“ඩෙල්ෆ්ට්” නමැති නගරයක් නෙදර්ලන්තයේ වේ. එම ඩෙල්ෆ්ට් නගරය නෙදර්ලන්තයේ උසස් අධ්‍යාපනයට සම්බන්ධ ප්‍රකට දර්ශනීය නගරයකි. ලංකාවේ ඩෙල්ෆ්ට් යනු කලක් වර්තමාන නෙදර්ලන්තය හෙවත් එදා ඕලන්දය යටතේ පාලනය වූ දූපතකි.
ශ්‍රී ලංකාවේ යාපන අර්ධද්වීපයේ බටහිර කෙළවරේ පිහිටා තිබෙන මේ ඩෙල්ෆ්ට් දූපත වර්ග කිලෝමීටර 43ක් පමණ විහිදෙනවා. දූපතේ වට ප්‍රමාණය කිලෝමීටර 27ක් විතර වෙනවා. ඩෙල්ෆ්ට් දූපතේ ජනගහනය 3,000ක් ලෙසට දැක්වෙනවා. මීට අමතරව දූපත ඇතුළෙ පාසල් 8ක්, රෝහල් දෙකක් වගේම අධිකරණ සංකීර්ණයකුත් පිහිටා තිබෙනවා. ආරක්ෂක කටයුතු ගත්තම ඩෙල්ෆ්ට් පොලිසියට අමතරව නාවික හමුදාව විසින් සිදු කෙරෙනවා. දූපත ඇතුළේ මගී ප්‍රවාහනයට වගේම සංචාරක ප්‍රවාහනයට යොදා ගන්නා පෞද්ගලික බස් රථ, ත්‍රීවීලර් ආදිය තිබෙනවා. තවද යාපනය ඩිපෝව මඟින් යොදවලා තිබෙන ලංගම බස් රථයක්ද ධාවනයේ යෙදෙනවා දක්නට ලැබෙනවා.
මුලින්ම මේ දූපතට යන විදිහ කියන්නම්. අපි යාපනේට ඇවිත් කුරික්කඞ්ඩුවාන් ජැටියට එහෙමත් නැත්නම් ගොඩක් දෙනා දන්න නාගදීපයට යන ජැටිය ගාවට ඇවිත් ඩෙල්ෆ්ට් දූපතට යන බෝට්ටුවක් අල්ල ගන්න ඕනෑ. දිනකට බෝට්ටු වාර පහක් පමණ ක්‍රියාත්මක වෙනවා. පැය 08.00, 09.30, 13.30, 15.00, හා 16.00 යන වේලාවන්වලට කුරිකඞ්ඩුවාන් ජැටියෙන් ඩෙල්ෆ්ට් දූපත කරා බෝට්ටු ගමන් කරනවා. එහෙම නැතත් ලොකු සංචාරක නඩයක් ඉන්නව නම් අපිට බෝට්ටුවක් කතා කර ගන්න පුළුවන් ජැටියෙන්. ඩෙල්ෆ්ට් සිට කුරිකඞ්ඩුවාන් කරා පැය 06.30, 07.30, 11.30, 14.30, හා 16.00 යන වේලාවන්වලට බෝට්ටු ගමන් වාර තියෙනවා. කොහොම හරි උදේ 8ට කුරික්කඞ්ඩුවාන් ජැටියෙන් පිටත් වෙන බෝට්ටුවෙන් අපි ඩෙල්ෆ්ට් බලා යන්න පිටත් වුණා. එම බෝට්ටු ගමන පැයකට ආසන්න වෙලාවක් මුහුදේ ගමන් කෙරෙනවා. ඇත්තටම කිව්වොත් මේක වෙනමම රටකට යනවා වගේ අත්දැකීමක්.

ඉතින් ඒ විදියට පැයක විතර ගමනකින් පස්සෙ අපි මේ අමුතු රටට එහෙමත් නැත්නම් ඩෙල්ෆ්ට් දූපතට ගොඩ බැස්සා. දූපත ඇතුළේ ඇවිදින්න ඕනැ තරම් වාහන හොයාගන්න පුළුවන්. එතැන ත්‍රිරෝද රථ, කුඩා බස් රථ වගේ වාහන නවත්තගෙන ඉන්නව දූපතේ සංචාරය කරන්න එන අයගේ ප්‍රවාහන පහසුකම් සඳහා. ඉතින් අපිත් අපේ නඬේට ගැළපෙන විදියට කුඩා බස් රථයක එතැන ඉඳන් ගමන යන්න යොදා ගත්තා. දූපතේ ඇතුළේ සංචාරක ආකර්ෂණය දිනා ගත්ත තැන් කිහිපයක්ම තියෙනවා. ඒ හැම තැනක්ම ආවරණය වෙන විදියට තමා අපේ ගමන යෙදිලා තියෙන්නේ. දූපත ඇතුළෙ ලොකුම ගැටලුව තමා වතුර. ඉතින් වතුර බෝතල් කිහිපයක් මල්ලට දාගෙන යන්න අමතක කරන්න එපා. දූපත ඇතුළෙ ගොඩක් දේවල් බලන්න තියෙනවා වගේම ලංකාවෙ අනෙක් හැම තැනකටම වඩා වෙනස් සංස්කෘතියක් අත්විඳින්න පුළුවන් පරිසරයක් මෙතැන තියෙනවා. මොනම ආකාරයකින් හරි පින්තූර එකතු කරගන්න යන අයට මෙතැන ගොඩක් වටින දේවල් තියෙනවා.
මෙම දූපත යුග කිහිපයක නටබුන් සහිත බිමක්. ගමනේ මුලින්ම හම්බ වෙන්නෙ පුරාණ චෛත්‍යයක්. මුස්ලිම්වරුන්ටත් පෙර සමුද්‍රීය සේද මාවත හරහා බෞද්ධ ආගම ලොව වටා පැතිරුණු යුගයට අයත් එකක් හෝ නැත්නම් ලංකාවෙන් එහි ගිය යම් පිරිසකගේ නිර්මාණයක් ලෙස එම චෛත්‍ය සලකන්න පුළුවන්. තව ටිකක් දුර අපේ බස් රථය ඇදෙනකොට ගිහින් නතර වෙන්නේ මන්නාරමේ ඇති බයෝබැබ් ගසට වඩා තරමක් කුඩා බයෝබැබ් ගසක් ළඟ. මේ ගහ තියෙන්නේ ඩෙල්ෆ්ට් දූපතේ එක් අන්තයක. එය මිනිසුන් දෙදෙනකුට ඇතුළේ රිංගා වැස්සට නොතෙමී සිටිය හැකි තරම් විශාල කුහරයක් තියෙන ගසක්. ඒ හින්දා ඒ බයෝබැබ් ගහ මන්නාරමේ තියෙන ගහට වැඩිය විශේෂයි.

හින්දු බැතිමතුන් පුදන පුරාණ නයි පෙණ පිළිම ද, හින්දු දේවස්ථාන ද දූපතේ දකින්න තියෙනවා. ඒවා එක් කලෙක දූපතේ හින්දු ඉතිහාසයක් ද තිබී ඇති බවට සාධක සපයනවා. යටත් විජිත සමයේදී අශ්වයන් සිටි අශ්ව ගාල් සහ බලකොටු ආදිය තවමත් නටබුන් ලෙස දූපතේ ඉතිරිව තිබෙනවා. අශ්ව ගාල සහ බලකොටුව නරඹලා ඒ පරිසරය විඳින ගමන් එන අතර මඟ හරි අසාමාන්‍ය සලකුණක් දකින්නට ලැබෙනවා. අශ්ව ගාලට යාබදව ආදම්ගේ පිය සටහන ලෙස සැලකෙන හුනුගල් තට්ටුව මත සාමාන්‍ය මනුෂ්‍ය පාදයකට වඩා තුන් හතර ගුණයක් විශාල මේ පා සටහන ඩෙල්ෆ්ට්හිදී බලන්න තියෙන අමුතු තැන්වලින් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. තවද ශිව ලිංගයේ හැඩයට සමානකමක් දක්වන ලියලන ගල නමින් හඳුන්වන පාෂාණයක් ඩෙල්ෆ්ට් දූපතේ තිබෙනවා. එම පාෂාණය වර්ධනය වන බවට ඩෙල්ෆ්ට් වැසියන්ගේ මතයක් තියෙනවා.
දූපත ඇතුළේ ප්‍රවාහන කටයුතුවලට යොදා ගන්න වාහන දූපතට රැගෙන එන්නෙ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් යොදවපු විශාල පාරුවකින්. ඒ සඳහා වාහනයේ ප්‍රමාණය අනුව මුදල් අය කෙරෙනවා. ඒ වාහනවලට අවශ්‍ය ඉන්ධන ආදිය දූපතේ තියෙනවා. නමුත් ලංකාව කියන අපි ඉන්න දූපතේ ඉන්ධන ලීටරයකට වඩා රුපියල් 17කින් ඩෙල්ෆ්ට් දූපතේ මිල වැඩි බව අප සමඟ සංචාරය කළ කුලී බස් රථයේ රියැදුරු මහතා කිව්වා. ඩෙල්ෆ්ට් දූපතට පැමිණි යටත්විජිත ලන්දේසින් විසින් මෙහි ගෙන ආ අශ්වයන්ගෙන් පැවතෙන අශ්වයන් සහ පෝනියන් තවමත් දූපතේ ස්වල්ප වශයෙන් ඉතිරිව සිටිනවා. අපිට කැමති නම් අශ්වයකුගේ පිටේ සවාරියක් යන්නත් ඩෙල්ෆ්ට් දූපතේදී අවස්ථාව තියෙනවා.
විශේෂම දේ තමයි මේ මුළු දූපතම පිහිටලා තියෙන්නේ හුනුගල් ස්තරයක් මත වීම. දූපතේ නිවාස ඉඩම් සහ මංමාවත් වෙන් වෙන්න වැට මායිම් සලකුණු තාප්ප නැහැ. තියෙන්නේ හුනුගල් එක මත එක තබා තැනූ ඩෙල්ෆ්ට් දූපතට ආවේණික වූ තාප්ප විශේෂයක්.
අවුරුද්දේ එක් කාලයකදී සංචාරක පක්ෂීන්ගෙන්ද මෙම දූපත පිරී ඉතිරී යන බව අපට දැන ගන්න ලැබුණා. තවද තල් ගස්වලින් නම් කිසිම අඩුවක් නැති මෙම දූපතේ තල් රා, තල් හකුරු, කොට්ටකිලංගු හෙවත් තල් බඩ ආදී දේවල් ඉතා අඩු මිලකට ලබා ගන්න පුළුවන්. දූපත වට වෙලා තියෙන්නේ මනස්කාන්ත වෙරළ තීරයකින්. කටුක පරිසරයක් තිබ්බත් ස්වභාවධර්මය අතින් අනූන පරිසරය ඩෙල්ෆ්ට්වල දැක ගන්න පුළුවන්. තැන තැන විහිදුණු මල් ගොමු, දේශීය පක්ෂීන් වගේම විචිත්‍ර සමනලුන්ද මෙම භූමිය තුළ අපිට ඇති තරම් බලා ගන්න ලැබෙනවා. මුලින් කිව්වා වගේම වෙනම රටකට ඇතුළු වුණා වගේ හැඟීමක් අපිට මේ පරිසරය තුළදී අත් විඳින්න පුළුවන්.
කළණ වොහාර











