අද වෙනකොට අපට රට වටෙන්ම අහන්න දකින්න ලැබෙන්නේ මේ වන විට උද්ගත වෙලා තිබෙන ආර්ථික අර්බුදයට එරෙහිව උද්ඝෝෂණ, විරෝධතාවලට එක්වෙලා ඉන්න දහස් ගණන් මිනිසුන්ගේ සටන්පාඨ. ඒ උද්ඝෝෂණ උග්‍ර අතට පත්වුණාම ගැටුම්කාරී තත්ත්වයන් දක්වා දුරදිග යන අවස්ථාත් පසුගිය දිනවල දැකගන්නට ලැබුණා. ජනතාවගේ විරෝධයන් උග්‍ර වෙද්දී ඔවුන්ව පාලනය කරන්න පොලිසිය සහ ආරක්ෂක අංශ දරන්නේ දැඩි උත්සාහයක්. එවැනි අවස්ථාවල දෙපාර්ශ්වයටම තුවාල සහ අනතුරු සිදුවන අවස්ථාත්, පොදු දේපළවලට හානි සිදුවන අවස්ථාත් වාර්තා වුණා.
මෙවැනි උද්ඝෝෂණ විරෝධතා ගමක් නගරයක් පාසා පැතිරෙද්දී වත්මන් ආර්ථික අර්බුදය ගැන ජනතාව දැනුවත් කරමින්, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හඬක් නගන්නට ඔවුන් පෙළගැස්වූ තරුණයකු ගැනත් පසුගිය දිනවල දැඩි කතාබහක් ඇතිවුණා. තිසර අනුරුද්ධ බණ්ඩාර නමැති මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා පසුගිය පළමුවැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගැනුණේ ඔහුගේ නිවෙසේදීයි. සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයාට එරෙහිව ඨධ ්‍යධඵෑ ඨධඕ නමින් සමූහයක් නිර්මාණය කරමින් එහි ඇඩ්මින් ලෙස කටයුතු කළ බවට වන චෝදනාවක් සම්බන්ධයෙනුයි මේ තරුණයාව අත්අඩංගුවට ගෙන තිබුණේ.
පසුගිය පළමුවැනිදා රෑ මෝදර පොලිසියෙන් කියලා ගෙදරට ඇවිත් තිසරව එක්කන් යනවා. තිසරගෙ තාත්තා පසුදා උදෙන්ම මෝදර පොලිසියට යනවා. එහෙන් කියනවා තිසරව ගෙනාවේ නැහැ කියලා. තිසරගෙ යාළුවො එකතු වෙනවා. සී.අයි.ඩී.යට යනවා. එතැනිනුත් තිසර ගැන තොරතුරක් නොලැබුණු තැන මුළු රටම ඔහු ගැන කතා කරන්නට පටන් ගන්නවා. තිසරගෙ අතුරුදන් වීමත් එක්ක සියලු ජනතාව ඒකරාශි වෙලා තිසරව හොයන්න කටයුතු කරනවා. මානව හිමිකම් කොමිසමට මේ සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කෙරෙනවා. ඒ සියලු කටුතුවල ප්‍රතිඵලය විදියට අවසානයේ තිසර නිරුපද්‍රිතව සිටින බවට ආරංචියක් ලැබෙනවා.
ඒ සිදුවීම කෙටියෙන් සඳහන් කරන්න වෙන්නේ ඒ විදියට.
තිසර අනුරුද්ධව අත්අඩංගුවට ගැනුණේ ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවෙසේදියි. ඔහු, මව පියා සහ සොහොයුරිය සමග නිදා සිටින අවස්ථාවේ රාත්‍රී 12ට පමණ මෝදර පොලිසියේ ප්‍රියන්ත නමැති නිලධාරියකු සහ තවත් පිරිසක් පැමිණ තිසරව රැගෙන ගිය බව ඔහුගේ පියා පවසා සිටියා.
තිසර අනුරුද්ධ බණ්ඩාර අධ්‍යාපනය ලැබුවේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙන්. කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියකුද වන තිසර මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන ලේකම් සරත් ප්‍රේමවංශ මහතාගේ පුත්‍රයාද වනවා.
තිසර අත්අඩංගුවට ගෙන තිබුණේ මහජනතාව තුළ කැලඹිලි තත්ත්වයක් ඇතිකරන ආකාරයේ පුවත් පළකිරීමේ චෝදනාවෙන් බවත්, ඒ, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය යටතේ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම වාර්තා වීමත් සමග තිසරව බේරාගැනීම සඳහා නීති ආධාර ලබාදීමට නීතිඥවරුන් සිය ගණනක් නොමිලේම ඉදිරිපත් වීම විශේෂ සිදුවීමක් වුණා. තිසර අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුට විරුද්ධව සාක්ෂි රැස් කිරීමට පොලිසිය කටයුතු කළ බවට චෝදනාවක් එල්ල වුණා. ඒ චෝදනාව කළේ නීතිඥ සුනිල් වටගල මහතා.
‘අත්අඩංගුවට ගත්තාට පසුව තමයි සාක්ෂි සොයන්නේ. විනිශ්චයකාරතුමා පැහැදිලිව ඇහුවා ඇයි අත්අඩංගුවට ගැනීමට පෙර පැමිණිලි ගැන සොයා බැලුවේ නැත්තේ කියලා. අත්අඩංගුවට ගත්තේ දෙවැනිදා. පැමිණිල්ල කැඳවා තිබෙන්නේ තුන්වැනිදා. එතකොට පැහැදිලියි මෙය දේශපාලන අරමුණකින් ක්‍රියාත්මක වූවක් බව’ සුනිල් වටගල නීතිඥවරයා වැඩිදුරටත් පවසා සිටියා.
අප්‍රේල් 03 වැනිදා රට පුරාම ඇඳිරිනීතිය පැනවීමත් සමග සමාජ මාධ්‍ය ජාලද තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගත්තා. තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පවසා තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව එම ක්‍රියාමාර්ගය ගත් බවයි. මේ සියලු දේ සිදුවුණේ රට වෙනුවෙන් හඬ නැගූ තරුණයකු නිසයි.
තිසරගේ සිදුවීම සම්බන්ධයෙන් නීතිඥවරු මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පෙන්වා දුන්නේ ඨධ ්‍යධඵෑ ඨධඕ නමින් සමාජ මාධ්‍ය සමූහයක් නිර්මාණය කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 12 වැනි වගන්තිය යටතට වැටෙන්නේ නැති බවයි. විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි වගන්තියෙන් ලබාදී ඇති භාෂණයේ නිදහස අනුව ඕනෑම අයකුට පවතින රජය සාධාරණ විවේචනයකට අවසර ඇති බවත් අධිකරණයේදී ප්‍රකාශ වුණා.
කොළඹ උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනුණු තිසර අනුරුද්ධ, රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට ඒ අනුව අලුත්කඩේ අංක 06 මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
තිසර, පසුගිය දෙසැම්බර් 19 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි උත්සවයේදී තම උපාධි සහතිකය ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබුණා. ඒ, දේශපාලන පත්වීමක් ලෙස උපකුලපති ධුරයට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත්කිරීමට විරෝධය පළකරමින්.
කෙසේ වෙතත් තිසර අනුරුද්ධ ඇප ලබා නිදහස් වූ පසු තමා වෙනුවෙන් කැපවූ සියලු දෙනාට ස්තුතිය පුදකරමින් ෆේස්බුක් සටහනක් තබා තිබුණේ මෙලෙසින්.
‘කිසිදු පුද්ගලික ලාභයක් හෝ සම්බන්ධයක් නොමැතිව මා වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙස වූ සිය ගණනක් වූ නීතිඥවරුන්ට වරියන්ට, සියල්ල ශක්තිමත්ව දරාගත් පවුලේ අයට, සහාය වූ ජනමාධ්‍යවේදීන්ට, පාසල් සහ විශ්වවිද්‍යාල ප්‍රජාවට, මිතුරු මිතුරියන්ට, අසල්වැසියන්ට, සමාජ මාධ්‍ය සහ දේශපාලන ක්‍රියාකාරීන්ට මෙන්ම යහපත් රටක් පිළිබඳ විශ්වාසයෙන් නන් අයුරින් සහාය වූ ලක්ෂ ගණනක් වූ ශ්‍රී ලාංකිකයන්ට ගෞරවනීය ආචාරය…
ඔබ නොසිටියා නම් මගේ කතාව තරමක් වෙනස් එකක් වන්නට ඉඩ තිබුණු බව මම විශ්වාස කරමි…
විශාල පීඩනයකට මැදිව සිටින සාමාන්‍ය පවුලක සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස සැඟවීමට පැනයාමට හෝ විදේශගතව රැකවරණය ලැබීමට අවස්ථා ඕනෑ තරම් තිබුණද මා එසේ කරන්නේ නැත. අපට ශ්‍රී ලංකාව යළි ගොඩනැඟිය හැක…’
තිසර අනුරුද්ධ බණ්ඩාර වැනි සමාජ ක්‍රියාකාරිකයන් නිහඬ නොවී රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් නොබියව ක්‍රියාත්මක විය යුතු කාලයකි මේ. උග්‍ර ආර්ථික අර්බුදයකට රට මුහුණපා සිටින මෙවැනි අවස්ථාවක ජනතාව අවදි කරමින් ඔවුන් නිවැරැදි දිශාවට පෙළගස්වන්නට මෙවැනි තරුණයන් රටට අවශ්‍යම මොහොතකි මේ.
තිසරගේ සිදුවීමත් සමග එදා රටේ නිදහස වෙනුවෙන් සටන් කළ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් මතකයට නැඟෙනවා. උන්වහන්සේ දූ දරුවන්ට කියා දුන්නේ අසාධාරණය දුටු තැන නිවටයෙක් නොවී නැඟී සිටිනා ලෙස අවවාද කරමින්. මහින්ද හිමියන් එදා ලියූ මේ පද වැල් එදාට වඩා අදට ගැළපෙන බව නම් නොලියාම බැහැ.
කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
ඉස් මොළ තිබෙද්දිත් මේ ගැන නොසිතන්නේ
ඇස් ගෙඩිවලට හෙන ගහලද සිහලුන්නේ
අනුරුද්ධ ඔබ ගැන අපට හදවතින්ම ආඩම්බරයි. දුක් විඳින ජනතාවගේ අයිතීන් වෙනුවෙන් හඬ නගන්නට නොබියව ඉදිරිපත් වූ ඔබේ අනාගතයට අපි සුබ ප්‍රාර්ථනා කරමු….
නිලන්ති රේණුකා









