ශ්‍රීපාද වන්දනාව ලංකාවේ අපට පමණක් නොවේ ලොව පුරා බොහොමයක් බෞද්ධ සැදැහැවතුන්ට අමුතු නුහුරු වචනයක් නොවෙයි. ශ්‍රීපාද කියූ සැණින් මේ හැම කෙනකුටම සිහිපත් වන දෙයක් තිබෙනවා. ඒ තමයි සමනල ගිරිශිඛරය. එහෙම නැත්නම් සමනල අඩවිය. එහෙම මතක් වෙන්නෙ නිකන්ම නෙවෙයි. ලංකාවාසී ලෝකවාසී බෞද්ධ ජනයාගේ වන්දනාමානයට ගෞරවාදරයට පාත්‍ර වූ තථාගතයන්වහන්සේගේ ශ්‍රීපාද සටහන් සමනල ගිරිශිඛරය මත සටහන්ව ඇති නිසයි. එහෙම ගෞරවයක් ජනතා සිත්සතන් තුළ ඇතිවන්නේ ඒ උතුම් ශ්‍රීපාද පද්මය වන්දනාමාන කිරීම වසරක් පාසා කරන බැතිමතුන් විශාල පිරිසක් මෙරට පමණක් නොව ලෝකය පුරාද වාසය කරන නිසයි. ඒ බව පසුගිය කාලය පුරාම අසන්නට දකින්නට ලැබුණු දෙයක්.
එහෙත් බුදුන්වහන්සේගේ තවත් පා සටහනක් තවත් ස්ථානයක තිබෙනවා යැයි පැවසුවහොත් බොහෝ දෙනෙක් පුදුම වනු නිසැකය. මන්ද එතෙක් මෙතෙක් කාලය තුළ මේ පිළිබඳ ඔබට එතරම් උනන්දුවක් නොතිබෙන්න ඇත.
අනන්තවත් වන්දනාමාන කටයුතු සඳහා බොහෝ බැතිමතුන් අනුරාධපුර පුද බිමට ආව ගියද තම නොදන්නාකම නිසාම මේ උතුම් පූජනීය ස්ථානය පෙනි පෙනී මඟහැරී යන්නට ඇතැයි අනුමාන කළ හැකිය. එහෙත් යළිත් එසේ නොවන්නට මේ කරුණු ඔබට වැදගත් වනු ඇති.
අනුරාධපුරයේ ථූපාරාමය ඔබ කොතෙකුත් වන්දනාමාන කර ඇතුවාට සැකයක් නැහැ. එහෙත් ඒ ආසන්නයේම පිහිටි පාද ලාංඡන චේතිය පිළිබඳ ඔබ එතරම් උනන්දුවක් දැක්වූයේ නැත. එසේ නැතහොත් ඔබ එම චෛත්‍යය වෙත නොයාම ආපසු හැරී ආවා වන්නටද බැරි නැත. එහෙත් මේ පාද ලාංඡන චෛත්‍යය ඓතිහාසික සිදුවීමක් සම්බන්ධ සුවිශේෂ ස්ථානයක්. මෙය ශිලා චෛත්‍යය හා දීඝථූපය ලෙසින්ද හඳුන්වා තිබෙනවා. කෙසේ නමුත් බුදු හිමියන් තම පාද සටහනක් තැබූ ස්ථානයක් ආරක්ෂා කෙරෙන අයුරින් මෙම පාද ලාංඡන චෛත්‍යය පිහිටුවූ බවයි පැවසෙන්නේ. බුදුන්වහන්සේගේ ශ්‍රීපාද සටහන් පිහිටුවූ ස්ථාන අතර සමනල අඩවියේ ශ්‍රීපාදස්ථානයට ප්‍රමුඛතාව හිමිවෙද්දී තවත් එවැනිම ස්ථාන හතරක් පිළිබඳ ඉතිහාසය තුළ කියැවෙනවා. මහාවංශයට අනුව උන්වහන්සේගේ තෙවැනි වර ලංකා ගමනේදී පන්සියයක් රහතන්වහන්සේ පෙරටු කරගෙන මෙම පාද ලාංඡන චෛත්‍යය පිහිටි භූමියට වැඩම කළ බවයි පැවසෙන්නේ. එහිදී උන්වහන්සේගේ ශ්‍රීපාද සටහනක් මෙහි පිහිටුවීමෙන් පසු ඍද්ධියෙන් අහසට නැඟ දඹදිවට වැඩම කළ බවයි වංශකතාවල සඳහන් වන්නේ.
පසු කලෙක මෙරට රාජ්‍යත්වයට පත් ලජ්ජතිස්ස රජතුමා (ක්‍රි.පූ. 119-109) බුදු හිමියන්ගේ පාද ලාංඡනය ආවරණය කර ආරක්ෂා වන අයුරින් ගොඩනගන ලද ස්ථූපයයි පාද ලාංඡන ස්ථූපය නමින් අද හැඳින්වෙන්නේ. එහෙයින් පාද ලාංඡන ස්ථූපය බෞද්ධ ජනතාවට අතිශයින්ම වැදගත් සහ වටිනා ස්ථූපයකි. එය බෞද්ධ සැදැහැවතුන් එක් වරක් හෝ වන්දනා කළ යුතුම ස්ථානයකි. සමනල අඩවියේ ශ්‍රීපාද පද්මය මෙන්ම වටිනා සහ වැදගත් පූජනීය ස්ථානයක් ලෙස පාද ලාංඡන චෛත්‍යයද අනාගතයේ බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍ර වනු ඇත.
කුමාර රත්නායක










