවේගයක් ගොඩනැඟෙන්නෙ ඔහුව දැකලා අඳුනගෙන නෙමෙයි.
හැබෑවටම ජවිපෙ වීරයා ඔහු. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකා දේශපාලනයෙ අදත් විලාසිතාව ඔහු. අදත් සරසවි ඇතුළෙ තරුණයා රෝහණ සහෝදරයා වගේ රැවුල වවන්න, කොණ්ඩෙ වවන්න තොප්පියක් දාන්න කැමැතියි. ඒ වගේ පේනවට කැමැතියි. රෝහණ සහෝදරයා මිනිස්සු අතර වීරයෙක් වුණාට ජවිපෙ ඔහුව තවදුරටත් තමන්ගෙ කරගන්න උත්සාහ කරන බවක් පෙනුණෙ නෑ. ජවිපෙ වීරයා ඔහු වුණාට ජවිපෙට වීරයා ඔහු වුණේ නෑ. ජවිපෙ මේ සෙල්ලම කරන්න තෝරගත්තෙ වෙනම ක්‍රමයක්.
ඇත්තටම මේ සෙල්ලම වෙනස් තමයි. ඒ කණ්ඩායම් මේ සෙල්ලම කරන්නෙ එක එක විදියට. හැබැයි මේ 2019 ජනාධිපතිවරණය කියන සෙල්ලම දිහා පරිස්සමට බැලුවා නම් පෙන්නෙ අමුතු කතාවක්.
මොකක්ද ඒ?
මේ තරගෙට ආවෙ කෙළින්ම කණ්ඩායම් තුනයි. ඒකෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිල ගැන කියවෙන්නෙ නෑ. මොකද මේ කණ්ඩායම් තුනත් එක්ක තරගයට එන නොඑන තැනක ඉඳලා ඔවුන් තරගෙන් පැනලා යනවා. වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි දිනන්න බැරි නිසා. ඒ නිසාම අපි තුන හතර කරලා කතා කරනවා. මහින්දලා මහින්දලගෙ නායකයා විදියට පිළිගන්නෙ මහින්ද රාජපක්ෂව. ඒ අය මහින්දව හැම තැනකම ඉහළින් තියාගත්තා. හරියට ආගමක උදවිය තමන්ගෙ ශාස්තෘවරයට ගරු කරනවා වගේ ඔහුට ගරු කෙරුවා. කවුරුවත් කිසිම තැනක ඔහුව විවේචනය කළේ නෑ. ඒ වෙද්දී ඔහු හිටියෙ පැරදිලා. අගමැතිවෙන්න ගහපු දවස් පනස් එකේ ගේම් එක පැරදුණා. මහ ඡන්දයත් පැරදුණා. පෞද්ගලිකව ජනාධිපතිවරණයක් පැරදුණා. හැබැයි ඔහුට කවුරුවත් ඒක කීවේ නෑ. අඩුම තරමෙ පොහොට්ටුවට ඡන්දෙ දුන්න එක මිනිහෙක් මහින්දව විවේචනය කළේ නෑ.
යූඇන්පී එක රනිල්ට ගැහුවා. සමහරු ප්‍රේමදාසටත් ගැහුවා. ජේ.ආර්.ටත් ගැහුවා. ඩී.එස්.ලා ඩඞ්ලිලා ගැන කවුරුවත් කතා කළේ නෑ. පැරදුණ සජිත් අදත් ගහන්නෙ රනිල්ට. ශ්‍රී ලනිපය ගැන කතා කරලා වැඩක්ම නෑ. බණ්ඩාරණායකගෙ දුවව පන්නලා පොහොට්ටුවත් එක්ක අතිනත ගත්තේ අටවතාවක් පිල මාරු කරපු දයාසිරිගෙ අස්සනින්. හැබැයි අපි හිතුවා ජේවීපී එක එහෙම නෑ කියලා. ඒත් ජවිපෙ තමයි ඔක්කොටම වඩා නායකයව අමතක කළේ. ඇත්තටම මේ වතාවේ අපේක්ෂාවේ අපේක්ෂකයා ගියේ වෙනමම පාරක. වෙනද ඔවුන් ළඟ තිබුණ සීනුව වෙනුවට මාලිමාව ඔවුන් අතට ගත්තා. සීනුවෙන් ඔවුන් එන බව කිව්වට මාළිමාව ගැළපෙන්නෙ අතරමං වෙන සුළු මිනිසුන්ට කියලා ඔවුන්ට අමතක වෙන්න ඇති.
“හැබැයි අනුර කුමාරට ඡන්දෙ ටිකක් හම්බවෙයි…”
“මම දෙන්නෙ අනුරට…”
“අනුර ලක්ෂ දහයක් නං ගන්නවා…”
“අපිට තියෙන්නෙ ලක්ෂ හතයි, මේ පාර ඕන නං දාහතරක් වෙයි”
වගේ කතා අපිට අතරමඟදි මුණගැහුණා. මිනිස්සු හිතාගෙන හිටියා මාලිමාව අනුරට මංමුළා නොකර පාර කියාවි කියලා. ඒත් ඇත්තටම මාලිමාව වැඩ කළේ නෑ.
“ඒ ඇයි..?”
“මිනිස්සු ඇයි සීනුව තෝරගත්තෙ?”
ජවිපෙ ඉස්සෙල්ලාම උත්තර හොයන්න තිබුණෙ ඔන්න ඔය ප්‍රශ්නයට.
මිනිස්සු යම් ප්‍රමාණයක් ඇයි ජවිපෙ වටේ ඉන්නෙ?
ඒකට හේතුව ජවිපෙ තමයි ශ්‍රී ලංකා දේශපාලනයෙ තියෙන එකම සමාජවාදී විකල්පය. ඒ නිසා ඔවුන් තුළ යම් සමාජවාදී රැඩිකල් ස්වරූපයක් පේන්න තියෙනවා. ඔවුන් සාමාන්‍ය ලිබරල් පක්ෂයකට වඩා වෙනස්. ඒ වෙනස මිල අධික නොවුණත් දැකුම්කලුයි.
හැමදාම හැමෝම පිළිගත්ත දෙයක් තමයි ජවිපෙ “ෆුල් ටයිමර්ස්ලා” පක්ෂය වෙනුවෙන් කොන්දේසි විරහිතව වැඩ කරනවා කියන එක. ඒවගේම ශක්තිමත්ම කාඩරේ තිබ්බෙ ජවිපෙට. මේක සරල කරලා කිව්වම හැමෝටම තේරේවි. ජවිපෙ පෝස්ටරයක් ගහන කොට ඒක මුළු රටේම එක වෙලාවෙ වැදුණා. පාර දිගේ ජවිපෙන් අකුරු ඇන්දා. ගහන ස්ටේජ් එකෙන් තොරණක කතා කිව්වා. මිනිසුන්ට බලන්න එන්න හිතෙන තාලෙට රැස්වීම් ලෑස්ති කළා. බාල ඩිමයි කොළේ ලොකු පින්සලකින් පදාස ගාලා ඒ උඩ රතු අකුරෙන් ලියපු ජේවීපී පෝස්ටර් දැක්කම මිනිසුන්ට බැලුණා.
හැබැයි මෙදා ජේවීපී එක ආවෙ වෙන විදියකට. සීනුව පැත්තකට දාලා ඊළඟට ජේවීපී එක ඊළඟට කළේ රතුපාටට සමුදුන්න එක. ජේවීපී එකේ තිබුණ මිනිසුන්ගෙ ලේ පාට වෙනුවට ජවිපෙ පියරු බබෙක් වුණා. තෝරගත්තෙ බබාලගෙ රෝසපාට. ඈතට එක වගේ පෙනුණට රතුයි රෝසයි අතර තියෙන ගම්‍යාර්ථ වෙනස ජවිපෙට නොතේරුණේ කොහොමද කියලා හිතා ගන්නවත් බෑ. ජවිපෙ රෝසපාට ගාගත්තෙ මොන විදියෙ වෙනසක් බලාපොරොත්තුවෙන්ද කියන්න අපි දන්නෙ නෑ. හැබැයි අපිට පේන්නෙ මඟුල් ගෙදරක යන්න රෝස පවුඩර් ගෑවා වගේ වෙනසක්. වෙනස නිසා ජවිපෙට තිබුණ අභිමානවත් බව නැතිවුණා. ඒක අදටවත් ජවිපෙ නායකයො පිළිගන්නවද නැද්ද අපි දන්නෙ නෑ.
ඊළඟට අපි දැක්කෙ ජවිපෙ රැලිය. වෙනදා ජවිපෙ කරන රැඩිකල් වැඩ වෙනුවට මෙදා ජවිපෙ කළේ පොහොට්ටුව එක්ක තරග කරන එක. ජවිපෙ ගෝල්ෆේස් රැලිය ලෑස්ති කළේ ඒ විදියට. එදා ජවිපෙ ගෝල්ෆේස් එකයි පොහොට්ටුවයි එජාපයයි ඔක්කොම හෙල්ලුවා. ජවිපෙ හිතුවෙ ඔක්කොම හරි කියලා. හැබැයි ඒ වෙලාවෙ ජවිපෙට ආදරේ කරන මිනිස්සු ඔක්කොම ආවා. ඒ ඔක්කොම දිහා බැලුව රටේ කොච්චර ඇතිද කියලා අපි හිතුවට ඇත්තටම ජවිපෙට හිටියෙ එච්චරයි. ඒ ගැන රටේ තුන්වැනි බලවේගය විදියට ජවිපෙට හොයන්න තිබුණා. ජවිපෙට ජාතික මට්ටමේ විශ්ලේෂකයෙක් නැතිවීම බරපතළ ප්‍රශ්නයක්.
ඒ වගේම ජවිපෙ මේ වෙලාවෙ ගැහුවෙ තුරුම්පුද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ජවිපෙට ඉන්න දක්ෂම මිනිස්සු ටික වෙනුවට ජවිපෙ නළුවන්ව නිළියන්ව වේදිකාවට ගොඩ කෙරුවා. පොහොට්ටුව ස්ටේජ් එකට ගෙනාවෙ බන්ධු සමරසිංහව, පිංපොංව, අනුෂව. ජවිපෙ මේ රටේ මිනිසුන්ගෙ භාවිතාවය තේරුම් ගත්තේ නෑ. ඒකට මිනිස්සු උත්තර දුන්නා. ජවිපෙට හම්බවුණේ අන්ත පරාජයක්.
ජවිපෙ ජනාධිපතිවරණයකට ආවෙ කීප වතාවක් විතරයි. ඒ 1988, 1994, 1999 සහ 2019.
1988 – රෝහණ විජයවීර
ජනතා විමුක්ති පෙරමුණ
ලකුණ සීනුව
1994 – නිහාල් ගලප්පත්ති
මල්පෝච්චිය
1999 – නන්දන ගුණතිලක
2019 – අනුර කුමාර දිසානායක
මාලිමාව
මේ ඒ අවස්ථා හතර. නමුත් 94 නන්දන ගුණතිලක චන්ද්‍රිකා බණ්ඩාරනායකට සහෝයෝගය පළකරලා සටනින් ඉවත් වෙනවා. හැබැයි ඡන්ද කොළේ නම ඉතිරි වෙනවා.
රෝහණ විජයවීර – 4.62%
නන්දන ගුණතිලක – 4.07%
අනුර කුමාර දිසානායක – 3.16%
තුන්දෙනාගෙන් අඩුම ඡන්ද ප්‍රතිශතයක් ගන්නෙ අනුර කුමාර දිසානායක.
හැබැයි අනුර රෝහණ සහෝදරයා වගේම නන්දන ගුණතිලකත් නොකරපු දේවල් අනුර කළා. අනුර ෆොටෝ ෂූට් කළා, පින්තූරවලට ලස්සනට උන්නා. මූණෙ ලප කැළැල් වැහෙන්න එඩිට් කළා. එක ලපයක් විතරක් ඉතිරි වෙන්න හැබැයි. ඒ වගේම අනුර ඉම්රාන් ඛාන් පන්නයේ ඇඳුම් ඇන්දා. හැබැයි අනුර රෝහණ විජේවීර වෙන්න උත්සාහ කළේ නෑ.
හැබැයි ජවිපෙ පරදින එක රටට හොඳ දෙයක් නෙමෙයි. මේ දිනන හැම කණ්ඩායමකටම වඩා ජවිපෙ මේ රටට කරන්න සූදානම් වෙන දේවල් හොඳයි. 1989න් මෙපිට ජවිපෙ මේ රටට වැරදි කරලා නෑ. ජවිපෙට හොරකමක් සම්බන්ධව චෝදනා නෑ. ඒත් අවාසනාවකට ජවිපෙ මේ වතාවත් පරාදයි.
ජීවන පහන් තිලිණ










